දශක 3කට අධික කාලයක් යුද්ධයට මුහුණ දුන් රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ත්‍රිවිධ හමුදාවක් පවත්වාගෙන යෑමට පැවති සෑම රජයක්ම

පාහේ කටයුතු කළේය.

2009 වසරේදී යුද්ධය අවසන් වනවිට මෙරට යුද හමුදාවේ පමණක් පැවති පිරිස් බලය ලක්ෂ 02 කට ආසන්න වූ බව එවකට යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා සිටියේය.

යුද හමුදාවට අමතරව නාවික සහ ගුවන් හමුදාවේද සමාජික සංඛ්‍යාව බලන කළ යුද්ධයක් නොමැති රටකට මෙතරම් විශාල හමුදාවක් නඩත්තු කිරීමට අවශ්‍යතාවයක් පවතින්නේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කර සිටියි.

2024 අයවැයෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 423කි.

ලොව පුරා රටවල හමුදා බලය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් කරන ග්ලෝබල් ෆයර් පවර් වෙබ් අඩවියට අනුව රටවල් 145ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 71 වන ස්ථානයයි.

sla 2
දැනට සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව කොපමණ ද?

වර්තමානයේ මෙරට සේවයේ සිටින ත්‍රිවිධ හමුදා පිරිස් බලය සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් සොයා බැලීමක් සිදුකරන ලදී.

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් පවසා සිටියේ වර්තමානයේ යුද හමුදාවේ සේවයේ නිරත සමස්ත හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 164,000ක් වන බවය.

මීට අමතරව නාවික හමුදාවේ ආසන්න වශයෙන් 41,000ක සාමාජික සංඛ්‍යාවක් සහ ගුවන් හමුදාවේ 28,000ක සාමාජික සංඛ්‍යාවක් දැනට සේවයේ නිරතව සිටින බව ඔහු පැවසීය.

'27000ක් හමුදා සේවයෙන් ඉවත් වෙලා ද?

ඉකුත් නොවැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ පසුගිය කාලය තුළ දී යුද හමුදාවේ සේවයේ නියුතු 27,000 කට ආසන්න පිරිසක් ඉන් ඉවත්ව ගොස් ඇති බවයි.

"2022-23 කාලය තුළදී මගේ ළඟ තියෙන සංඛ්‍යා ලේඛණ වලට හැටියට යුද හමුදාව ඇතුළේ 27,000 කට ආසන්න පිරිසක් සේවය අත්හැරලා ගිහින් තිබෙනවා."

“එක්කෝ විශ්‍රාම ගිහිල්ලා, එක්කෝ සේවය අත්හැරලා ගිහිල්ලා, එක්කෝ ඉල්ලා අස්වෙලා. ඒක ඉතාම ඉහළ සංඛ්‍යාවක්. යුද්දේ කාලේදීවත් මේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ. එතන ගැටලුවක් තියෙනවා. ඒ ගැන සොයා බැලිය යුතුයි.” මන්ත්‍රීවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පසුගියදා කතාබහට ලක්වූ කරුණක් වුයේ වසර 2030 වන විට එහි පිරිස් බලය ප්‍රමාණගත කිරීම සම්බන්ධවයි.

sla 3
ත්‍රිවිධ හමුදාවේ පිරිස් බලය අඩු කිරීමට සුදානමක්

මේ අතර ලක්ෂ දෙකකට අධික පිරිස් බලයකින් යුත් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවල පිරිස් බලය ඉදිරි වසර 7 තුළදී ක්‍රමානුකූලව අවම කිරීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

2024 අයවැයට අදාළ ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ වසර 2030 වන විට යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදා පිරිස් බලය සීමා කිරීමට කටයුතු කරන බවයි.

ක්‍රමවේදයකට යටත්ව එම පිරිස් අඩු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

"2024 වසර සඳහා වන සමස්ත අයවැයෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ 6.5% ක්."

"2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයේ සමස්තයක් වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයට වෙන් කළ ප්‍රමාණය වුයේ 7%ක්."

