කොළඹ නාගරික ජන ජීවිතය ගැන උනන්දු, කොළඹ නගරයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක

(70 සිට 80 දක්වා) සිදුවූ සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනය දෙස ස්ත්‍රීවාදී ප්‍රවේශයකින් රචනා කර ඇති කුමුදු කුමාරසිංහගේ කොළඹ මතක පොත සාහිත්‍ය මාසේ මගේ සිත්ගත් පොතක්. විවේකයන් නොගෙනම කියවන්න.


අපිට සාමාන්‍යයෙන් අහුවෙන්නේ කොළඹ ගැන පර්යේෂකයින්ගේ ප්‍රවේශයෙන් ලියපු සමාජ විද්‍යාත්මක, නාගරික අවකාශය පිළිබඳ පොත පත. කුමුදුගේ පොත ඒ අතර සුවිශේෂියි. ඇයගේ ජීවන ඉතිහාසයත් එක්ක සමපාතව සමාජ ආර්ථික දේශපාලන ඉතිහාසය ගැටගැහිච්චි ආකාරය විග්‍රහ කිරීම නිසා.

කුමුදු මතක කොළඹ'- (මංජුල වෙඩිවර්ධන)ඇය දෙමටගොඩ 60 වත්තෙහි ජීවත් වෙමින් එම පළමු අත්දැකීම් විඳිමින් මේ කාලය තුළ සිදුවූ විපර්යාස සියසින් දකිමින් එහි එදිනෙදා සාක්ෂිකරුවෙකු වෙමින් කෘතිය රචනා කරනවා. ඒ නිසායි මේක කුමුදුගේ කතාව එහෙම නැත්නම් කොළඹ මතකය අපිට වැදගත් වෙන්නේ.

මේ පොත ගැන මේ වන විට විවිධ සාකච්ඡා සංවාද සංවිධානය කරනවා මා දුටුවා. ඇත්තටම මේ පොත ගැන සාකච්ඡා සංවාද ගොඩනැඟිය යුතුමයි. මේ පොතේ සාර්ථකතත්වය තියෙන්නේ, කුමුදුගේ ජීවන අත්දැකීම් සියල්ල ලංකාවේ එක් දේශපාලන කාල පරිච්ජේදයක් නිරූපණය කිරීම. ඒනිසා පොතෙන් සංවාද ගණනාවකට කවුළු විවර කරනවා.


ඇය නගරය නිර්වචනය කරන්නේ කොහොමද? නගරයේ අන්තර්සම්බන්ධතා තේරුම් ගන්නේ කොහොමද? ඇගේ ජීවිතයේ ගඳ සුවඳ, දුක සැප,  ප්‍රතීය වේදනාව පාඨකයාට ගේන්න. අපි ලංකාවේ කුමන කෙළවරක ජීවත් වුණත්, අපි ආස කරලා තියෙන්නේ, විනෝද වෙලා තියෙන්නේ, අපේ තරු, අපේ දේශපාලනය, අපි වින්දතයෝ වෙන තැන සමානයි නේද කියන සමාන හැඟිම පොත කියවද්දි නිරායාසයෙන්ම ඇති වෙනවා.  “අපේ කතාව පිළිබඳ හැඟීම” කෘතිය කියවන්න වඩා හොඳ අභිප්‍රේරණයක් දෙනවා. ඒ නිසා තමයි මේ පොත මෙච්චර පාඨකයාට ආකර්ෂණය වෙන්නේ.

