පොතක් ගැන අද ලියන්නෙ ටිකක් අමාරු සටහනක්. සටහන අමාරු පොතේ අන්තර්ගතය නිසානම් නෙවෙයි. දැඩි ඉල්ලුම, අලෙවිය හා වෙළඳ උපක්‍රම නිසා දැඩි කතාබහක්
විවේචනයක් ඇතිවීම නිසා තමයි සටහන ලිවීම අමාරු.
Forget me not එහෙමත් නැත්නම් මල් කිනිත්කක පුරාවෘත්තය කිව්ව ගමන් නොදන්න පාඨකයෙක් නැතුව ඇති. 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමයේත්, ඊට පෙරත්, මේ වනවිටත් දැඩි කතාබහකට ලක්වුණු කෘතියක් තමයි Forget me not. වර්තමානයේ වැඩිම අලෙවියක් ඇති පොත ලෙස මෙය ලෙස හඳුන්වන්න පුළුවන්. දැනගන්නට ලැබෙන පරිදි 2023 ජුනි පළමු මුද්‍රණයේ සිට මේ වනතෙක් මුද්‍රණවාර 6 ක දී පොත් 17000 ක ප්‍රමාණයක් මුද්‍රණය කර අවසන්.
ඇත්තටම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමයෙත් හා ඉන් පසුව ඇතිවුණ පොතේ අධික ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් දෙන්න කතුවරියන් දෙදෙනාට නොහැකි වුණා.
මේ පොතට සමාජ මාධ්‍යවලින් සහ ඉන් පරිභාහිරව එල්ලවුණු විවේචන බොහොමයි. අද මේ සටහනෙන් පොතේ මම දකින සාහිත්‍යමය ගුණදොස් කියන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මෙම පොත වෙත එල්ලවුණු විවේචන ගැන කියන්නත් බලාපොරොත්තු වෙනවා..
පොතට එල්ලවුණු විවේචන
Forget me not වෙත එල්ලවුණු විවේචනවලට හේතුව වුණේ මාකටින් කියල කිව්වොත් නිවැරැදියි. තමන් ලියපු පොතක් පාඨකයන් අතරට ගෙනයාම ඕනෑම නිර්මාණකරුවෙකුගේ බලාපොරොත්තුවක්; හීනයක්. අද බොහෝවිට බහුතරයක් ලේඛක ලේඛිකාවන් පොතක් ප්‍රකාශයට පත් කරන්නේ ප්‍රකාශකයෙකු මගින්. ඇත්තටම ප්‍රකාශකට තියෙන්නෙ ලාභය පදනම් කරගත් වෙළද අරමුණක්. ඉතින් ප්‍රකාශකයා තමන් ප්‍රකාශයට පත්කළ පොත අලෙවි කරගන්න විවිධ මාකටින් උපක්‍රම අනුගමනය කරනවා. හාඩ් කවර්, ජැකට් කවර්, ආකර්ෂණීය වට්ටම්, පෙර ඇණවුම්, කර්තෘ අත්සන්, ඒ වගෙම බුක්ෆෙයා එකේදි අදාළ ලේඛකයා මුණගැසීමේ පහසුකම, පොත් සම්බන්ධයෙන් වන විවිධ තරග මේ සියල්ලම ප්‍රචාරක උපක්‍රම. ඒ වගෙම තමයි සමහර ප්‍රකාශකයෝ, ලේඛකයො තමන්ට හිතවත් අයට පොත් නිකන් දීල රිවීව් ලියවනවා. එහෙම තෝරාගත් ප්‍රකාශකයන්ට, ලේඛකයන්ට රිවීව් ලියන පිරිසකුත් ඉන්නවා. ඇත්තටම එවැනි රිවීව් විචාර නෙවෙයි ප්‍රචාර. එය නොවිය යුත්තක්.
ඉතින් පොත විකුණන්න ප්‍රකාශකයා වගෙම නිර්මාණකරුවාත් විවිධ වෙළඳ උපක්‍රම ඔස්සේ කටයුතු කරනවා. ඒක වැරැද්දක් නෙවෙයි; විය යුත්තක්. (පොත් නොමිලේ ලබාදී රිවීව් ලියවීම හැර) මේ පොතටත් ආපු විවේචනයක් තමයි ඕනෑවට වඩා මාකටින් කරා කියන එක.
