රජයේ ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැතිකම, ආර්ථික අවිනිශ්චිතතාවය සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල දැඩි කොන්දේසි හමුවේ මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කඩාවැටීමේ අවදානමකට මුහුණ පා සිටින බව එම ව්‍යාපාරික ප්‍රජාව අනතුරු අඟවති.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සන්ධානයේ සභාපතිනී ටානියා අබේසුන්දර ප්‍රකාශ කළේ, බලයට පත්වන සෑම රජයක්ම දේශීය ව්‍යවසායකයා දේශපාලන රවටා ගැනීම්වලට ලක් කර ඇති අතර වත්මන් රජයද එම මාවතේම ගමන් කරමින් සිටින බවයි.
"දේශීය නිෂ්පාදන ශක්තිමත් කරන බවත්, කාර්මික වර්ධනයට මඟ පාදන බවත් පවසමින් බලයට පත් වූ රජයේ ක්‍රියාකලාපය නිසා අද ව්‍යවසායකයන් කෑළෙන් ළිපට වැටුණා හා සමාන තත්ත්වයකට පත්ව තිබෙනවා. ඩොලර් අර්බුදය හමුවේ පවතින අවිනිශ්චිතතාවය සහ පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා දේශීය ව්‍යාපාර ඉදිරියට කරගෙන යා නොහැකි මට්ටමට මෙහෙයුම් පිරිවැය ඉහළ ගොස් තිබෙනවා" යැයි ඇය සඳහන් කළාය.
දේශීය නිෂ්පාදකයන් වෙනුවට රජයේ අවධානය ආනයනකරුවන් වෙත යොමුව ඇති බවටද ඇය එහිදී චෝදනා කළාය.
පවතින බදු බර, උද්ධමනය සහ ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය පහත වැටීම හමුවේ, ඩොලරය පාලනය කිරීම සඳහා බැංකු පොලී අනුපාත ඉහළ මට්ටමක පවත්වාගෙන යාම හේතුවෙන් ව්‍යාපාරිකයන්ට ණය පහසුකම් ලබාගැනීම පවා සිහිනයක් වී ඇතැයි ව්‍යාපාරික සන්ධානය පෙන්වා දෙයි. මේ හේතුවෙන් ව්‍යාපාර වසා දැමීමට, සේවකයන් කප්පාදු කිරීමට සහ දේශීය ආයෝජන අඩාල වීමට සිදුවන බව ඔවුහු පවසති.
මෙහිදී අදහස් දැක්වූ සන්ධානයේ සාමාජික මහේන්ද්‍ර ජයසේකර අවධාරණය කළේ රාජ්‍ය මට්ටමින් ප්‍රකාශ කරන ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ සංඛ්‍යාලේඛන පොළොවේ පවතින සැබෑ තත්ත්වය නිරූපණය නොකරන බවයි.
"රජය හැසිරෙන්නේ දේශීය ව්‍යවසායකයාගේ දායකත්වය රටට අවශ්‍ය නැති ගානටයි. ප්‍රායෝගික ආර්ථික අවබෝධයක් නොමැති උපදේශකයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (World Bank) හා ආසියානු සංවර්ධන බැංකුව (ADB) වැනි බාහිර ආයතනවල කොන්දේසිවලට පමණක් නතු වී ආර්ථිකය කළමනාකරණය කළහොත් ශ්‍රී ලංකාව නැවත වතාවක් බංකොලොත් භාවයේ පතුලටම ඇද වැටීම වැළැක්විය නොහැකියි" යැයි ජයසේකර දැඩි ලෙස අනතුරු ඇඟවීය.
දේශීය නිෂ්පාදන ආර්ථිකය ආරක්ෂා කරමින්, රැකියා උත්පාදනයට මඟ පාදන ප්‍රායෝගික කාර්මික රැකවරණ වැඩපිළිවෙළක් රජය වහාම හඳුන්වා නොදුනහොත්, මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇතැයි ව්‍යාපාරික ප්‍රජාව රජයට අවධාරණය කර සිටිති.