කොළඹ නිරුවත් කරන 'කොළඹ මතක'- (ජයසිරි අලවත්ත)

 

කොළඹ නිරුවත් කරන 'කොළඹ මතක'- (ජයසිරි අලවත්ත)මට හිතෙන්නේ කුමුදු, සිවිල් සමාජයේ යම් ස්ථානයක් සනිටුහන් කරමිනුයි ඇගේ ජීවිතයේ එක් කාල පරිච්ඡේදයක් දිගහරින්නේ. ඇගේ අනන්‍යතාවය පිළිබඳ ප්‍රාදේශීය ලේබලයක් ගොඩනැඟි තිබෙනවා නම් ඇය වටා, එහි සළු නිකම්ම ඇය විසින්ම උනා දමනවා. සීරුවට. අපිට පෙනෙන්නට පටන් ගන්නවා, වත්තේ ජීවත් වූ නිකම්ම “කුමුදු කුමාරසිංහ” වෙනුවට කුමුදු කුමාරසිංහ කියන නාට්‍ය නිළිය සිවිල් චරිතය මතුවෙනවා. සිවිල් සමාජයේ චරිතයක් වෙමින් කුමුදු අපිට වැදගත් දෙයක් කියා පානවා. ඒ තුළින් ඇගේ අව්‍යාජත්වය, විවෘතභාවය, සහකම්පනය අපිට දැනෙනවා. පාඨකයේ වන අපි කුමුදුට තවත් ආදරය කරනවා.

ඇය සඳහන් කරනවා එක් තැනක, “ඔබට අනුව මාව ස්ථානගත කරන්න”.  ඇය නොකියා කියන්නේ නගරය පිළිබඳව ඇති කතිකාවේ මධ්‍යම පාංතික දෘෂ්ටියට අනුවයි. නගරයේ ආන්තීකර එක්‌ කොටසක් වන නාගරික අඩු ආදායම්ලාභීන්, ජීවත්වන්නට කිසිසේත් සුදුසු නොමැති පෙදෙසක ජීවත්වීම,නාගරික තදබදය, සම්පත් පොදුවේ භාවිතා කිරීම (විශේෂයෙන් ජලය, වැසිකිලි, ප්‍රජා ශාලාව). ඒ වගේම පවුලකට ප්‍රමාණවත් නොවන කුඩා බිම්කඩක් තාවකාලික හෝ ස්ථීර නොවන නිවාසයක විශාල සාමාජික සංඛ්‍යාවක් ජීවත්වීම. ඔවුන්ගේ භාෂා භාවිතය සහ සංස්කෘතික ජීවිතය. ඔවුන්ගේ හැසිරීම, මේ භෞතික සැකැස්ම ගැන ඇය වඩා දැනුවත්. අනෙකාගේ පර්යාලෝකයත්  නාගරික සමාජ විද්‍යාඥයිනගේ පර්යේෂණ උනන්දූන් ඇය දනුවත් බව කියාපානවා මේ කෘතියේ සලකුණු කරලා තියන මතකයන්.


මගේ ගෙදර ලිපිනය තියෙන්නේ ‘දෙමටගොඩ, කොළඹ නවය’ කියලා. එතකොට මම අයිති දෙමටගොඩට. මම අයිති වත්තට ද මුඩුක්කුවට ද ඔබ කැමති ඕනෑම තැනක මාව ස්ථානගත කරන්න (පි.ii). ඇය මෙතන දි සියුම් ප්‍රහාරයක් ද එල්ල කරනවා අධිපති කතිකාව තුළ නගරය නිර්මාණය වී තිබෙන ආකාරය මහා සමාජය තේරුම් ගැනීම පිළිබඳවයි. සමාජයේ නොවැදගත් කොටසක් ලෙස ආන්තීකරණයට ලක්කිරීම පිළිබඳව ඇගේ මේ  මැදිහත් අදහස් ඉතාමත් වැදගත්.  

ඒ වගේම මේ බිම් කඩ ඇයට අනුව “අපේ ගම”. ඇත්තටම ඇයගේ දිග හැරුමට අනුව මෙතන තනි තනි ජීවිත නැහැ. සාමුහික ජීවන පැවැත්මක් තියෙන්නේ. නමුත් ඇය ඇගේ ප්‍රජාව පිළිබඳව we feeling එකකින් කතා කරනවා.

 


“ලොකේ කොහේ රවුම් ගහලා ආවත් මට ඒ මගේ පුංචි ගෙදරට එන පාරෙන් හැරුණු ගමන් පුදුම සනීපයක් දැනෙනවා” (පි.i).