චරිතා සහ චතුරි
මේ පොත කර්තෘ ප්‍රකාශනයක්. චරිතා සහ චතුරි කියන තරුණ ලේඛිකාවන් දෙදෙනා ලියන්නෙ. එතකොට ප්‍රකාශකයෙක් නැති නිසා කරන මාකටින් එකක් කතුවරියො දෙන්නම කරන්න ඕනිනෙ. ඔබ කවුරුවත් දැක්කද මෙහි කතුවරියන් දෙදෙනා පොත කියවල පෝස්ට් දාන්න, පොටෝ දාන්න, වීඩියෝ දාන්න කියල සමාජ මාධ්‍යයේ දාපු පෝස්ට්. ඔවුන් එහෙම ෆේස්බුක් එකේ දැම්මද ? tiktok එකේ දැම්මද ? අඩුම ගණනෙ මේ පොත එළිදක්වන උළෙලක්වත් ඔබ දැක්කද? කතුවරියන් දෙදෙනා Tv ප්‍රෝග්‍රෑම්වල හෝ Radio චැනල්වල මේ ගැන කියනවා ඔබ දැක්කද? ඇහුවද? අඩුම තරමේ You Tube චැනල් එකකවත් මේ සම්බන්ධයෙන් කතුවරියන් දෙදෙනාගේ ප්‍රචාරණයක් දැක්කද? පොත් ප්‍රදර්ශනයේ කුටිවලට වෙලා කතුවරියන් මේ පොත ප්‍රවර්ධනය කරනවා ඔබ දැක්කද? මේ සියල්ලටම පිළිතුරු නැත යන්නයි. ඇත්තටම Forget me not සම්බන්ධයෙන් මම ඉහත සඳහන් කළ ආකාරයේ කිසිම මාකටින් එකක් කරල නෑ චරිතා හෝ චතුරි.
ඊට පස්සෙ කිව්වෙ නෙගටිව් මාකටින් කරා කියල. නෙගටිව් මාකටින් කියන්නෙත් අද සාර්ථක ප්‍රචාරණ උපක්‍රමයක්. චරිතා තවමත් වෛද්‍ය සිසුවියක්. දන්න විදිහට චතුරි වෛද්‍ය පීඨයෙන් පිටවෙලා Internship කරන්නෙ. කැම්පස් එකේ යහළුවන් දාල, Anonymous පෝස්ට් දාල නැති වෙළදපොළක් නිර්මාණය කරා කිව්වා. ඇත්තටම චරිතා, චතුරි දෙදෙනාගේ කැම්පස් මිතුරන් කිව්වම අදහස් වෙන්නෙ වෛද්‍ය සිසු සිසුවියන්. මම පෞද්ගලිකව දන්නවා ඔය වෛද්‍ය සිසුන්ට තමන්ට වැඩක් නැති අනුන්ගේ Marketing වැඩවලට සහභාගි වෙන්න තරම් වෙලාවක් නැති බව. ඇත්තටම ඒක ඒ පිළිබඳව අවබෝධයක් නැති අයගේ බොළද තර්කයක්. ඔය කැම්පස් යාළුවො මාකටින් එක කරාම කියල ඕනිනම් පිළිගමුකො. දැන් එතකොට කැම්පස් යන අතරේ පොත් ලියල තියෙන්නෙ මේ දෙන්නා විතරද? සරසවිවල ඉගෙන ගන්න අය බොහොමයක් පොත් ලියල තියෙනවා. අදටත් ලියනවා. සරසවි ආචාර්යවරු, මහාචාර්යවරු පොත් ලියනවා. එහෙමනම් ඔවුන්ටත් තමන්ගේ යහළුවන්, සිසු සිසුවියන් ලවා මේ වගෙ මාකටින් එකක් කරවන්න පුළුවන්කම තිබුනනෙ. එහෙම කවුරුවත් කරල නෑ නේද? කැම්පස් යාළුවො මාකටින් හැදුව කියන කතාව පට්ටම බොරුවක්. ඒක ඇත්තක් නම් ඒකෙන් කියවෙන්නෙ චරිතා, චතුරි දෙදෙනාව උස්සගෙන යන, දේවත්වයෙන් ඇදහිය යුතු මිත්‍ර සමූහයක් ඉන්නවා කියල. හරියට මේ පොතේ ඕල්යා හා යුමී සං වගෙ..
