පුදබිම අබියස උණුසුම සහ පොලිස් මැදිහත්වීම
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අබියස පැවති සත්‍යග්‍රහයක් අතරතුර හටගත් උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මැදිහත් වී තිබේ.
මෙම සිදුවීමට අදාළව බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක්, කාන්තාවක සහ සිවිල් වැසියන් තිදෙනෙකු පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් මහතා තහවුරු කළේය.
ගැටුමට මුල් වූ පසුබිම කුමක්ද?
යෝජිත අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම හකුළා ගන්නා ලෙස ඉල්ලමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් පුදබිම අබියස මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබිණි.
එම උපවාස භූමියට රාජාංගණයේ සද්ධාරතන හිමියන් ඇතුළු ගිහි පිරිසක් පැමිණීමත් සමඟ දෙපාර්ශ්වය අතර දැඩි වචන හුවමාරුවක් හටගෙන ඇත. එම බහින්බස් වීම දුරදිග යාමෙන් දෙපාර්ශ්වය අතර ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය වූ බව වාර්තා වේ.
හිමිනමක් රෝහලට; උපවාස අට්ටාලය ඉවත් කෙරේ
ගැටුම අතරතුර එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබූ රාජාංගණයේ සද්ධාරතන හිමියන් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි.
මේ අතර, උණුසුම් තත්ත්වයත් සමඟ එහි රැස්ව සිටි ප්‍රදේශවාසීන් පිරිසක් විසින් උපවාසය සඳහා ඉදිකර තිබූ අට්ටාලය සම්පූර්ණයෙන්ම ඉවත් කර දමා තිබේ.
අට්ටාලය ඉවත් කිරීමට පෙර එහි තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාව ආරක්ෂිතව රුවන්වැලි සෑය පුදබිම වෙත වැඩම කරවීමට ද ප්‍රදේශවාසීන් පියවර ගෙන ඇත.
අධිකරණ නියෝගය සහ පොලිස් විමර්ශන
අදාළ සත්යග්රහ භූමියෙන් ඉවත් වන ලෙස මීට පෙර අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් ද නිකුත් කර තිබූ පසුබිමක මෙම නොසන්සුන්තාව හටගෙන තිබිණි.
සිදුවීම පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.



