බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විකාශනය කරනවා යැයි කියූ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා වැඩසටහන

සැප්තැම්බර් පස්වැනිදා විකාශනය කළේ ය. එම වැඩසටහන විකාශනය වෙනවා යැයි කීවේ ඊට සති දෙකකට පමණ පෙරය. එමෙන්ම චැනල් 4 නාලිකාවේ එම විකාශනය කිරීමට පෙර එහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන්, රාජ්‍ය ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් හා වත්මන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ ගෙන් ඒ පිළිබඳව විමසා තිබේ. ඒ අය අතරින් ප්‍රතිචාර දක්වා ඇත්තේ බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ පමණය. ඔහු එම නාලිකාවට කියා ඇත්තේ ඔහුට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

 

සුරේෂ් සලේට එහි එල්ල කරන එක් චෝදනාවක් වන්නේ 2019 වර්ෂයේ දී පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සමග හමුවක් සංවිධානය කරන ලෙස ඉල්ලා ඔවුන් සමග සාකච්ඡා කිරීමය. එමෙන්ම එම සාකච්ඡාවෙන් අනතුරුව එම සාකච්ඡාව සම්බන්ධීකරණය කළ චැනල් 4 වැඩසටහන සඳහා අදහස් පළකර ඇති අසාත් මව්ලානා ට රාජපක්ෂවරුන්ට යළි බලය ලබාගැනීම සඳහා රට තුළ නොසන්සුන් වාතාවරණයක් ඇති කළ යුතු යැයි කීම ය.

xfcgrgt

අනෙක් චෝදනාව වන්නේ පාස්කු ඉරුදින ප්‍රහාර දින පෙරවරුවේ සුරේෂ් සලේ අසාත් මව්ලානා ට කතා කර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සිටිනා යම් පුද්ගලයකු රැගෙන එන ලෙස දැනුම් දීමය. එම පුද්ගලයා අත ඇති ජංගම දුරකථනය භාරයට ගන්නා ලෙසත්, එම පුද්ගලයා යෝජනා කරන තැනකින් ඔහුව බස්සවන ලෙසත් සුරේෂ් සලේ තමාට කී බවත්, එහෙත් තමා මඩකලපුවේ සිටින නිසා එය කළ නොහැකි යැයි දැනුම් දුන් බවත් අසාද් මව්ලානා කියන සිදුවීමයි, පාස්කු ප්‍රහාරය සහ එහි රූපරාමු ඉන්පසු දැකීමේදී සුරේෂ් සලේ තමාට රැගෙන එන ලෙස කීවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා ගොස් එසේ පුපුරුවා නොගත් ජමීල් නැමැති ප්‍රහාරකයා ද යන්න පිළිබඳ සැකයක් ඇති වූ බවත් , ඊට හේතුව වන්නේ ඔහු මීට පෙර සම්බන්ධීකරණය කළ සාකච්ඡාවට සම්බන්ධ වූ පුද්ගලයකු වශයෙන් එම ප්‍රහාරයාව හඳුනාගැනීම බවත් අසාත් මව්ලානා කියා ඇත.

 

මේ චෝදනා දෙක සම්බන්ධයෙන් මේජර් ජනරාල් සුරේෂ් සලේ චැනල් 4 නාලිකාවට දන්වා ඇත්තේ  සහරාන් හෂීම් ඇතුළු පිරිස හමුවුණා යැයි කියන 2018 වර්ෂයේ එම කාලයේදී ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට අනුයුක්තව කටයුතු කළ බව හා පාස්කු ප්‍රහාරය සිදුවන දිනවල ඔහු ඉන්දියාවේ සිටි බවය.

සුරේෂ් සලේට චෝදනා ඉදිරිපත් කිරීමට හේතු වන කරුණු එම වැඩසටහනට අදහස් පළ කරමින් ප්‍රකාශ කර ඇත්තේ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් සහ පසුව සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත හෙවත් පිල්ලෙයාන් සමග කටයුතු කළ පිල්ලෙයාන්ගේ පක්ෂයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ අසාත් මව්ලානා නැමැති දේශපාලන ක්‍රියාධරයා යි.