අද සමාජ මාධ්‍ය තුළ සමහර ප්‍රකාශකයන්ට සාමාජිකයන් 30000 - 40000 ඉක්මවපු ගෲප්, පිටු තියෙනවා. වට්සැප්, ටෙලිග්‍රෑම් ගෲප් තියෙනවා. ඒ වගෙම ලේඛක ලේඛිකාවන්ට Followersල ඉන්නවා 25000 - 30000 ඉක්මවපු. සමහර අයගෙ ලක්ෂය ඉක්මවලා. ඉතින් චරිතා, චතුරි කරේ ඒ වගේ මාකටින් එකක් නම් අනික් ලේඛක ලේඛිකාවන්ටත් ඉදිරියේදී ඒ වගෙ මාකටින් එකක් කරන්න පුළුවන් නේද? ඒක අභියෝගයක්.
දැන් කියනවා Forget me not නමින් ඉංග්‍රීසි පොත් ගොඩක් තියෙනවා කියල. එහෙම කියල ඒ පොත්වල පොටෝත් දාල. එහෙම දාපු අයගෙ බුද්ධි මට්ටම ඒකෙන්ම තීරණය කරන්න පුළුවන්. මොකද ඒ නමින් ඉංග්‍රීසි පොත්ම ගොඩක් තියෙනවානම් ඒ අතරින් මුලින්ම Forget me not නමින් කරපු පොතට විතරයි ඒ නමේ නියම හිමිකමක් තියෙන්නෙ. ඊට පස්සෙ Forget me not නමින් ලියවුණ ඒවා නම කොපි කිරීමක් කරල තියෙන්නෙ එහෙනම්. ඒ වගෙම තමයි ඔය විවේචකයන්ට අමතක වෙලා තියෙනවා මෙහි "මල් කිනිත්තක පුරාවෘත්තය" කියල නමකුත් තියෙන බව.
අලුත්ම චෝදනාව තමයි මේකෙ මුල්පොත රුසියන් පොතක්. මේ ඒකෙ පරිවර්තනයක්, කොපියක් කියල. එහෙම චෝදනා කරාට ඒ රුසියන් මුල් කොපිය කියවපු කෙනෙක්, ඒ පොත ළග තියෙන කෙනෙක් , අඩුම ඒ පොතේ නම දන්න කෙනෙක් හොයාගන්නවත් නෑ.
ඒ අස්සෙ පොතේ PDF එකක් ඇවිත්. ෆේස්බුක්, වට්සැප්, ටෙලිග්‍රෑම් හා ටික්ටොක් සමූහ තුළ විකුණනවා. PDF සම්බන්ධයෙන් මගෙ අදහස නම් පොත් එකතු කිරීම, මිලට අරන් කියවීම වෙනම සංස්කෘතියක්. කොච්චර pdf ආවත් මුද්‍රිත පොතක් කියවන අයෙක් pdf කියවන්නෙ නෑ. ඒ හින්දා PDFවලින් ඔය කියන තරම් බලපෑමක් නෑ. ඒක අනවශ්‍ය ලෙස ඉස්මතු කර නොදැක්විය යුතු එකක්. ඒ හින්දා PDF එකක් ආව කියල මේකට බලපෑමක් නැති බවයි මගෙ පෞද්ගලික අදහස.
ඇත්තටම මම විශ්වාස කරන්නෙ, දකින්නෙ Forget me not මේ තරම් මාර්කට් කළේ පාඨකයො. ලංකාවෙ එහෙම පාඨකයන් අතින් නිරායාසයෙන්ම මාර්කට් වුණ පොත් තියෙනවා කියල ඉතිහාසය අධ්‍යනය කරොත් පෙනේවි. අනාගතයෙත් පාඨකයන් අතින් මාර්කට් වෙන පොත් ඒවි.