පුංචි කාලේ කන්දක් නිර්මාණය කිරීම, සිරිපාදේ යෑම, මාලිගාකන්ද ජලාශය, පන්සල් යෑම, භක්ති ගීත, දේශපාලඥයින් පිළිගැනීම, විනෝද වීම, පච ගහ, සල්ලි ඔට්ටු දැමීම සුදුව පොලිසියෙන් පැනීම, කොටහළු වීම මඟුල් ගෙවල්, මළ ගෙවල් වල සංස්කෘතිය, සම්බන්ධතා ගොඩනැඟීම...... මේ සියල්ල නාගරික ජන ජීවිතය අලලා ලියවුණු කතා වුණාට හද්ද ගම්මල ජීවත් වූ අපේ කතා. අපේ ළමා කාලයට  අපව අරගෙන යන්න කුමුදු සමත්වෙනවා. ළැදැරියක් ලෙස දෙමටගොඩ ආශ්‍රිත ජීවිත අත්දැකීම් අපුර්ව ආකාරයට ප්‍රහර්ෂයට නැඟීම සිත්ඇදගන්නා සුළුයි.

ඇය ඉපදුණු වර්ෂයට අනුව (1971.12.31) ඇය කියාපානවා, නිර්ප්‍රභූ ළැදැරියක් ලෙස එක්තරා යුගයක කොළඹ නගරයේ ජීවිතය තුළ අපි කියන හැඟීමේ පිබිදීම ගැන. ඒ වගේම නාගරික අවකාශය තුළ ඇය එකිනෙකා අතර අන්තර් සම්බන්ධතා පැවත්වූ ආකාරයයි. වැදගත්ම දේ ඒ සියල්ල සැලෝලයිට් පටියක් සේ ඇයට මතකයේ තිබීම. ඒවා දිනපොතක සටහන් වෙච්චි දේවල් නෙමෙයි. හැබැයි ඇයගේ වයසට අනුව අවුරුදු 50ක් ආපසු හැරී බැලීම එම සජීවී අත්දැකීම පාඨකයාට ගෙන ඒම සුවිශේෂයි. එය අපගේ ජීවිතයට සමපාත වීම අපුරුයි.

කුමුදු ඔය කියන කාලේ කුමුදුගේ වචන වලින්ම කිව්වොත් “ අපේ ගම්වලත් රෑට මිනිස්සු බීගෙන එනවා. ගමේ කොල්ලෝ එක්ක රණ්ඩුවෙනවා. බිරිඳ එක්ක රණ්ඩු වෙනවා. කුණුහරුප කියනවා. ඉස්පිරිතාලේ අරගෙන යනවා. මරාගන්නවා. තරුණ කෙල්ලෝ කොල්ලෝ ලියම් ලියනවා විතරක් නෙමයි සම්බන්ධතා පටන් ගත්තු සැණින් පැනලා යනවා. දීග ඇරෙනවා. සංගීත සන්දර්ශන වලට පවුල් පිටින් යන්නේ.  දේශපාලඥයෝ පස්සේ යනවා. රක්ෂා ගන්න. අන්තිමට සුදුසුකම් තියෙන කෙනාට රක්ෂාව ලැබිලා නෑ. පාදඩ දේශපලානය ආවේ මේ කාලේ. ස්ත්‍රී දුෂණ  ගැන කියන්න කෙනෙක් නෑ.

 

නිර්ප්‍රභූ ළැදැරියක් ලෙස ඇගේ ප්‍රජා ඇත්දැකීම්,  අධිපති ඉතිහාසය නියෝජනය කරන දේශපාලනඥයින්ගේ රෙදි ගලවනවා.බත් පැකට් එකේ කැත දේශපාලනය ඉස්මතුවීමේ සන්දර්භය  පිළිබඳ ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කරනවා.  අවුරුදු 50ක් තිස්සේ “නාගරික අඩු ආදායම්ලාභීන්ගේ ජීවිතය”  දේශපාලඥයින්ගේ අතකොළු වන ආකාරය සාක්ෂි මත පදනම් වූ ජීවන අත්දැකීම්  නැවුම්ව ඉදිරිපත් කරනවා. ඇගේ කතාව නොනවත්වා ස්වකීය ජවයෙන් ඇය ලියනවා. අපිට තව තව කියවන්න පොළඹවනවා. අපේ සාමුහික ජීවිතයට බද්ධ වුණු අපුල දේශපාලන කතාවල මූලයන් කියවද්දී පාඨකයා වන අපිටත් ගැඹුරු හුස්මකට සාධාරණ සමාජ වෙනසකට කුමුදු ආරාධනා කරනවා.

