ඒකීය රාජ්‍ය ප්‍රතික්ෂේප කිරීම නිසා දෙමළ ජනයාට වර්ග සංහාරයකට මුහුණ දීමට සිදු වු බව පෙන්වා දෙන උතුරේ ජනතා නියෝජිතයෙක්

යුද්ධාවසානයේ සාමාන්‍ය වැසියන් මරුමුවට පත් මුල්ලිවයික්කාල් භුමියට සෑම වසරකම ඒකරාශි වීමේ අරමුණ සංහාරයේදී දිවි තොරවූ දහස් ගණනක් වන තම සමීපතමයන් අනුස්මරණය කිරීම පමණක් නොවන බව අවධාරණය කර තිබේ.

යාපනයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් පවසා ඇත්තේ ඒකීය රාජ්‍ය තවදුරටත් ප්‍රතික්ෂ්‍රේප කරමින්, ස්වයං තීරණ අයිතිය පිළිගත්, ෆෙඩරල් මුලික කරගත් දේශපාලන විසදුමක් එක්සත්ව ඉල්ලා සිටිය යුතු බවයි.

“මුල්ලිවයික්කාල් වර්ග සංහාරයට අපිට මුහුණ දීමට ප්‍රධානතම හේතුව උනේ, අපි ඒකීය රාජ්‍ය ප්‍රතික්ෂේප කරලා ඒකීය රාජ්‍යට එරෙහිව දෙමළ ජාතිකවාදය අවධාරණය කළ නිසා තමයි, අපි මේ දැවැන්ත විනාශයට මුහුණ දුන්නේ. ඒ නිසා එදාට අපි එතනට රැස්වූනෙත් මළවුන් සිහිකරන්න විතරක් නෙවෙයි, එතෙක් පිළි නොගත් ඒකීය රාජ්‍ය අපි හැමෝම ප්‍රතික්ෂේප කරලා, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කරලා, දෙමළ දේශයේ ස්වෛරීත්වය, ස්වයං- තීරණ අයිතිය පිළිගනිමින් ෆෙඩරල් මුලික කරගත් දේශපාලන විසදුම අපි ඔක්කොම එකට අවධාරණය කරන්න ඕන.”

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ දෙමළ ජනයාට එරෙහි වර්ග සංහාරයේ වඩාත් විනාශකාරී යුද ප්‍රහාරයේ 15 වැනි අනුස්මරණය මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලිවයික්කාල් භුමියේ දී සිදු කිරීම සදහා මේ වන විටත් කටයුතු සංවිධානය වෙමින් පවතින බවයි.


ශ්‍රී ලංකා රජය විසින් යුද්ධයේ අවසන් දින කිහිපයේදී යුද මුක්ත කලාපයක් ලෙස නම් කරන ලද වෙරළබඩ පටු බිම් තීරුවයි මුල්ලිවයික්කාල්. එහි කොටුවූ දස දහස් සංඛ්‍යාත නිරායුද දෙමළ ජනයා බර අවි ප්‍රහාරයෙන් ඝාතනය වීම සම්බන්ධයෙන් ඉල්ලා සිටින යුක්තිය අදත් ලැබී නැත.

මුල්ලිවයික්කාල් අනුස්මරණයට ඇති සුදානම පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා, දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනයේ පිහිටි කාර්යාලයේදී පැවැත්වු මාධ්‍ය හමුවේදී සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා තව දුරටත් සදහන් කළේ තමන් ඉල්ලා සිටින දේශපාලන විසදුම ලැබෙන තෙක්  සිය ස්ථාවරය කිසිදු දිනක අත් නොහරින බවට ඉන්දියාව, ඇමැරිකාව සහ බටහිර රටවල් වලට පැහැදිලි පණිවිඩයක් ලබා දීම සදහාද මෙවර අනුස්මරණ දිනය යොදා ගත යුතු බවයි.