ඔහු එහිදී කියා ඇත්තේ 2018 සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සමග එම සංවිධානය කිරීම පිල්ලෙයාන්ගේ උපදෙස් අනුව සිදුකළ බවත්, එම කණ්ඩායමේ සිටි සහරාන් හෂීම් ගේ සහෝදරයා ඇතුළු පිරිසක් පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටියදී හමුවී ඇති බවත්, ජීවත්වීමට අදහසක් නැති එම පිරිස යම් වැඩකට යොදාගත හැකි බවත්, ඒ නිසා ඔවුන්ව ඇප ලබාදී නිදහස් කර ගන්නා ලෙස ඔහුට පිල්ලෙයාන් දැනුම් දුන් බවත්, එසේ ඇප ලබා දීමට ප්‍රථම බන්ධනාගාරයට ගොස් එම කණ්ඩායම ඔහු හමු වූ බවත්ය. එමෙන්ම 2018 සාකච්ඡාව සිදුකළේ ඔහු පිටත සිටියදී සහරාන් හෂීම් ඇතුළු පිරිස හා සුරේෂ් සලේ අතර බවය. එමෙන්ම එසේ සාකච්ඡා කළ ස්ථානය පාස්කු ප්‍රහාරයෙන් පසුව පුපුරණ දව්‍ය සොයාගත් පුත්තලම ලැක්ටෝවත්ත ඉඩම විය හැකි බවය. එමෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු එම ප්‍රහාරකයින් ඔවුන් සම්බන්ධීකරණය කළ පිරිස නේදැයි පිල්ලෙයාන්ගෙන් විමසූ බවත්, ඒ ගැන කිසිවක් දන්නේ නැති ලෙස සිදුවීම අමතක කරන ලෙස ඔහුට උපදෙස් ලබා ලබාදුන් බවත්ය.

 

මෙම චෝදනා ඇත්තද නැද්ද යන්න අනිවාර්යෙන්ම නිසි ආකාරයෙන් සිදු කරන අපරාධ පරීක්ෂණයක දී සොයාගත හැකි කරුණුය. නමුත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති සෝචනීය තත්වය වන්නේ ද ඒ සම්බන්ධයෙන් නිසි අපරාධ පරීක්ෂණයක් සිදු නොවීමය.

 

චැනල් 4 චෝදනා හා සොයාගත් කරුණු බොරු කිරීමට වෙබ් මෙහෙයුමක්!

xfgdrgrewt634

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු සිය ප්‍රථම රාජකාරිය ලෙස සිදු කළේ ඉතාමත් ඉහළ අන්දමින් එම පරීක්ෂණ සිදු කරමින් සිටි එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු විමර්ශන නිලධාරීන් ව ඉන් ඉවත් කර වෙනත් ස්ථානවලට යැවීමය. ඇත්තටම එම ප්‍රහාරකයින් සමග සම්බන්ධතා පැවැත්වූයේ යැයි කියමින් අත්අඩංගුවට ගත් පිරිසට අපරාධ සම්බන්ධයෙන් නඩු පවරනු ලැබූවේ අවසන් නොකරන ලද විමර්ශනයක් මත පදනම්වය. ඒ වන විටත් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසට නිරවුල් කර ගැනීමට තිබුණේ කරුණු කිහිපයක් පමණයි. ඒ සඳහා ඉඩ ලැබුණේ නම් පාස්කු ප්‍රහාරයේ සැඟවුණු රහස් මේ වන විට විසඳා අවසන් ය.

 

චැනල් ෆෝ වාර්තා වැඩසටහන මුල් කරගනිමින් එහි විකාශය වීමට නියමිතව තිබූ කරුණුවලට හා රවී සෙනෙවිරත්න හා ශානි අබේසේකර ගේ මූලිකත්වයෙන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාගත් කරුණු සම්බන්ධයෙන් වෙනත් අර්ථකථනයක් දෙන වාර්තාවක් විදේශගතව සිටින විශේෂ ලියුම්කරුවකු යන්නෙන් සඳහන් කරමින් ද theleader.lk වෙබ් අඩවියේ කොටස් කිහිපයකින් යුතුව පළ කර තිබේ.