 

කුමුදු මතක කොළඹ'- (මංජුල වෙඩිවර්ධන)

ඒ සියල්ලටම වඩා මාව ආකර්ශණය කළේ ඇය ඇඟේ අම්මා පිළිබඳ දිගහැරුම.


“මගේ අම්මාව ගැන කියන්න ලොකු කතාවක් මට තිබුණා. එහා තනිකම දරාගත්තෙ කොහොමද? එයාගේ වෙහෙසකර මූණ. එයා ජීවිතයට මූණ දුන්නු විදිහ මම දැකපු හැටි. මගේ පැත්තේ මිනිසුන්ගේ ජීවිතය. ඒගොල්ලො ප්‍රශ්නවලදී හැසිරුණු හැටි” (පි.i).


වාමාක්ෂික අදහස් දැරු පියෙකු විසින් ගැහැණු දරුවෝ පස්දෙනෙකු සමඟ අතහැර දැමු මවක්. එක රැයක දී එළියට දැමීම...

තාත්තා හැර යෑම නිසා ඇතිවූ  වම  පිළිබඳ අප්‍රසාදය  ඇය සනිටුහන් කරන්නේ ද, උත්ප්‍රාස ජනක ආකාරයට. ඇය ලංකාවේ දේශපාලනය ව්වේචනය පටන් ගන්නේම ඇගේ පවුලෙන්.

මේ සියලු සමාජ ආර්ථික දේශපාලන විපර්යාස මැද හරිහැටි නිවාසයක් නොමැතිව, මව්පාර්ශවයේ ගැරහිලි මැද “කුස්සි  ගෙදරක” නිහඩ ජීවන අරගලය. සැමියා විසින් අතහැර දැමු බිරිඳක් යන සීල් එක වදින්නේ නැතුව “ලංකාවේ සංස්කෘතිය තුළ, ගණනාත ඔබේසේකරගේ ලැජ්ජා-භය සුත්‍රගත කිරීම(1984) අනුව යමින් ඇගේ අම්මාගේ ආරක්ෂක දැලක් වෙනවා. “ වරදේ නොබැඳෙමින් ගැහැණු දරුවෝ පස්දෙනෙකු ලොකු මහත් කිරීමේ සමාජ වගකීම මැසිවිලි නොගා අත නොපා ඉටුකරනවා.

 

කළු ජූලිය සැමරීම : වාමාංශික තක්කඩියන්ගේ දෙබිඩිකම 

කුමුදුගේ මව පිළිබඳ නිරාවරණය, තිස් අවුරුදු යුද්ධයක වින්දිතයෙක් ලෙස දිගහැරිණු කතිකාව, ඇය ජීවත් වූ 60 වත්ත විවෘත ආර්ථිකයත් සමඟ  නගරයේ ජීවිතය දිග හැරීම, අභ්‍යන්තර සංක්‍රමණ, 83 කළු ජුලියේ අත්දැකීම්, දෙමළ ජනතාවගේ දේපළ මංකෝල්ලකෑම්, දෙමටගොඩ 60 වත්තට ටීවී රේඩියෝ වගේ ඉලෙක්ට්‍රික් බඩු ගෙන ඒම. මේවා පාඨකයෝ විදිහට අපි අහලා තියෙන කතා. නමුත් කුමූදුගේ කතාවෙන් අපිට ඒවායේ සත්‍ය බව තහවුරු කරනවා. කුමුදු අපිට නොකියා කියන්නේ සිංහල බෞද්ධයින්ගේ බෞද්ධ හෘද සාක්ෂිය පැත්තකට තියලා  තම සහෝදර ජනතාවකගේ දේපළ මංකොල්ලකෑම, අවස්ථාවාදී  දේශපාලඥයින්ගේ ගැට වලට අසුවුණු ආකාරයත්ය.