මේ පොතට මේ අධික ඉල්ලුම ආවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක. ඔබ දන්නවා ඇති මෙවර පොත් ප්‍රදර්ශනය සමයේ පොත් මුද්‍රණය උනේ ආප්ප දානවා වගෙ. ඒ තරම් අති විශාල අලුත් පොත් ප්‍රමාණයක් මුද්‍රණය වෙලා වෙළදපොළට ආවා. මේ පොතත් එක්ක ඒ පොත් ගැන කතිකා ඉස්මතු වුණේ නෑ. එහෙම දේවල් මීට කලින් ඕන තරම් වෙලා තියෙනවා. නමුත් කලින් මේ විදිහට හයිප් උන පොත්වලට කවුරුවත් මෙහෙම ගැහුවේ නෑ. මොකද ඒවා කරේ දැවැන්ත ප්‍රකාශකයෝ, ප්‍රවීණ ජනප්‍රිය කතුවරු. ඒවාට හොඳ කියන්න ඕනිතරම් දායක සභා තියෙනවා. මේ කෙල්ලො දෙන්නට ඒ කවුරුවත් නෑ. ගහන්න ලේසියි. ඒ හින්දා ගැහුවා.
ලක්ෂ ගාණක් වටින free මාකටින් කැම්පේන් එකක් පාඨකයෝ අතින්ම සිද්ධ වීම නිසා මේ පොතට අධික ඉල්ලුමක් ඇතිවුණේ. ඔන්න ඕක තමයි මේ පොත එක්ක සමහරක් පිරිස් ඇරියස් වෙන්න, වෛර බඳින්න හේතුව.
ඇත්තටම මේකට මාකටින් හැදුවෙ පාඨකයා වගේම නිර්දය විවේචනයන්ගෙන් ඔවුන් දෙදෙනා ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණේ පාඨකයන් විතරයි. බහුතරයක් ප්‍රකාශකයන්, ඇතැම් ලේඛක ලේඛිකාවන් මේ පොතට අවඥා කරා, අපහාස , උපහාස කරා. හෙළා දැක්කා. නමුත් ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් අතළොස්සක් කතුවරියන් දෙදෙනා වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ පෙනී සිටියා. සමහරක් දෙනා තමන්ගේ කුහකත්වය , ඊර්ෂ්‍යාව ශ්‍රාස්ත්‍රීය විදිහට ප්‍රකාශ කරා.
ඇත්තෙන්ම මෙහි අන්තර්ගතය (Content) සම්බන්ධයෙන් ප්‍රමාණවත් විවේචනයන් එල්ල වෙලා නෑ. සමහර අය කියන්නෙ "කේකුයි කිරි හොදියි" වගෙ කියල යාළුවො කිව්වා කියල. තව අය පොතේ පිටු තුන හතරක් කියවල අතෑරපු අය. ඊට වඩා මොනම විදිහකින්වත් කියවන්න බැරිලු. ඒ අය බලාපොරොත්තු වෙන්න ඇත්තේ තරුණ කෙල්ලො දෙන්නෙක් ලියපු එක දිගට, එක හුස්මට, එක රැයින් කියවල ඉවර කරන්න පුළුවන් කතාවක්. ඇත්තටම එහෙම කතාවක් මෙහි නෑ. ඉතින් එහෙම බලාපොරොත්තු වුණ මේ පොතේ පිටු තුන හතරක් කියෙව්වා කියන්නෙත් ඇත්තටම ජයග්‍රහණයක් ඔවුන්ගෙ පැත්තෙන්.
මුලින්ම කියන්න ඕනි මම මේ පොත ගැන ඉදිරි සටහන තබන්නෙ මෙය කතුවරියන් දෙදෙනාගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් කියන දැඩි විශ්වාසයෙන්.
ලංකාවේ දෙදෙනෙක් එකතුවෙලා ලියපු පොත් තියෙන්නෙ ඉතාමත් ස්වල්පයයි. සුනේත්‍රා රාජකරුණානායක සහ සමන් අතාවුදහෙට්ටි ලියූ හර්ද සූත්‍රය, උපුල් ශාන්ත සන්නස්ගල සහ ආරතී දේවී මෝහන්දාස් ලියූ May December Romance වගෙ ඒවා කීපයක් විතරයි මම දන්නෙ. එවැනි පොත් අතර කතුවරියන් දෙදෙනෙකු ලියූ පොත් හමුවෙලා නෑ. මම විශ්වාස කරනවා ලංකාවේ ලේඛිකාවන් දෙදෙනෙකු එකතු වෙලා ලියූ පළමු නවකතාව මේක කියල. එහෙම නොවේනම් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ අර්ථයෙන් බැලුවොත් මේ පොත ලාංකීය නවකතාවේ හැරවුම් ලක්ෂ්‍යයක්.