ඉන් උත්සහ කර ඇති එක් දෙයක් වන්නේ channe 4 වැඩසටහන සඳහා අදහස් පළ කළ අසාද් මව්ලානා වංචාකාරයකු, බොරුකාරයෙකු, බව පෙන්වා දීමය. ඒ සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් නැත. එහෙත් එහිදීත් අප උත්සාහ කළ යුත්තේ ඔහුගේ පැටිකිරිය කෙසේ වෙතත් ඔහු කියන කරුණු වල ඇත්ත නැත්ත සොයා ගැනීමටයි. මෙහිදී අප අමතක නොකල යුතු කරුණ වන්නේ ලෝකයේ සිදු වූ බොහෝ අපරාධයන් අවසානයේ හෙළි වී ඇත්තේ ඒවාට සම්බන්ධ වූ හෝ යම් සම්බන්ධයක් තිබූ පිරිස් කල පාපොච්චාරණය නිසා බවයි. ඔවුන් ගොලුවන් වශයෙන් සිටියේ නම් එම කරුණු එසේ හෙළිවන්නේ නැති අතර නිසි අපරාධ පරීක්ෂණයක් සිදු නොකළේ නම් ද එම කරුණු එසේ හෙළි වන්නේ නැත.

 

එම වෙබ් වාර්තාව මගින් කණපිට ගසන්නට උත්සාහ කර ඇති අනෙක් කරුණු අපට ඉතා වැදගත් ය. ඒ රවී සෙනවිරත්න, ශානි අබේසේකර ඇතුළු එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයින් විසින් හෙළිකරගත් කරුණු සඳහා වෙනත් අර්ථකථනයක් ලබා දීමට උත්සාහ කිරීම නිසාය.

ඉන් එකක් වන්නේ එම ප්‍රහාරයට පෙර කාල සීමාවේදී  දිනපතාම  වාගේ සහරාන් සමග සම්බන්ධතා පැවැත්වූ අබු හින්ද් යනුවෙන් එම විමර්ශකයින් සොයාගත් පුද්ගලයා ඉන්දියාවේ රෝ ඔත්තු සේවය විසින් පාස්කු ප්‍රහාර ඝාතකයින් සමග සම්බන්ධ වීමට නිර්මාණය කළ අවතාරයක් බව කීමය. එසේම එම වෙබ් වාර්තාව කියන්නේ ඒ නමින් හෝ නො නමින් කිසිදු පුද්ගල චරිතයක් නැති බවයි. එහෙත් ඉන්දියාව හෝ රෝ සංවිධානය ඒ බවක් මෙතෙක් තහවුරු කර නැත.  අබු හින්ද් මේ ආකාරයට අවතාර චරිතයක් බවට පත්කර අවසන් කිරීමට යන්නේ වෙන කිසිවක් නිසා නොවේ. පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැඟවුණු හස්තය හෙවත් සහරාන් ව මෙහෙය වූ ඔහුට ඉහළින් සිටි පුද්ගලයා ඔහු බවට කාදිනල් මැල්කම් රංජිත් හිමි මෙන්ම රවී ශානි ඇතුළු විමර්ශකයන් ද අනුමාන කළ නිසාය. සහරාන් සමග දිනපතාම සම්බන්ධ වූ මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ එෆ්බීඅයි යෙන් වන අතර  ඒ අනුව අබූ හින්ද් ඉන්දියාවේ සිට කටයුතු කරන්නකු බව හඳුනාගෙන ඇත.

 