හැත්තෑහතේ ජේ.ආර්.ජයවර්ධනගේ විවෘත ආර්ථිකය නිසා කාන්තාවන් මැදපෙරදිග යන්න පටන්ගත්තු එක, ඒ හරහා නිර්මාණය වුණු අලුත් ප්‍රශ්න, විවිධ දේශපාලකයන් හරහා පාතාලය ක්‍රියාත්මක වුණු හැටි කුඩුකාරයින් බෝවුණු හැටි ඔබට වැදගත් වේවි (පි.iii).

විශේෂයෙන් විවෘත ආර්ථිකය තුළ නරයේ අඩුආදායම්ලාභී කාන්තාවෝ මැදපෙරදිග සංක්‍රමණය වුණා.  නගරයේ කාන්තාවන්ට වෙනස් ජීවිතයක් උදාකර දීම. 88/89 ජේවීපි තරුණ අරගලය, නාගරික දුප්පත්කම නාගරික ජනවාස  පේළි නිවාස තුළ ඇති සම්බන්ධතා ගැටුම් ඇතිවීම සම්පත් හිඟය බෙදා හදා ගැනීමේ දී ඇතිවන ගැටළු නාගරික තදබදය ජනඝණත්වය මුල් ඉඩම් අහිමි වීම ඉඩම් දේශපාලඥයින් විසින් මංකොල්ලකෑම පසුකාලයේ දී මත්ද්‍රව්‍ය භාවිතය පාතාලය මිණිමැරුම් පිළිබඳ අත්දැකීම් වලින් ග්‍රහණ කෘතිය පුරාම නගරය කොහොම ජීවන භාවිතාවක් වෙන්නේ කියන එකට බොහෝ නිදසුන් සපයනවා. ඒවා  නාට්‍යමය ආකාරයට  ඉදිරිපත් කරනවා.

 

poor b


කුමුදුගේ, ස්ත්‍රීවාදී ආස්ථානය නරගයේ අඩු සම්පත් ජීවිතය තුළ ගණුදෙණු කරන ගැහැණියගේ කටුක ජීවන යථාර්ථය එළිදරව් කරනවා. වත්තේ සියලු සම්පත්වල අයිතිය සහ පරිහරණය පුරුෂයා විසින් තීරණය කිරීම. පොදු ලිඳ, පොදු වැසිකිලිය, පයිප්ප ලඟ සංස්කෘතිය, පිරිමි තමාට අවශ්‍ය වෙලාවක් ගත්තත් ගැහැණියට එසේ අවස්ථාවක් නොලැබීම. කිසියම් හෝ අවස්ථාවක් ගත්විට කාන්තාවන්ට නම් පට බැඳීමේ සිට සිදුකරන වාචික මානසික හිංසනය. වත්තේ බල සම්බන්ධතාවල අඛණ්ඩ ගලායෑම සහ ස්ත්‍රීන්ගේ පීඩාව සියුම්ව මතුකරනවා.


ළැදැරියක් ලෙස සිටින අවදියේම ලිංගික හිරිහැරවලට ලක්වීම, සම්බන්ධතා පැවැත්වීම, ගැහැණු බඩ වීම, ළමයි හම්බවීම, ගුටිබැට කෑම, වැන්දඹුවීම පිළිබඳ ඒ කතන්දර තුළ සිංහල සමාජයේ සමාජ ලිංගිකත්වය පිළිබඳ අවංක විස්තරයක් ගැබ් වෙනවා. ඒ බව අප තුළත් සන්වේදනා ඇති කරනවා. සුළුවට ලක්කළ හැකි දේවල් නොවන බව දක්වනවා. මෙකි දේවල් වලින් වින්දිතයින් වෙන කාන්තාවන්ට පුරුෂ බල අරගලය තුළ  සාධාරණ විනිශ්චයක් දෙන්නේ නෑ. ඔවුන් නිහඩ වින්දිතයින් බවට පත්වෙනවා.

