එහිදී නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 17 සහ 18 යන දිනවල යළි කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කළේය.
ලාල් රණසිංහ බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසේකර යන මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණි.
නීතිඥයෙකු නොමැතිව විත්තිකරුම හරස් ප්‍රශ්න අසයි
බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට ඉදිරිපත් කළ නඩුවේ හයවන විත්තිකරු වන මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිත් හෙවත් සාජිත් මවුලවි, තමන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටින බව මීට පෙර අධිකරණයට දන්වා තිබුණි.
අධිකරණ සම්ප්‍රදාය තුළ විත්තිකරුවෙකු වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටීම සාමාන්‍ය තත්ත්වයයි.
නීතිඥ නියෝජනයක් නොමැති වීම හේතුවෙන්, අද දිනයේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සාජිත් මවුලවි විසින්ම සිදු කරනු ලැබීය.
සෙසු විත්තිකරුවන් පස් දෙනාට දැනටමත් සිරදඬුවම්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව අධිචෝදනා 14ක් ගොනු කර තිබේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් පස් දෙනා මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති බැවින් ඔවුන්ට මේ වන විටත් සිරදඬුවම් නියම වී අවසන්ය.
1- අබු හනීපා මොහොමඩ් මුෆීස් (අබු දහිදා): පුහුණු කඳවුර පවත්වාගෙන යාම සඳහා ලැක්ටෝස්වත්ත ඉඩම බදු දුන් බවට චෝදනා ලැබූ ඉඩම් හිමිකරු.
2- මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ් නවුෆර් (නවුෆර් මවුලවි)
3- අමීර් හම්සා මොහොමඩ් හමාස් (අබු සාෆියා)
4- මොහොමඩ් සර්පු ආදම් ලෙබ්බෙ (ගෆූර් මාමා)
5- මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්)
නඩුවට පාදක වූ පසුබිම කුමක්ද?
2018 ඔක්තෝබර් 01 වැනිදා සිට 2019 ජනවාරි 16 වැනිදා දක්වා කාලය තුළ පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ මෙම කඳවුර පවත්වාගෙන ගිය බවට පැමිණිල්ල විසින් චෝදනා ගොනු කර ඇත.
ෂැංග්‍රිලා සහ කටුවාපිටිය බෝම්බකරුවන් වන සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු මොහොමඩ් හස්තූන් සමඟ එක්ව පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ ජාතිවාදී එදිරිවාදිකම් ඇති කිරීම විත්තිකරුවන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා වේ.
ලැක්ටෝස්වත්ත ඉඩම පරීක්ෂා කිරීමේදී යූරියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක්, ඩෙටනේටර් 99ක්, නයිට්‍රික් ඇසිඩ් තොගයක්, ගිනි අවියක් සහ සජීවී උණ්ඩ 12ක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබූ බව අධිකරණයට ඉදිරිපත් වූ වාර්තාවල සඳහන් වේ.