සහරාන්ට ඉහළින් සිටියේ අබු හින්ද් 

zxcfvserfwer

සයින්දමරුදු පුපුරවා ගැනීමේදී ජීවිතය බේරුණු එක් තැනැත්තියක වූ සහරාන්  හෂීම්ගේ බිරිඳ වන හාදියාගෙන්  කරන ලද ප්‍රශ්න කිරීම්වල දී ද ඇයව සහරාන්ට නිතර කතා කරන අබු හින්ද් ගැන කියා ඇති අතර ඔහු සහරාන්ට ඉහළින් සිටි බවද කියා ඇත. අබු හින්ද් සමග  එම අවස්ථාවලදී මීගමුව කටුවාපිටිය බෝම්බ ප්‍රහාරකයා වූ හස්තුන්ගේ බිරිඳ වන සයින්දමරුදු බෝම්බ පුපුරුවා ගැනීමෙන් දිවි ගලවා ගත්තේ යැයි කියන එහෙත් දැනටත් අතුරුදහන් සහරා ජෙස්මින්ද කතා කරන බව හාදියා පවසා ඇත. එමෙන්ම අබු හින්ද් කතා කරන අවස්ථාවලදී හාදියාව කාමරයෙන් ඉවතට යවන බව ද කියා ඇත. අපට ඉන්දියාව විසින් තොරතුරු දැන ගැනීම සඳහා අන්තර්ජාලය මත පදනම් ව නිර්මාණය කරන ලද අවතාරයකට එසේ කටයුතු කළ හැකිද යන්න ඒ අනුව ප්‍රශ්නයක් පැනනගී. එම වෙබ් වාර්තාව ඒ ගැන සඳහන් කරන පහත උපුටා දක්වන කොටස ඉතා වැදගත්ය. ඒ මින්පසු පැහැදිලි කිරීම් සිදුකරන පාස්කු ප්‍රහාරයේ සොයාගත් කරුණු ඒ මගින් නිශේධනය කරන නිසාය. ඒ මගින් පැහැදිලි වන  දෙය වන්නේ මෙතෙක් සොයාගත් ඇත්තට බය වී ඇති කණ්ඩායමක් එම ඇත්ත නැත්ත කිරීම සඳහා මෙම වෙබ් මෙහෙයුම සිදු කරන බවය.

මෙවැනි අවතාර නිර්මාණය කිරීම ලෝකයේ බුද්ධි අංශ විසින් නිරන්තරයෙන් සිදු කරන ක්‍රමෝපායන්වල  එක් කොටසකි. විශේෂයෙන් ත්‍රස්තවාදී කණ්ඩායම් නිරීක්ෂණය කිරීම සහ ඔවුන්ගේ ජාල හඳුනා ගැනීමට මෙන්ම ඔවුන් විසින් සිදුකරන තර්ජන තක්සේරු කිරීමේ දී විශාල කාර්යභාරයක් මෙම අවතාරවලින් සිදුකරනු ලබයි. ත්‍රස්තවාදී සංවිධානවලට  අවශ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කිරීම, බඳවා ගැනීම් සිදු කිරීම බෝම්බ මෙන්ම සියදිවි නසා ගැනීමෙි ජැකට් ඇතුළු ප්‍රහාර සඳහා අවශ්‍ය මෙවලම් නිර්මාණය කර ගැනීම, ප්‍රහාර සිදු කිරීම සහ ප්‍රහාරයෙන් පසු ප්‍රචාරණ සිදු කිරීම වැනි කටයුතු සඳහා ඔවුන්ගේ මතවාදයට කැමැත්ත පළ කරමින් සන්නිවේදන කටයුතු සිදු කරන අවතාර නිර්මාණය කිරීම අතිශය වැදගත් වේ.

 

එසේම එම වෙබ් වාර්තාව සඳහන් කරන්නේ රවී ශානි ඇතුළු කණ්ඩායම මාතලේ පොඩි සහරාන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු හෙළිකරගත් " සොනික් සොනික්  " යනුවෙන් හැඳින්වෙන පුද්ගලයාද රාජ්‍ය බුද්ධි සේවය විසින් එකී පොඩි සහරාන් ව විමර්ශනය කිරීම සඳහා යොදාගත් පුද්ගලයා බවය. පොඩි සහරාන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය පවත්වාගෙන ගිය ලිපිගොනුව නම්කර තිබුණේ ද "සොනික් සොනික් " යනුවෙන් බවය. යම්කිසි විමර්ශනයක් සඳහා පහසුවෙන් තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධි අංශ එසේ කරන බව ද එහි සඳහන් කර තිබේ.