නාගරික අවධානම් කණ්ඩායමට අයත් ස්ත්‍රියකගේ ජවන කතන්දරය අපි අහන්න ගියොත් පර්යේෂකයෙකු ලෙස අපිට කොපමණ කාලයක් ගතකරන්න වේවිද? කුමුදු සිද්ධි අතර සම්බන්ධය හූයක් ලෙස වියමින් පුර්ව අපර කාල අතර සම්බන්ධතා ගොනුකරනවා.

ඒ වගේම සමාජ ආර්ථික දේශපාලන කතිකාවේ විවේචනශීලි හඩක් වෙන්න පුළුවන් පරිණත ස්ත්‍රියක් ලෙස කුමුදු හමුවෙනවා. ජීවන අත්දැකීමෙනුත් සංස්කෘතික සමාජ ඇසුරෙනුත් පෝෂණය වූ සමාජය පිළිබඳ දැක්ම පැහැදිලිව ඔජස් ගලන එදිනෙදා දේශපාලනය සහ එහි කැත ඉතිහාසය, ස්ත්‍රීපුරුෂ සමාජභාවීය අසමානතාවයන්, බල සම්බන්ධතාවයන්, ස්ත්‍රියට හඩ අහිමි වීම, පාදඩ දේශපාලනය තුළ තරුණයින් වින්දිතයින් බවට පත් වෙන ආකාරය පිළිබඳ ඉතා ගැඹුරු විග්‍රහයන් ගෙන හැර දක්වනවා.

 

කුමුදු මතක කොළඹ'- (මංජුල වෙඩිවර්ධන)
ඇය ජීවත්වන ප්‍රදේශය තුළ ජනප්‍රිය පාසැල් ගොඩනැඟීම සහ ඒ හා බැදුණු ආර්ථිකය සංක්‍රමණයන් ගැන ද ඇය ඉතා ඉහළ විග්‍රහයක් කරනවා. ඒ වගේම වත්තේ ජීවත්වුණු දරුවන්ට පාසැල් අහිමි වීමත් ඇය දක්වන්නේ දේශපාලඥයේ ඉඩම් මංකොල්ලය, ව්‍යාපාරිකයින්ට විකුණීම,  මධ්‍යම පාංතිකයින්ගේ තමන්ට හිමි වරප්‍රසාද අහිමි කිරීම පිළිබඳ සත්‍ය කතන්දරයයි.  

ලංකාවේ නාගරික අවකාශය සහ නාගරික සමාජ විද්‍යාව කෘතින් පිළිබඳ අපිට අදහසක් තියනවා . සේපාලි කොට්ටේගොඩගේ Negotiate household politics, කාලිංග ටියුඩර් සිල්වා සහ කරුණාතිස්ස අතුකෝරළ  Watta Dewellers, ආරච්චිගේ දොන් නෙවිල් Patterns of Community Structure in Colombo, Sri Lanka: An Investigation of Contemporary Urban Life in South Asia, Reviewed Work: Gender and Slum Culture in Urban Asia. by Susanne Thorbek Review by: Neville S. Arachchige Don. ඔවුන් කතා කරන්නේත් කුමුදුගේ පළමු අත්දැකීම් හා සමීප අත්දැකීම්. කුමුදු කතාකරන යුගයේ නාගරික ජීවිත වෙනස්කම් ගැනම තමයි මොවුන් කතා කරන්නේත්(1977-1994).