"මේවන විට ත්‍රිවිධ හමුදාව නිවැරදි ප්‍රමාණගත කිරීම ආරම්භ කර තිබෙනවා. යුද හමුදාවේ දෙලක්ෂ අටදහසක් වූ අනුමත පිරිස් බලය 2030 වසර වන විට ලක්ෂයක් දක්වා අඩු කිරීමට කටයුතු කරගෙන යනවා."

"නාවික හමුදාව 30,000 කටත්, ගුවන් හමුදාව 20,000 කටත් අඩු කරන්න බලාපොරොත්තු වෙනවා."

"මේ ත්‍රිවිධ හමුදාවට ගෙවන වැටුප් සම්බන්ධයෙන් අදහස් පළවුණා. ත්‍රිවිධ හමුදාවේ පිරිස් බලය වැඩි කිව්වා, බරක් කියලා කිව්වා."



"නිවැරදි ප්‍රමාණගත කිරීම ආවට ගියාට කරන්න බැහැ. රටේ ආරක්ෂාව, දැනට පවතින රටේ ආරක්ෂක තත්ත්වය සහ ඉදිරියේ තිබෙන ආරක්ෂක තත්ත්වය තක්සේරු කරලා මේක කරන්න ඕන."

"නිවැරදි ප්‍රමාණගත කිරීමේදී අපට තාක්ෂණයට යන්න වෙනවා. ඒ වෙනුවෙන් බරක් දරන්න සිද්ධ වෙනවා."

"මේ වෙලාවේ අපි කිසිම කෙනෙක් ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ."

"මේක අපි කරන්නනේ ස්වභාවිකව අඩුවන ප්‍රමාණය සැලකිල්ලට අරගෙන 2030 වසර වන විට මෙම නිවැරදි ප්‍රමාණගත කිරීම සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ." ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

sla 4
ජාතික ආරක්ෂාවට දක්වන්නේ අලස වූ ආකල්පයක් ද?

'යුද ජයග්‍රහණයෙන්' පසුව මෙරට රජයන් ජාතික ආරක්ෂාව ගැන දක්වන්නේ අලසවු ආකල්පයක් බව සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

යුද්ධය පැවති කාලයට වඩා හමුදාවන්හි වෘත්තීය භාවය ශීඝ්‍රයෙන් පහළට කඩා වැටුණු බවත් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් එහි ප්‍රතිඵල දැක ගත හැකිවූ බවත් ඔහු පවසා සිටියේය.

"යුද හමුදාව වෙනුවෙන් මේ වසරේ බිලියන 218ක්, ඒ කියන්නේ පෙර (2023 වසරේ) අයවැයට සාපේක්ෂව බිලියන 09ක් වැඩියෙන් වෙන් කර තිබෙනවා."

"ආරක්ෂක අයවැය වැඩිවන්නේ වර්තමාන අර්බුදයේදී වැටුප්, ආහාර පාන, ඉන්ධන, ගෑස්, විදුලි බිල්, වාහන නඩත්තු කිරීම් හා අනෙක් සියලු වියදම් වැඩිවීම නිසයි."

"මේ දිනවල ආර්ථික විශේෂඥයින් ආරක්ෂාව සඳහා අයවැය වියදම් වැඩි කියා නිතර නිතර කතා කරනවා ඇසි තිබෙනවා. "

"නමුත් සැලකිල්ලට ගත යුතු සංකල්පය නම් ආරක්ෂාව නැති තැන ආර්ථිකය නොරැකෙන බවයි. මෙය ලෝකයේ සියලුම රටවල් අකුරටම පිළිපදින සංකල්පයක්."ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කර සිටියේය.

"හමුදාවේ පිරිස් බලය ක්‍රමානුකූලව අඩු කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් දයා රත්නායකගෙන් විමසීය.