“ඉන්දියාවට, ඇමරිකාව හා යුරෝපීය රටවල් වලට අපි පැහැදිලි පනිවිඩයක් කියන්න ඕන. ඒකීය රාජ්‍ය බලෙන් පටවන්න එපා. 13 වැනි සංශෝධනය බලෙන් පටවන්න එපා. අපි ඒක කවදාවත් පිළිගන්නේ නැහැ. ස්වෛරීත්වය සහ ස්වයං- තීරණ අයිතිය පිළිගැනෙන දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවට බලපෑම් කරන්න. එතෙක් අපි අයිතිය වෙනුවෙන් සටන් කරනවා. අපි කවදාවත් අපේ ස්ථාවරය අත් නොහරින බව ජාත්‍යන්තර ප්‍රජාවට තරයේ ප්‍රකාශ කරන දිනයක් ලෙස 15 වැනි අවුරුද්දේ මුල්ලිවයිකාල් දෙසට ගමන් කළ යුතුයි.”

ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ අදහස් වලට සවන් දීමට කටයුතු නොකරන බවට, ජාත්‍යන්තර ප්‍රජාවටත් මන්ත්‍රීවරයා එහිදී චෝදනා එල්ල කළේය.

“අපේ අදහස්වලට සවන් දෙන්න ජාත්‍යන්තර ප්‍රජාව සූදානම් නැහැ. වසර 15ක් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලූ විට අපේ කැමැත්තට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අභ්‍යන්තර යාන්ත්‍රණය තුළ මේ ජාත්‍යන්තර ප්‍රජාවත් මේ වගවීම යටපත් කරලා තියනවා.”


දෙමළ ජනයාට එරෙහිව වර්ග සංහාරයක් සිදු කළ රජය, යුද්ධය නිමා වීමෙන් පසුව හෝ සාමයෙන් සිටීමට අවස්ථාව ලබා නොදුන් බවට අවධාරණය කරන පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයා පවසන්නේ යුද්ධයෙන් විනාශයට පත් උතුරු නැගෙනහිර යළි ගොඩනැගීම වෙනුවෙන් හෝ ප්‍රමාණවත් මුදලක් වෙන් කිරීමට ආණ්ඩුව කටයුතු  නොකළ බවයි.

“අපට එරෙහිව වර්ග සංහාරයක් සිදු කළ ශ්‍රී ලංකා රජය කිසි දිනක තමන් විසින් සිදු කරන ලද ඝාතන පිළිබඳව තමන් විසින්ම විමර්ශනය කරලා දඬුවම් ලබා දෙන්නේ නෑ. විසඳුමක් හම්බ වෙන්නෙත් නෑ. යුද්ධයෙන් පස්සේ අපිට සාමයෙන් ඉන්න දෙන්න සූදානම් නැහැ. ව්‍යුහාත්මක වර්ග සංහාරය ක්‍රියාත්මක වෙමින් පවතිිනවා. රජය වසර 15ක් තිස්සේ යුද්ධයෙන් බැට කෑ උතුරු නැඟෙනහිර නොසලකා හරිමින් ඉන්නවා. පසුගිය අයවැයෙන් පවා යුද්ධයෙන් විනාශ වූ උතුරු නැඟෙනහිර යළි ගොඩනැගීමට සියයට දෙකක්වත් වෙන් කරලා නැහැ.”

දෙමළ ජනයාට එරෙහිව උතුරේ තවමත් සිදු වෙමින් පවතින විවිධාකාරී මර්දන කටයුතු ද සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දී තිබේ.

“දෙමළ ජනතාවගේ ඉඩම් ආක්‍රමණය කිරීම නවත්වන්න සූදානමක් නැහැ. බෞද්ධකරණය නවත්වන්න සුදානමක් නෑ. සිංහලකරණය නවත්වන්න සුදානමක් නෑ. අත්අඩංගුවට ගැනීම් සහ වධහිංසාව නැවැත්වීමට සුදානමක් නෑ. එවැනි වටපිටාවක් තුළ ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවත් සූදානම් නැහැ.”

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්