කොළඹ චණ්ඩි කුඩු පතාලාය වගේම අවසාන භාගයෙන් විග්‍රහ කරන අපේ දේශපාලනය හද්ද ගම්වල ජීවත් වුණු අපේම දේශපාලනයම නේද? කියලා. උපතින්ම වාමාංශික වීම, 77 දේශපාලන පරිවර්තනය තුළ සිරි ලංකා කාරයින්ව විසිවුණු හැටි. කුමුදුගේ අක්කාලාට වගේම ගම්වල ජීවත්වුණු අපේ අක්කාලා අයියලාටත් රැකියාවන් නොලැබීම, දේශපාලනය නිසාම සමහරුන්ට රැකියාවන් ලැබීම, දේශපාලන හෙන්චයින් බිහිවීම. නළු බැනෝ උඹේ නැන්දම්මා අපේ කටේ පස් දැම්මා ප්‍රේමදාස යුන්පීකාරකයන්ට ගෙවල් දුන්නද? ගෙවල් ගත්ත මිනිස්සු යුඇන්පී වුණාද? ජන්ද කැන්වසින්, දේශපාලන බලපුළුවන්කාරයෝ, භීෂණ යුගය  ‌ෙ ලංකාවේ  සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනය  සමාජ විද්‍යාත්මක විග්‍රහ සිහි ගන්නවනවා. ඒ ‌දත්ත තහවුරු කරනවා. ජොනතන් ස්පෙන්සර් (1990) වගේ අය ලියන ලංකාවේ එදිනෙදා ජීවිතය හිංසනකරණයට භාජනය වීමේ සාක්ෂිය කුමුදුගේ  මතකයන් තහවුරු කරනවා.

ඒකාලේ ගැමියන්ට මැතිණිට තිබුණු පිස්සුව, නොබැඳි සමුළුව, සිරි ලංකා  පන්සල් නාමකරණය,  දේශපාලනයවීම ගැන කුමුදුගේ අත්දැකීම් විස්තර කරනවා. අනෝමා රාජකරණාගේ, “අපේ අම්මාව අත්තම්මා අගමැතිනිය සිරිමාවෝ” වාර්තාමය චිත්‍රපටිය (2023) මේ දිනවල තිරගත වෙනවා. එහි සිරිමාවෝ පන්සල්වලින් ඈත්ව සිටිය බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කියනවා. ඇයට සමීප ඇසුරක් තිබුනේ හේනේපිටගෙදර ඥාණසීහ හාමුදුරුවෝ එක්ක විතරයි කියලා. චන්ද්‍රිකාලාගේ පවුල, කුමුදුගේ පොත කියවන එකේ වටිනාකමක් තියනවා අපේ අම්මාගේ සත්‍ය දේශපාලනයත් මේවගේ කියලා සාමාන්‍ය ජනතාවගේ ප්‍රවේශයෙන්  කතා කරන්න.

 



මට මෙතන දී කියන්න අවශ්‍යම දේ පර්යේෂණ සොයා ගැනීම් අපි අතට පත්වෙන්නේ පර්යේෂකයෙකුගේ දෘෂ්ඨියෙන්. පාඨකයන්ට තියෙන්නේ දෙවැනි කියවීම්. පළමු අත්දැකීම් ඇගේම භාෂාවෙන් කියවන්න ලැබීම අපිට විරල අවස්ථාවක්. ඒ සඳහා ඉඩ කුමුදු අපිට හදලා දෙනවා. පර්යේෂකයින්ගේ අත්දැකීම් ප්‍රශ්න කරන්න පුළුවන් වුණාට ඇගේ අද්වතීය අත්දැකීම් අපිට එහෙම නෙමෙයි කියලා  ප්‍රශ්න කරන්න බැහැ. ඒක වැදගත්.

ඒ නිසා මේ පොත මිළ දී ගන්න. කියවන්න. නාගරික සමාජ විද්‍යාව හදාරණ සමාජ විද්‍යා විද්‍යාර්ථයින්ට, ආන්තීකරණයට ලක්වන නාගරික ප්‍රජාවන් සංවර්ධනය කරන්නට යන සමාජ වැඩ හදාරන්නටත්, නාගරික සැලසුම්, ප්‍රතිපත්ති ගොඩනගන්නට කුමුදුගේ කොළඹ මතකය ඉතාමත් වැදගත් අත් පොතක් වේවි.