යුද්ධය නිසා ඇතිවූ තත්ත්වය මත විශාල හමුදාවක් පවත්වාගෙන යෑම තවදුරටත් සුදුසු නොවන නමුත් රටේ ජාතික ආරක්ෂාවට සාපේක්ෂව හමුදාවක ශක්තිය තබා ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම රටේ ආර්ථිකයට මුදල් නොමැති බව පවසමින් හමුදාව අඩු කිරීම සුදුසු නොවන බව තමන්ගේ හැඟීම බව හිටපු යුද හමුදාපතිවරයා පැවසීය.
sla 5
"රටේ දරුණු ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා, දරුණු සමාජීය සහ දේශපාලන ප්‍රශ්නයක් තිබෙනවා. රටේ ස්ථාවරත්වයක් ඇති වෙන්නේ ආර්ථික, සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවූ විටයි රටේ සාමදානයක් ඇතිවන්නේ."

"අන්න ඒ විටයි ජාතික ආරක්ෂාව තහවුරු වන්නේ. හමුදාව ලොකු වුණාම වැඩි වුනාම නොවෙයි. ඒකයි රටට හමුදාවක් අවශ්‍ය වන්නේ."

"මේ වෙද්දී රට දරුණු ආර්ථික, සමාජීය සහ දේශපාලන පිරිහීමකට ලක්වෙලා තියෙනවා. මේ වන විට ජාතික ආරක්ෂාව දරුණුම අවස්ථාවකට පත්වී තිබෙන මොහොතක එවැනි තීරණයක් ගැනීම සුදුසුදැයි හිතෙනවා."

"මේක ගැඹුරින් හිතන්න ඕන විෂයක්. එහෙම නැත්නම් පවත්වාගෙන යන්න සල්ලි නැහැයි කියලා ඉස්සෙල්ලම තමන්ගේ ආරක්ෂකයා අයින් කරනවනම් මොකද වෙන්නේ කියලා හිතලා බලන්න."

"ගංවතුරක් ගැලුවත් මොන තත්ත්වයක් ආවත් හමුදාව තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මීට වඩා හොඳට හිතලා බලලා කටයුතු කළ යුතුයි." ඔහු කියා සිටියේය.

'අපේ හමුදාවේ උඩ හරි බරයි'

2009 වසරේ යුද්ධය අවසන් වූ පසු ඉදිරියේදී හමුදාව පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් සැලසුම් ලබාදුන් බව ජෙනරාල් දයා රත්නායක පවසා සිටියේය.

“යුද්ධය අවසන් වුණාට පසුව 2010 වසරේ සිට 2012 වසර දක්වා වූ කාලයේදී ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරලා රටේ පවතින තත්ත්වය සහ ඉදිරියේදී පවතින්න පුලුවන් තත්ත්වය සහ රටේ අවශ්‍යතාවය වගේම ස්ථාවරත්වය ගැන හිතලා හමුදාව ප්‍රමාණගත කිරීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කරලා තිබුණා."

"අද අපේ හමුදාවේ උඩ හරි බරයි. යුද්ධයක් නැති අවස්ථාවක මෙවැනි තත්ත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ."

"විශේෂයෙන් බලසේනාංක, අණු කණ්ඩ සහ බල ඇණි ප්‍රමාණය වැඩියි කියලා හිතෙනවා මට."

"මේ වගේ දේවල් ක්‍රමානුකුලව අඩු කළ යුත්තේ කොහොමද කියලා සැලසුම් සකස් කරලා ලබාදී තිබුණත් ඒවා ක්‍රියාත්මක වුනේ නැහැ." ඔහු කියා සිටියේය.

පිරිස් බලය අඩු කළ හැකි ක්‍රමය කුමක් ද?

හමුදාවේ පිරිස් බලය ප්‍රමාණාත්මකව අඩු කිරීමට අවශ්‍යනම් ඒ සඳහා ගත හැකි සුදුසු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් ද හිටපු හමුදාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

"හමුදාවේ ප්‍රමාණාත්මකව අඩුකරන්න අවශ්‍යතාවයක් තියෙනවනම් ඇත්තෙන්ම අපේ ඉන්නවා ස්වේච්‍‍‍ඡා සේනාව."

"ඒකේ මේ වෙද්දී අවම වශයෙන් 40,000- 50,000ක් අතර පිරිසක් ඉන්නවා ඇති. එය බලමුළු ගැන්නුවා නම් 160,000ක් ඉන්න හමුදාවේ පිරිස් බලය ලක්ෂයට අඩු වෙනවා."