එහෙත් විමර්ශකයන්  සොයාගත් එහි ඇති හාස්‍ය දායක කරුණ වන්නේ නිල බුද්ධි මෙහෙයුමක් සඳහා සොනික් සොනික් නමින් හැඳින්වූ රාජ්‍ය බුද්ධි සේවයේ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර ඒ සඳහා දුරකථන සිම් පතක් ලබාගෙන තිබුණේ ඔහුගේ පෙම්වතියක  යැයි කියන පොලිස් රථවාහන අංශයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරියක ගෙන් යන්නය.

 

ප්‍රශ්න  කිරීමේදී කිරීමේ දී ඇය කියා තිබුණේ පොලිස් පරීක්ෂක බණ්ඩාර දුරකථන සිම් පතක් ලබා ගැනීම සඳහා ඇයගේ ජාතික හැඳුනුම්පත ලබාගත් බවයි. නමුත් විමර්ශකයන්  සොයාගත් භයානකම කරුණ එය නොවේ.පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු සොනික් සොනික් පොඩි සහරාන්ගෙන් විමසා ඇත්තේ එම ප්‍රහාරයේ වගකීම අයි එස් අයි එස් සංවිධානය තවම භාර නොගත්තේ ඇයිද යන්නය. එසේ පොඩි සහරාන්ගෙන් විමසීම සඳහා සොනික් සොනික් හෙවත් උප පොලිස් පරීක්ෂක බණ්ඩාරට තිබුන උවමනාව කුමක්ද යන්න අමුතුවෙන්ම පැහැදිලි කළ යුතු නැතත් එම ප්‍රහාරය අයිඑස්අයිඑස් මත පැටවීමේ උවමනාවක් තිබී ඇති බව පැහැදිලිය.

ඉන්පසු පොඩි සහරාන් ඒ සම්බන්ධයෙන් ඔහුට සම්බන්ධ ඉන්දුනීසියාවේ සිටින අයි එස් අයි එස් නියෝජිතයකුගෙන් අසා ඇති අතර පිළිතුර ලෙස ලැබී ඇත්තේ ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් එම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන බවට දිව්රුම් ලබා දීමක් සිදු කර නැති බවයි. එම නිසා අයිඑස්අයිඑස් සංවිධානයට එය භාරගත නොහැකි බවයි. ඒ බව පොඩි සහරාන් සොනික් සොනික් ට දන්වා ඇති අතර ඉන්පසු සිදුවී ඇත්තේ සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයන් දිව්රුම් ලබා දෙන දර්ශන ඉන්දියාවේ සිට උඩුගත හෙවත් අප්ලෝඩ් කිරීම ය.

මෙම සොනික් සොනික් හෙවත් උප පොලිස් පරීක්ෂක බණ්ඩාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට කැඳවීමට යන අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු දන්වා ඇත්තේ එම බුද්ධි නිලධාරියාගේ ක්‍රියාකාරකම්  හෙළිදරව් වන නිසා එසේ නො කැඳවන ලෙසයි.එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බල කිරීම මත දින කිහිපයකට පසු එම බුද්ධි නිලධාරියා පැමිණ ඇතත්, ඔහු කියා ඇත්තේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇති වන බැවින් ඔහුගේ ක්‍රියාකාරකම් කිව නොහැකි බවයි. එම ජාතික ආරක්ෂාවේ "ප්‍රකාශය සොනික් සොනික් ට ඉහළින් ලැබුණ උපදෙස් අනුව සිදු කළ එකක් බව පැහැදිලිය. එහි ජාතික ආරක්ෂාව පළුදු කරන බවට වන චෝදනාව හේතුවෙන් ඉන් ඔබ්බට ඔහුගෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී නැත.

 

ටාජ් සමුද්‍රා බෝම්බකරුගේ ගෙදරට ගිය හමුදා බුද්ධි සාමාජිකයෝ කවුද?

තවද ටාජ් සමුද්‍රා හෝටලයේ දී බෝම්බය පුපුරුවා ගැනීමට පැමිණ ලැබුන උපදෙස් නිසා හෝ වෙන හේතුවකින් එහි බෝම්බය පුපුරුවා නොගෙන දෙහිවල tropical inn හෝටලයේ  කාමරයක් තුළ බෝම්බය පුපුරවා ගත් මරාගෙන මැරෙන බෝම්බකරු ජමීල් සම්බන්ධයෙන්ද මෙම වෙබ් වාර්තාව සඳහන් කර ඇත. ඒ මේ ආකාරයටය.

