අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කළේය.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය පසුගිය 16 වන දා සිට පියවර ගනු ලැබීය.
ඉන්ධන QR එක හදාගන්න බැරි වුණේ ඇයි?
මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය තත්ත්වය හමුවේ මාර්තු 15 වන දින සිට QR කේතය යටතේ කෝටා ක්‍රමයකට අනුව ඉන්ධන ලබා දීමට රජය කටයුතු කළේ, ඉදිරියේදී ඉන්ධන සැපයුම අඩුවීමක් සිදුවුවහොත් ඒ සඳහා පිළියමක් වශයෙනි.
මෙහිදී ඉන්ධන පරිභෝජනය කිරීම අවම කිරීම එහි අරමුණ වූ අතර, ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටි සමයේ ඉන්ධන නිකුත් කළ ආකාරයට ම QR කේතයක් මගින් ඉන්ධන ලබා දීම මෙහිදී යෝජනා විය.
නමුත් බොහෝ දෙනෙකුට මෙම QR කේතය ලබා ගැනීමට නොහැකි වී තිබූ අතර, විශේෂයෙන් ම අදාළ වෙබ් අඩවියට ඇතුළු වී සිය දත්ත ඇතුළත් කළ නමුත් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට බොහෝ දෙනෙකුට සිදුව තිබිණි.
බොහෝ දෙනෙකුට එය ස්කෑන් කිරීමේදී ද ගැටලුකාරී තත්ත්වයන් ඇති වී තිබූ බව ද වාර්තා විය.
QR කේතය නිසා මතුවන බාධා අවම කරනවා - ජනාධිපති
ඊයේ රාත්‍රී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී QR කේතය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ පැවසිය.
''අපේ දැන් තිබෙන බලශක්තිය ප්‍රවේශම් කර ගැනීම සඳහා QR කේතයක් හඳුන්වා දී තිබෙනවා. එහි යම් යම් ගැටලු තිබෙන බව අපි දන්නවා. විශේෂයෙන්ම, මේ පිළිබඳ ස්වේච්ඡාවෙන් වැඩකටයුතු කරන ඩයලොග් ආයතනයත්, MIT ආයතනයත් සහ අපේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ උපදේශක හාන්ස් විජේසූරිය මැතිතුමා, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමා අපි සියලු දෙනා එක්ව අපි සාකච්ඡා කළා. මෙය දියත් කරන්නේ කොහොමද කියා. සමහර යෝජනා ආවා. දවස් දෙකක් ෂෙඩ් වහලා. මේක ක්‍රියාත්මක කරමු කියලා. මීට පෙර මෙය ක්‍රියාත්මක කිරීමේදී රට වැහිලා තිබුණේ. සති දෙකක කාලයක් තිබුණා.ඔවුන්ට QR කේතය ලබා ගන්න. අනතුරුව තමයි, QR කේතයෙන් තෙල් ලබා දුන්නේ. එහෙත් අපට එහෙම කරන්න බෑ. මේ දුවන ආර්ථිකය පවත්වා ගෙන යා යුතුයි. ඒ නිසා යම් ගැටලු මතු වෙනවා කියන පූර්ව අවබෝධයකින් යුතුව තමයි අපි මේ QR කේතය ක්‍රියාත්මක කරන්න තීරණය කළේ.
ඒ නිසා තමයි අපි ඉරිදා දිනයක් තෝරා ගත්තේ. මේ වන විට මිලියන පහකට ආසන්න ප්‍රමාණයක් දැනට QR කේතය රෙජිස්ටර් වී තිබෙනවා. පවතින ගැටලු ඉතා ඉක්මනින් නිරාකරණය කර ගැනීමට හැකි වේවි. තෙල් ලබා දෙන ගමන් QR කේතය ක්‍රියාත්මක වෙන්නේ පළමු වතාවටයි. ලංකාවේ විශේෂඥ ඥානය තිබෙන සමාගම් දෙක තමයි මේ සඳහා ස්වේඡාවෙන් උදව් කළේ. එහි විශේෂඥයින් තමයි මීට නායකත්ව මගෙපෙන්වීම ලබා දුන්නේ. තියෙන තෙල් ප්‍රමාණය යම් ප්‍රමාණයකට කළමනාකරණය කර ගැනීමට අවශ්‍යතාව තිබෙනවා. මේ ප්‍රමාණයේ දිගටම ඉන්න අපි අපේක්ෂා කරන්නේ නැහැ. අපි දැනට සකස් කර තිබෙන සැපයුම් ටික ඉතා හොඳින් සාර්ථක වුවහොත් එය ඉතා ඉක්මනින් බලා ගන්න පුළුවන්. අපි ඒ පිළිබඳ නැවත අවධානය යොමු කරනවා.
එහෙත් මේ QR කේතය නිකුත් කිරීම හරහා අත්‍යවශ්‍ය ඇතැම් ක්ෂේත්‍රවලට යම් බාධාවක් ඇති විය හැකියි. ඒ ක්ෂේත්‍රවලට කිසිදු බාධාවක් නොවන ආකාරයෙන් මේ QR කේතය ක්‍රියාත්මක කිරීමට අපි අපේක්ෂා කරනවා.''