"බලමුළු ගන්වනවා කියලා එක පාරම කරන්න බැහැ. ඒකට අපි ඒ දවස්වල ක්‍රමවේදයක් හැදුවා."

"ස්වේච්‍ඡා බලසේනාවේ හිටියේ රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවේ නිරතවන ගමන් හමුදා සේවයට එක්වූ අය. යුද්ධයත් එක්ක ඔවුන් අඛණ්ඩව හමුදා සේවයට ඇතුළත් වුණා. "

"මේ අයව යුද්ධයෙන් පස්සේ නැවත රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවන් හි පුරප්පාඩු බලලා ඒවාට යොමු කරවන්න අපේ සැලසුම වෙලා තිබුනේ. නමුත් ඒවා ක්‍රියාත්මක වුනේ නැහැ. එහෙම වුනානම් ඒ අයට අද රැකියාවක් තියෙනවා වගේම අවශ්‍ය වෙලාවට නැවත සේවයට කැඳවන්න හැකියාව තියනවා." ජෙනරාල්වරයා පැවසුවේය.

sla 7
තීරණ ගැනීමට පෙර සිතා බැලීම වැදගත්

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඒ සම්බන්ධයෙන් ඉතා ගැඹුරින් විශේල්ෂණය කොට තීරණ ගැනීම වැදගත් බවත් අතීතයේ දී එවැනි තීරණ ගැනීම නිසා රටට මුහුණ දීමට සිදුවූ අභාග්‍යසම්පන්න සිදුවිම් වලට ඉතිහාසය සාක්ෂි දරනු ලබන බවටත් හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක සිහිපත් කර සිටියේය.

“උදාහරණයක් වශයෙන් ගත්තම 1971 ප්‍රශ්නයක් ආවා, ඒකට මුහුණ දෙන්න හමුදාවක් හිටියේ නැහැ. 88-89 කාලයේදී ප්‍රශ්නයක් ආවා හමුදාවක් හරියට සංවිධානය වෙලා තිබුනේ නැහැ ඒකට මුහුණ දෙන්න."

"1980 දී එල්.ටි.ටි.ඊ. සහ උතුරේ ඇතිවූ ප්‍රශ්නයට මුහුණ දෙන්න හමුදාවක් සුදානම් වෙලා තිබුනේ නැහැ. ඒ නිසා වසර 30ක් මේ ප්‍රශ්නය ඇදි ගියා."

"ජාතික ආරක්ෂාව ගැන නොහිතන නිසා තමයි රටක් විදිහට මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ." ඔහු පැවසුවේය.

සිවිල් ආරක්ෂක බළකාය විසුරුවා හැරෙයි ද?

වන්දි ක්‍රමයක් හඳුන්වා දී සිවිල් ආරක්ෂක බලකාය විසුරුවා හැරීමට රජය කටයුතු කරමින් සිටින්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ රජය ලබා දෙන එම වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවයි.

.

"සිවිල් ආරක්ෂක සේවයේ 40,000 ක පිරිසක් සිටිනවා. යුද සමයේදී මායිම් ගම්මානවල ආරක්ෂාව වෙනුවෙන් කැපවී කටයුතු කළා."

"ඔවුන්ව රජය විසින් හඳුන්වා දෙන ලක්ෂ 30ක වන්දි ක්‍රමයක් හරහා ගෙදර යන්න කියලා ඒ සේවය විසුරුවා හරින්න හදනවා. මම අහන්නේ ඒ අය කළ සේවයේ වටිනාකම ලක්ෂ 30 ද?"

"ඔවුන් නිකම් රොඩු වගේ සලකන්නේ නැතුව, ඔවුන්ට සාධාරණ වන්දියක් ලබා දෙන්න. මම එය දකින්නේ ඉතාම ද්‍රෝහී ක්‍රියාවක් විදිහටයි." විපක්ෂ නායකවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ද පැවසුවේ සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ නිරත පිරිස් සුළු මුදලක් වන්දි ලෙස ලබාදී සේවයෙන් ඉවත් කිරීම ගැන තමන්ද විරුද්ධ බවයි.