"පාස්කු දින ප්‍රහාරය සිදු වීමෙන් පසු රාජ්‍ය බුද්ධි සේවාව වහාම  සිදු කරනු ලබන්නේ එම ආයතනය විසින් වසර ගණනාවක් තිස්සේ විමර්ශනය කරමින්  තොරතුරු රැස් කරනු ලැබූ සැකකරුවන් ගැන සහ ඔවුන් සිටින ස්ථාන වහාම සොයා බැලීමය. ජමීල්  සිටි ස්ථානය ගැන ද හෙළිදරව් වන්නේ ඒ අනුව මිස ඔහු වක්‍රව හෝ සෘජුව බුද්ධි අංශ සමඟ සම්බන්ධ වූ බවට සනාථ වන කිසිදු සාක්ෂියක් නොමැත."

xfcgdfgdfg

ටාජ් සමුද්‍රා හෝටලයේ සීසීටීවී අංශයේ කළ පරීක්ෂණ වලදී හඳුනාගෙන ඇත්තේ ප්‍රහාරයට පැමිණි ජමීල් බෝම්බ අඩංගු බෑගයක් ජංගම දුරකතනයත් ඔහු පසෙක තබා ගෙන සිටින ආකාරයත්, ඒ අවස්ථාවේදී ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙන ආකාරයත්, ඉන්පසු ඔහු හෝටලයෙන්  පිටවී යන ආකාරයත් ය. මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති කරුණු මේ ආකාරයට පෙළ ගැස්සිය හැකිය.

හෝටලයෙන් එළියට ආ ජමීල් ඒ අසල සිටි  ත්‍රීරෝද රථයකින් ඉල්ලා ඇත්තේ ඔහුව නවාතැන් පොළකට ගෙනියන ලෙසය. එහිදී ත්‍රී රෝද රියදුරු කියා ඇත්තේ එම ප්‍රදේශයේ නවාතැන්පොළවල් ඔහු නොදන්නා බවත් ඔහු ගල්කිස්සේ බැවින් එහි නවාතැන් පොළකට ගෙන යා හැකි බවත්ය. ජමීල් දෙහිවල tropical inn හෝටලයට ගොස් ඇත්තේ ඒ අනුවය. හෝටල් කාමරයේ සිය බෑගය තබා ඉන්පසු ජමීල් දෙහිවල ප්‍රදේශයේ  ඉස්ලාම් දේවස්ථානයකට ගොස් තිබේ. දේවස්ථානයේ පිරිස ජමීල් ගේ හැසිරීම   සැකකටයුතු බැවින් ඔහුගෙන් ප්‍රශ්න කර ඇතත්, ඔහු කිසිදු පිළිතුරක් ලබා දී නැත. පසුව එම දේවස්ථානයේ ආරක්ෂක කටයුතු භාරව සිටින ආයතනයේ සේවය කරන විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු ජමීල්ගෙන් ප්‍රශ්න කර ඇති අතර එහිදී ජමීල් පවසා ඇත්තේ ඔහු පැමිණි බවයි. .....  එය තහවුරු කරගැනීම සඳහා ඔහු බිරිඳගේ ජංගම දුරකථන අංකය ලබාදී ඇති අතර විශ්‍රාමික පොලිස් නිලධාරියා ඔහුගේ ජංගම දුරකථනයෙන් ජමීල් ගේ බිරිඳ ගේ  දුරකථනයට ඇමතුමක් රැගෙන ජමීල් පැමිණියේ ඇය හා අමනාප වී ද යන්න විමසා ඇත. ඇය එය තහවුරු කරමින් වැඩිදුරටත් පවසා ඇත්තේ ජමීල් සොයා බුද්ධි අංශයේ පිරිසක් ද නිවසට පැමිණ ඇති බවය. එම අවස්ථාවේදී ජමීල් ගේ බිරිඳගෙ දුරකථනයෙන් විශ්‍රාමික පොලිස් නිලධාරියාට කතා කර ඇති බුද්ධි නිලධාරීන් යැයි කියූ අය ඔහු එහි සිටිනවාදැයි විමසා ඇතත් ජමීල්ව එහි තබා ගන්නා ලෙස  දැනුම්දීමක් කර නැත.