චරිතා, චතුරි යුගලය කතාව පාඨකයා වෙත ඉදිරිපත් කර ඇත්තේ අලුත්, නැවුම් ආකාරයකට. සම්පූර්ණ නවකතාව කියවෙන්නෙ ප්‍රධාන චරිත දෙක අතර හුවමාරු වුණු ලිපි ආකාරයෙන්.
මේ ලියුම් ආකාරයෙන් කියවෙන කතාව Chapter 5 කින් යුක්තයි. ඒ Chapter 5 න් හතරක් අපි දන්න සිසිරය, වසන්තය, ගිම්හානය හා සරත් යන ඍතු නමින් නම් කරල තියෙන්නෙ. 5 වන චැප්ටර් එක අලුත්ම ඍතුවක්. ඒක අපිම හදාගන්න ඍතුවක්.
හුවමාරු වන හසුන්පත් ආකාරයෙන්, ඍතු 5 ක් තුළ කතාව අන්තර්ගත කිරීම මම දකින්නෙ ලාංකීය නවකතාවේ ආකෘතිමය වෙනසක් ඇති කිරීමක් ලෙස.
මේ ආකෘතිමය වෙනස ශක්තිමත් කිරීමට දායක වෙලා තියෙනවා අන්ත දෙකක් තුළ කතාව ගොඩ නැගීම. එක අන්තයක් ඕල්යා. අනික අන්තය යුමී සං. මේ චරිත දෙක අන්ත දෙකක් හරහා ගොඩනගන්නෙ නිකම්ම නෙවෙයි. විවිධත්වයක් ඇතිව. ඒ විවිධත්වය තමයි එකිනෙකට වෙනස් පරිසර පද්ධති සහිත භූගෝලීය කලාප දෙකක්. එකක් ඈත කඳුකරය, අනෙක මෑත මුහුදුකරය.
පොත කියවන්න ගත්ත සමහර අය පිටු කීපයක් කියවල අතෑරිය කිව්වනෙ. ඇත්තටම මේ පොත ඉතාමත් අවධානයෙන් කියවිය යුතු පොතක්. නිරතුරුවම පාඨකයාගේ අවධානයම අයැද සිටින පොතක් Forget me not කියන්නෙ. ඉතාමත් අවධානයෙක් කියවිය යුත්තක්. ඇත්තටම පොත කියවීම මානසික අභ්‍යාසයක්. පොතේ ඒකාකාරී බවක් තියෙන බව ඇත්තක්. ඒ ඒකාකාරීත්වය තුළ තමයි පාඨකයාට පොත කියවීම වෙහෙසක් වගෙ දැනෙන්නෙ. එහෙම ඒකාකාරී බවක් දැනෙන්නෙ ඇයි?
මෙහි ක්‍රියාකාරී චරිත දෙකයි තියෙන්නෙ. ඒ ඕල්යා සහ යුමී සං. නමුත් සාත්තු නිවාසයේ සිනිඳු මිතුරිය, තරුණ කතන්දර කියන්නා, ශෝකජනක දෑසකට පෙමින් බැදුණු තරුණයා සහ සදාකාලික ප්‍රශ්න අසන්නිය යන නම්වලින් කතාව සමග සම්බන්ධ චරිත කිහිපයක් ඉන්නවා. ඇත්තටම මේ චරිත කවුද කියල අනුමාන කරන්නවත් බෑ. ඇත්තටම ඒ චරිත පාඨකයා වික්ෂිප්තභාවයට පත් කරවනවා. ඒ තුළ කතාවේ ගලායෑමේ රිද්මය මන්දගාමී වෙනවා. නමුත් අවසානයේ මේ චරිත කවුද කියල හෙළිදරව් වෙනවා. ඔවුන් තමයි මේ කතාවට අත්‍යාවශ්‍යම සම්බන්ධක චරිත.