"මම තමයි සිවිල් ආරක්ෂක බලකාය ප්‍රතිසංවිධානය කළේ. මට ඒ ගැන ලොකු හිතේ අමාරුවක් තියෙනවා. අනිවාර්යෙන් ඒ සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමා සමග කතා කරනවා. සිවිල් ආරක්ෂක බලකායේ විවිධ අය මටත් ඒ ගැන හැමදාම කතා කරනවා."

"මේ සිවිල් ආරක්ෂක බලකාය ඇත්ත වශයෙන්ම ඓතිහාසික පසුබිමක් තියෙන එකක්. ගොවි මහත්වරු තමයි බොහෝ විට ඉන්නේ. ඉතින් ඒ නිසා ඔවුන් යුද්ධයට දායක වුණා."

"යුද්ධයේදී ඔවුන්ගේ 530 දෙනෙක් මියගියා , තවත් දහසකට ආසන්න පිරිසක් ආබාධිත වුණා. නමුත් ඉන්න අයට මේ වගේ සුළු මුදලක් දීලා යවන එක ගැන මමත් විරුද්ධයි."

මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සිවිල් ආරක්ෂක බලකාය සම්බන්ධයෙන් නගන ලද පැනයට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
sla 8
"සිවිල් ආරක්ෂක බලකායේ දැනට 34,000ක පිරිසක් සේවයේ නිරතව සිටිනවා. ඒ සේවය රටට වැඩදායි ලෙස ගන්න ඕන."

"පන්සල්වල පමණක් සිවිල් ආරක්ෂක බලකායේ 4,500ක් සිටිනවා. අලි වැටවල්වල 5,000ක් ඉන්නවා. නොයෙකුත් රාජකාරී සීමාවෙන් පිටත ඉන්නවා."

"එතකොට සමහරු මේ ඇතිකර ගෙන ඉන්න සිස්ටම් එකේදී අවුරුද්දම ගෙදර ඉන්නේ.හැබැයි පඩිය ගෙදරටම යවනවා"

"ඉතින් අපි දන්නේ නැහැ එහෙම දෙපාර්තමේන්තුවක් දීර්ඝ කාලිනව අපි කොහොමද ගෙනියන්නේ කියලා.ඉතින් එහෙම ගෙනියන්න බැහැ. ඒ නිසා අපි ඒ ගැන සිස්ටම් හදන්න ඕන. "

"ඒ වගේම ලොකු ඉල්ලීමක් තියෙනවා නියමිත කාලයට කලින් විශ්‍රාම යන්න වන්දියක් ලබා දෙන්න ඒ අය ඒකට සුදානම් කියලා."

"දැනට තියෙන සිස්ටම් එකේ ඒ අය පදිංචි දිස්ත්‍රික්කයේම රාජකාරී කරන්න ඉඩ දෙන්න ඕන කියලා. මේ 34,000ක් දෙනාට වසරකට බිලියන 20ක් වෙන් කරනවා. "

"ඉතින් මේකේ සිස්ටම් එක හදන්න ගියාම පළවෙනි අඩිය ටිකක් අමාරුයි. අවුරුදු 10-20 එකම තැන ඉන්නවා. වැඩ කරනවාද නැද්ද කියලා බලන්න විදිහක් නැහැ. ඉදිරියේදී අපි වැඩපිළිවෙලක් හදනවා වගේම ඒ ගැන අපි ඉදිරියේදී දැනුම් දෙනවා."

'අපි අවුරුදු 14ක් අහලා තියෙනවා ඇයි මෙතරම් මුදලක් වෙන් කරන්නේ කියලා'

ආරක්ෂක හමුදාව අඩු කිරීමට රජය තීරණය කර තිබීම යහපත් වුවත් එය කරන ආකාරය සහ සේවයෙන් ඉවත් කරන ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව ඇති බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීතිඥ භවානී ෆොන්සේකා බීබීසී සිංහල වෙත පැවසුවාය.