ඒවගේම කුමුදුවගේ අය, විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව වලට, සමාජ වැඩ දෙපාර්තුමෙන්තුවලට, නාගරික සැලසුම් අංශ වලට දේශන වලට කැඳවිය යුතුයි. අත්දැකීම් බෙදාහදාගන්න. නාගරික ප්‍රතිපත්ති නිර්මාණය කරන්නටත් කුමුදුගේන් අදත්දැකීම් ඉතා වැදගත් වේවි.

මේ පොතේ නිර්මාල් රංජිත් දේවසිරි දක්වනවා කෘතිය පරිහරණයට කවුළුවක්, නිහාල් පෙරේරා දක්වනවා කුමුදුගේ මතක, විදර්ශන කන්නංගර ඒක්තරා යුග නිමේෂයයක් ප්‍රදේශකරණය කිරීම සහ ස්ත්‍රී ආත්ම මූලිකත්වය පිළිබඳ ඉතා වැදගත් අදහස් සනිටුහන් කර තිබෙනවා යැයි සඳහන් කරනවා.  ඒ නිසා කෘතියේ වැදගත්කම තවදුරටත් තීවුර කරනවා. ඇත්තටම විදර්ශන ප්‍රකාශනනයන්ටත් ස්තුතියි!  අපිට නැවුම් සමාජ කතිකාවක් ගොඩනැඟීමට හැකි ලේඛිකාවක් හඳුන්වා දුන්නාට.

ඒවගේම පොතේ පිට කවරයත් කුමුදුගේ කතාවත් මැනවින් ග්‍රහණය වෙලා තියනවා. ඉතාමත් ආකර්ශණීයයි. සී.ඒ චන්ද්‍රපේමේගේ කොළපාට සමාජයට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් කුමුදුගේ ආත්ම කතනය සනිටුහන් කරනවා. ඒ නිසා ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනඟනවා කියලා ආපු දේශපාලනයෙන්  “අපේ ගම  නැතිවෙලා, සමාජ බෙදීම් ඉස්සරහට ආපු හැටි....කොළඹ ගැන දැනුවත් කපුටෝ ඇත්තටම ප්ලාස්ටික් ආහාරයට ගන්නේ නෑ. කට පියාගෙන ඉන්නේ නෑ, පෑනෙන් හරි හරඹ පානවා. හරිම අර්ථවත් කවර නිර්මාණයක්.

පාඨකයාට දැනෙන විදිහට කුමුදුගේ දිග හැරුමේ අවසානය මෙය නෙමෙයි. පාඨකයා නැවත නැවතත් ඉල්ලා සිටින්නේ කුමුදු  මේකේ දෙවැනි කොටස සංස්කෘතික ජීවිතයේ දී කුමුදුට හමුවුණු, ඔයාගේ වචනයෙන්ම


“මේ වත්තෙන් එළියට ගියහම මුණගැසුණු නොයෙකුත් මිනිස්සු, නාට්‍ය ලෝකයේ දී, දේශපාලන ලෝකයේ දී හැසිරුණු හැටී ඒගොල්ලෝ මා සම්බන්ධව ක්‍රියා කළ හැටි ආදී නොයෙකුත් කතා ලියන්න මට ඕන වුණා... ”(පි.ii).

පුනරුක්ති දෝෂ ගැන අවධානයෙන් මඟහැරුණු ටික ලියන්න. පාඨකයෝ විදිහට අපි ආයෙත් ඔයා ලියනකම් බලාගෙන ඉන්නවා. කොළඹ නගරය ගැන බොහෝ පර්යේෂණ කරලා තියන නිහාල් පෙරේරා කියනවා වගේ, කොළඹ නාගරික අවකාශය ස්ත්‍රීකරණය හා බැඳුණු අත්දැකීම් ස්ත්‍රීවාදී ප්‍රවේශයකින් ලියන්න.  

ස්තුතියි මේ රස ලියවිල්ලට. ජය.....

(චන්දිමා ජයසේන)
ICCR - Ph.D. Research Scholar
Pondicherry University, Pondicherry - 605014, India.

Email:
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්