මේ කතාව කියන්නෙ ලියුම් විදිහට. ඒ වගෙම තමයි සිදුවීම් තියෙන්නෙ ලියුමෙ අනෙකට කියන ආකාරයෙන්. ඒ හින්දා වෙනත් නවකතාවල වගෙ සිදුවීම්වල සජීවී බවක් දැනෙන්නෙ නෑ. අපි ඉන්න තැනට ගෙනත් මේ පොත රස විඳින්න බෑ. පොත තියෙන තැනට, ඕල්යා ඉන්න කඳුකරයට අපි යන්න ඕනි. යුමී සං ඉන්න මුහුදුකරයට අපි යන්න ඕනි. එහෙම උනොත් තමයි රස විදීම පහසුවෙන්නෙ.
මම හිතනවා චරිතා සහ චතුරි ඍතු පහක් තුළ කතාව ගොඩනැගුවෙ ඕල්යාගේ හා යුමී සංගේ මනෝභාව කියන්නම කියල. ලාංකික අපිට ඍතු නැති හින්දා ඍතුවල අත්දැකීම් නෑ. නමුත් මේ ඍතුවල ක්‍රියාකාරිත්වය ඊට මුහුණ දෙන මිනිස්සුන්ට දුක, සැප මිශ්‍රිත එකක්. සිසිරයේ රාත්‍රී දිගයි. දහවල අඩුයි. වසන්තයේ මල් පිපිල පල බරවෙනවා. අපි ජීවිතයට ප්‍රාර්ථනා කරන්නෙත් එහෙම වසන්ත කාල. ගිම්හානයේ ඇළ දොළ සිඳිල කිසිම තෙතමනයක් නැතුව යනවා. සරත් ඍතුවේදී තුරුපත් ගිලිහිලා මහා වනස්පතීන් තනිවෙනවා. අපේ ජීවිතත් එහෙමයි. ළග හිටපු ආදරණීය පුද්ගලයො අපිව දාල යනවා. හැබැයි කවදහරි ආයෙත් වසන්තයක් එනවා.. හැබැයි අපිම හදාගත්ත පස්වන ඍතුවට ආවට පස්සෙ ආයෙ ඍතු මාරුවෙන්නෙ නෑ.
මේ පොත කියවන වයස අවුරුදු දහ අට, දහ නවය, විසි ගණන්වල සිටින ඔබ ඔබේ වර්තමානයේ සිට මෙය කියවන්න. වයසින්, අත්දැකීම්වලින් මුහුකුරා ගිය ඔබ අතීතයට පිය නඟන්න. අවුරුදු දහ අට, දහ නවය, විසි ගණන්වල නතර වන්න. එහි සිට මේ පොත කියවන්න. දැන් ඔබට බොළද බවේ හා බුද්ධිමත් බවේ බෙදුම් රේඛාව මත ගැටුමක් ඇති නොවනු ඇත.
ඇත්තෙන්ම මෙහි එහෙම බොළඳ ආදර කතාවක් නෑ. හදවතේ පතුලම ස්පර්ශ කරමින් සංස්ථාපනය වුණ ප්‍රේමයක නටඹුන් නම් මෙහි තිබෙනවා. ඉතින් ඕල්යා, යුමී සං ඒ නටඹුන් මත සෙමින් සෙමින් පිය නඟනවා. මතක ස්මරණය කරනවා. ඔබ මේ හසුන්පත්වලින් කියවෙන කතාව ලඝු ලෙස සිතන්න එපා. කුඩාකල සිට තරුණ වයස මැදින්, මැදිවිය පසුකර යනවිට මිනිස් සිතක ආදරය නම් හැඟීම ක්‍රියාකාරී වන්නේ කෙසේදැයි අධ්‍යනය කරන්න. All fair in love & war කියල කියමනක් තියෙනවා. ඒ කියමන තව තවත් සනාථ කරපු කතාවක් තමයි මේ. ඔබ මනෝවිශ්ලේෂණීයව මේ චරිත කියවන්න.