"ආර්ථික අර්බුදයක් තිබියදී යුද්ධය අවසන් වෙලා දැනට අවුරුදු 14 ක් ගතවෙලා තියෙද්දිත් මේ වගේ ලොකු හමුදාවක් තියාගෙන යාම අවශ්‍යද කියන එකයි පාර්ලිමේන්තුව බලන්න ඕන ප්‍රශ්නය."

"මේ අවුරුදු ගණන පුරාවට වියදම් පැත්තෙන් බැලුවම ලොකුම වැය කිරීම වෙන් කරන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන්. විශේෂයෙන් වසංගතය පැවති කාල සිමාවේදීත්."

"ආර්ථික අර්බුදය තියෙද්දී මේ වගේ ලොකු වියදමක් දරලා ආරක්ෂක හමුදාවක් තියාගන්න අවශ්‍යද කියලා. ලංකාවේ ලොකු ප්‍රශ්න නැහැ. නමුත් තියෙන පොඩි ප්‍රශ්න නිසා මේ වගේ ලොකු හමුදාවක් පවත්වාගෙන යන්න ඕනද කියලා."

"ඒ ප්‍රශ්නය අපි අවුරුදු 14ක් අහලා තියෙනවා ඇයි මෙතරම් මුදලක් වෙන් කරන්නේ කියලා ආරක්ෂාව වෙනුවෙන් රටේ වසංගතයක් වගේම ආර්ථික ගැටලුවක් තිබියදී."

"ඒ වෙන් කරන මුදල් රටේ අධ්‍යාපනය වගේම සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළා නම් එකේ ප්‍රතිලාභය ලැබෙන්නේ ජනතාවට. ඉතින් අවුරුදු 14 කට පස්සේ රජය එහෙම තීරණයක් අරන් තියෙනවා නම් ඒක ප්‍රතිපත්තියක් විදිහට ගේන එක හොඳයි."

"එහෙම ඒ දේ කරනවානම් කොහොමද කරන්නේ කියලත් අහන්න ඕන. හමුදා සේවයේ ඉන්න අයගේ ජීවනෝපාය මේකයි. එක නැති වුණාම රටේ අපරාධ රැල්ල වැඩිවෙයි ද ?"

"යුද්ධය අවසන් වුණාම හමුදා භට පිරිස් සීමා කිරීම අවශ්‍යයි. හමුදාව අවශ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සිදුකරන්න අවශ්‍යයි."

"නමුත් මේක කරනවා කියලා රාජ්‍ය අමාත්‍යවරයා කිව්වට ඒ කරන සැලැස්ම ගැන තාම කියලා නැහැ. නමුත් හරි විදිහට ඒක කරනවානම් ඒක හොඳ දෙයක්."

"ඒ වගේම එක වරම හමුදා සේවයෙන් ඉවත්වන පුද්ගලයින්ව සමාජගත කරන්න පෙර පුනුරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කරනවද, ඒ වගේම ඔවුන්ට යම් මාසික දීමනාවක් ලබාදෙන්න සැලසුම් කරනවාද කියලා මේ සැලැස්ම තුළ තියෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් සමාජයේ වෙන ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්."

"ලබන වසරේ මැයි මාසය වෙද්දී යුද්ධය අවසන් වෙලා අවුරුදු 15ක් වෙනවා. ඒ නිසා එහෙම කරද්දී ඔවුන්ට නැවත රැකියාවක් සොයා ගන්න, මානසික සුවතාවය සම්බන්ධ සහයෝගයක් ලබා දෙන්න කටයුතු කරන ආකාරය ගැන සොයා බලන්න අවශ්‍යයි."

"මේක ආණ්ඩුවට පමණක් තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට අනිත් අංශවල සහයෝගය ලබා ගන්න අවශ්‍යයි. ඒක කරන්න ඕන සැලසුමක් අවශ්‍යයි."

"ඒ සැලසුම අපිවත් තවම දැකලා නැති නිසා ඒ ගැන හරියට පිළිතුරක් දෙන්න අපිටත් හැකියාවක් නැහැ මේ වෙලාවේ." ඇය කියා සිටියාය.

( BBC සිංහල සේවය )


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්