 

ඉන් විනාඩි විස්සකට පමණ පසු ඔවුන් නැවත ඇමතුමක්  විශ්‍රාමික පොලිස් නිලධාරියාට ලබා ගනිමින් කියා ඇත්තේ ඔවුන් එනතෙක් ජමීල් ව එහි තබා ගන්නා ලෙසයි. එහිදී විශ්‍රාමික පොලිස් නිලධාරියා කියා ඇත්තේ  සැකයක් නොමැති නිසා ඔහුව අතහැර වෙනත් වැඩකට ඔහු ආ බවයි. tropical inn හෝටලයේ දී  බෝම්බය පුපුරුවා ගෙන හෝ පිපිරීම නිසා ජමීල් මිය යන්නේ ඉනුත් පැය 2කට ආසන්න කාලයක් ගතවද්දී ය. එම බෝම්බ පිපිරීමෙන් පසු විශ්‍රාමික පොලිස් නිලධාරියාට නැවත කතා කර ඇති එම බුද්ධි අංශ නිලධාරීන් වැල්ලවත්ත පොලිසියට හවස එන්න යයි දැනුම් දී ඇති අතර ඒ අනුව ගිය විශ්‍රාමික පොලිස් නිලධාරියා කළ විමසීමේ එම බුද්ධි නිලධාරීන් පවසා ඇත්තේ ඔවුන් හමුදා බුද්ධි අංශයේ බවයි.

හමුදා බුද්ධි නිලධාරීන් යැයි කී ජමීල් ගේ නිවසට ගිය පිරිසගෙන්ද කැඳවා ප්‍රශ්න කිරීමට එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී නැත. ඒ එම ක්‍රියාකාරකම් ප්‍රශ්න කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට දැනුම් දීම හේතුවෙන් ය.

 

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් දින කීපයකට පසු සයින්දමරුදු පුපුරුවා ගැනීමෙන් අනතුරුව සහරාන්ගේ බිරිඳ වන හාදියා ප්‍රකාශ කර ඇති ආකාරයට ජීවිතය බේරුණු බව කියන sara jesmine හෙවත් පුලස්තිනී ට සිදුවූයේ කුමක්ද යන්න ද අදටත් ප්‍රහේලිකාවකි. සයින්දමරුදු සිරුරු කොටස් සම්බන්ධයෙන් දෙවරක්ම කරන ලද ඩීඑන්ඒ පරීක්ෂන වලදී හමු නොවුණු ඇය සම්බන්ධයෙන් තුන්වෙනි පරීක්ෂණයක්ද කර ඇය මියගියා යැයි කියන්නට උත්සාහ කිරීම කාගෙත් සැකයට මේ වන විට හේතුවී ඇති එකකි. එම සැකයට පදනමක් නැතැයි ඇඟිල්ල දිගු වන අය තවම කියා නැත. සයින්දමරුදු පිපුරුම් ස්ථානයේ තිබී සාරාගේ ජාතික හැඳුනුම්පත පොලිසියට හමු වන්නේ කිසිදු විනාශයකට ලක් නොවීය. එවැනි බෝම්බ පිපුරුම කදී විනාශයක් කෙසේ වෙතත් පිළිස්සුම් දැලි හෝ නොගැවුණු හැඳුනුම්පතක් හමු විය හැකිද ? එම පිපුරුම් ස්ථානය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයට ගත යුතු කරුණ වන්නේ පොලිස් විමර්ශකයන් ට එහි යෑමට අවස්ථාව ලැබෙන්නේ දින දෙකකට පසුව බවය. එතෙක් හමුදාව කිසිවකුට එහි ඇතුළුවීමට ඉඩ නොදෙමින් ඔවුන්ගේ භාරයේ එම ස්ථානය තබා ගෙන තිබුණි.