විෂාදය (Depression) කියන්නෙ සුළුවෙන් තැකිය යුතු රෝගී මට්ටමක් නෙවෙයි. විෂාදයේ කෙළවර සියදිවි නසා ගැනීම වෙන්න පුළුවන්. විෂාදය කියන්නෙ ඖෂධවලින් පමණක් ප්‍රතිකාර කර සුවකළ හැක්කක් නොවේ. එයට වැඩිපුරම අවශ්‍ය වන්නේ මානසික ඔසුකාරක. විෂාදයට හොඳම පිළියම නම් ඔහු හෝ ඇය තනි නොකිරීමයි. ඔහුට හෝ ඇයට සවන්දීමයි. තේරුම් ගැනීමයි. තරුණ වයසෙ විෂාදයෙන් පෙළෙන්නෙකු තේරුම් ගන්න පුළුවන් හොඳම කෙනා වෙන්නෙ ඒ වයසෙ යාළුවෙක්. මොකද එහෙම දෙදෙනෙක් අතර අසමානකම් අඩුයි. ඔවුන් දෙදෙනාම සමාන්තර ලෝකයක ජීවත් වන්නෙ. අපිටත් ලැබෙන්න ඕනි ඕල්යා, යුමී සං වගෙ අපිව තේරුම් ගත්ත, මොහොතකටවත් තනි නොකරන , හොඳින් සවන් දෙන, අපව විනිශ්චයට ලක් නොකරන, ප්‍රශ්න නොකරන, දරාගත නොහැකි උපදෙස්, අවවාද, අනුශාසනා නොදෙන යහළුවන්. ඕල්යා යුමී සං අතර මිත්‍රත්වයක් ගොඩනැගෙන්නේ , වර්ධනය වන්නේත් ඒ තේරුම් ගැනීම තුළයි; ඒ සවන් දීම තුළයි. ඇත්තෙන්ම ඒ අපූරු මිත්‍රත්වය තුළම ජීවිත කීයක් ආරක්ෂා වුණාද ?
මෙම නවකතාව රුසියන් නවකතාවක කොපියක් යැයි කියන්නේ හේතු දෙකක් නිසා බව පැහැදිලිය. ඉන් එකක් නම් කතාවේ චරිත , සිදුවීම් , පරිසරය හා භූගෝලීය කලාපය රුසියාව යැයි අනුමාන කළ හැකි බැවිනි.
ඇත්තටම මෙය විදේශීය රටක ලියැවුණු නවකතාවක් හා සමානයි. නමුත් හිටපු ගමන් හෙළ උරුවක් දෙසට ගමන් කරපු අවස්ථා කීපයක් තිබුණා. ඒවා තමයි මෙහි ඌනතා.
පොතේ අන්තර්ගතය වගේම පිටකවරය සහ ඇතුළත නිමාව ගැන කතා නොකළොත් අය අඩුවක්. මෙහි Chapter වෙන්කරල තියෙන්නෙ ඍතු නිරූපණය වන ඉතාමත් කලාත්මක වර්ණ ජායාරූපවලින්. ඇත්තටම කලාත්මක බවින් අනූනයි. පිටකවරයත් එහෙමයි. ඇත්තටම නව යොවුන් නිර්මාණකාරියන් දෙදෙනෙකුගේ කුලුඳුල් නවකතාව කියල හිතන්න බැරි තරම් ඉහළ නිමාවකින් මෙම පොත කරල තියෙනවා. පොත මේ තරම් මාකට් වෙන්න ඒකත් හේතුවක්.
මේ ලෝකයේ හොඳ හෝ බාල වර්ගයේ (ප්‍රබුද්ධ හා පීචං) කියා වර්ගීකරණයට ලක්කළ හැකි පොත් නැත. හොඳ නරක තීරණය වන්නේ පුද්ගලානුබද්ධවයි. One Man's paradise is another is hell කියා කියමනක් ගොඩනැගී ඇත්තේ ඒ නිසාය. පොතක් කියවා අන්තර්ගතය සාධනීය ලෙස විවේචනය කිරීම තරම් වටිනා සම්මානයක් ලේඛකයෙකුට නැත. මේ පුංචි සාහිත්‍ය අංකුර දෙකටද අවශ්‍ය වන්නේ අන්තර්ගතය පිලිබඳ සාහිත්‍ය විවේචන මිස විකිණීම, මාකටින් පිළිබඳ ඊර්ෂ්‍යාව කුහකත්වය මුසු නිර්ධය විවේචන නොවේ.
පොතේ ඡායාරූපය වෙනත් පෝස්ට් එකකින් ගත්ත එකක්. ඒ ඡායාරූපයේ අයිතිකරුට ස්තුතියි.
(චතුරංග අමරතුංග)
(උපුටා ගැනීම Chathuranga Amarathungaගේ face book පිටුවෙන්)
ඡායා : උපුටා ගැනුණි