 

මේ කතාව ඉන් ද නවතින්නේ නැත.   සහරාන් කල්ලියේ කටයුතු ආරම්භ වූවා යැයි කියන මඩකලපුව ප්‍රදේශයේ මුරපොළත සිටි  පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයකර ඔවුන්ගේ ගිනිඅවි පැහැරගෙන යෑමේ සිද්ධිය දක්වා දිවෙන්නකි. එහිදී එම  ඝාතනය සහ ආයුධ පැහැර ගැනීම බැර කරන්නේ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට ය. එවක යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ චූලා කොඩිතුවක්කු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ට එක ළඟ අවස්ථා හතරකදී කිසිදු ඉල්ලීමකින් තොරව ජනාධිපති වරයාගේ උපදෙස් අනුව යැයි කියමින් යොමු කර ඇති වාර්තාවල සඳහන් කර ඇත්තේ එම ඝාතන සහ ආයුධ පැහැරගැනීම් හිටපු එල්ටීටීඊ සාමාජිකයින් සිදුකර ඇති බව ය. එම ඝාතන සිද්ධිය සිදුවී තිබුණේ 2018 නොවැම්බර් තිස් වැනිදා වන අතර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා  ඒ සම්බන්ධයෙන් 2018 දෙසැම්බර් 05,08,12 හා 2019 ජනවාරි 3 ලෙස වාර්තා යොමු කර ඇත. ඒ මඟින් සිදු වී තිබුනේ එම ඝාතන පරීක්ෂණ වෙනතකට හැරවීම ය.

 

පරීක්ෂණ නැවතුන තැනින් ඉදිරියට යා යුතුයි.

xfdgertert

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් රවී සෙනවිරත්න, ශානි අබේසේකර ඇතුළු කණ්ඩායමේ පරීක්ෂණ ඔවුන්ව ඉවත් කිරීමෙන් පසු ඉදිරියට ගියේ නැති අතර සිදුවූයේ එතෙක් සොයාගත් කරුණු ද වල දැමීමය. මෙම ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීම අත්හැර දැමීම ය. මීට පෙර සඳහන් කළ ආකාරයටම අවසන් නොවූ පරීක්ෂණයක් පදනම් කරගනිමින් සහරාන් ලා සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පැවරීම ය.

චැනල් 4 වාර්තා වැඩ සටහනේ ආන්දෝලනයක් සමග විපක්ෂයේ සිටියදී පාස්කු ප්‍රහාරයේ නොවිසඳී ඇති ඉහත සඳහන් කරන ලද කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් කළ මනුෂ්‍ය නානයක්කාර හා හරීන් ප්‍රනාන්දු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුය යන සිය ඉල්ලීම එසේම පවතින බවය. එම ප්‍රහාරයේ වගකිවයුත්තන් සොයා දඬුවම් ලබා දිය යුතු බවය. එමෙන්ම ඊට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මනුෂ නානයක්කාර පවසා තිබුණේ මේ සම්බන්ධයෙන් කැබිනට් මන්ඩලයේ පවා අවධානය යොමු යොමුවූ බව හා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම හෝ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම ආණ්ඩුවට සිදුකල හැකි බවය.

 

යෝජනා කරන ඒ කිසිවකින් මෙම අපරාධය පිළිබඳ අපරාධ පරීක්ෂණයක් සිදුවන්නේ නැත. මුලින්ම සිදුවිය යුත්තේ රවී සෙනවිරත්න, ශානි අබේසේකරලාව නැවැත්වූ තැනින් එම අපරාධ පරීක්ෂණය ඉදිරියට ගෙන යෑම ය. අවදානම භාර ගනිමින් එම පරීක්ෂණය ඉදිරියට ගෙනයෑමට නිලධාරීන් පොලිසිය තුළ සිටීද යන්න වෙනම ප්‍රශ්නයකි.

 

එවැනි අවංක පරීක්ෂණයක් සිදු වනවා නම් බොහෝ සැක දුරු වනු ඇති අතර සැබෑ අපරාධකරුවන් හෙළිවනු ඇත. මන්ද හොරා තමන් සොරකම් කළේ ඇයි කියන්නේ නැති සේම අපරාධකාරයන් ද තමන් අපරාදයක් කළේ යැයි ඔප්පු කරන තෙක් කියන්නේ නැති නිසාය.

 - අනිද්දා (2023-09-10) 

Anida

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image