මං ලිංගිකත්වයට එරෙහි බෞද්ධයෙක් නෙමෙයි. පියුරිටන්වාදියෙක් නෙමෙයි. ලිංගිකත්වය කියන්නෙත් ආධ්‍යාත්මික මාර්ගයක් කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා හාමුදුරු කෙනෙක් හෝ පූජකයෙක් හෝ කවර හෝ
කෙනෙකුට තමන්ට රිසි ලිංගික චර්යාවක යෙදීමේ නිදහස තියෙන්න ඕන.
නමුත් ඒක විවෘත දෙයක් වෙන්න ඕන. ඒක හොරෙන් කරනවා කියන්නෙ අපචාරයක්. ඒ හොරෙන් කරන එක ඇතුලෙ තියෙන්නෙ තමන්ගෙ චීවරයේ බලය අවභාවිතා කිරීමක්. බුදු හාමුදුරුවන්ට මුවා වෙලා කරන කැත වැඩක්. වැදගත්ම දේ තමන් තමන්ට අවංකවීමයි. එහෙම නැති තැනක වැදුම් පිදුම් කළ යුතු ගුණයක් නැත.
හාමුදුරුවරුන් විසින් මෙතෙක් කලේ ගිහියන්ගේ ලිංගික අයිතිය පැහැර ගැනීමයි. ලෞකික රාජ්‍යයට අතපෙවීමයි. එය අපචාරයක් වගේම බලහත්කාරයක්. ගිහියන් අඳින පළඳින විදිහ ගැන, ගිහියන් ලිංගිකව හැසිරිය යුතු විදිහ ගැන, ගිහියන් විහිලු කළ යුතු, කලාව කළ යුතු විදිහ ගැන වගේම ගිහියන් දේශපාලනය කළ යුතු විදිහ ගැනත් උගන්නන්න හාමුදුරුවරු ආවා. ඒවා බුද්ධ භාෂිතය විදිහට දේශනා කරන්න ගත්තා. මිනිස්සු හිරේ දාන්න පෙරමුණ ගත්තා. ජාතිවාදයේ ආගම්වාදයේ ඉස්සරහින්ම හිටියා. ආධ්‍යාත්මික ජීවිතය කියන එක, බුදුන්ගේ දේශනාව කියන එක සම්පූර්ණයෙන්ම විකෘති කළා. ඒ බලහත්කාරයට පීඩනයට එරෙහිව නැගී සිටින්න ගිහියන්ට අයිතියක් තියෙනවා.
බුද්ධ සාසනය කියන්නෙ භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා යන සිව්පසෙන් සැදුම් ලද්දක්. භික්ෂුන් සහ උපාසකයන් අතර පවතිනවා සම්මුතියක්. උපාසකයන්ට එක බණක් දෙසමින් භික්ෂුන් වෙන බණක සරනවා නම් එතනදි ඒ සම්මුතිය බිදෙනවා. එහෙම සම්මුතිය බිදෙන තැනදි සිවුරෙන් පහකර හැරීම පිණිස ඉදිරිපත් වෙන්න සිව්පසෙන් උපස්ථාන කරන, වැඳුම් පිදුම් කරන උපාසකයන්ට අයිතියක් තියෙනවා.
ගිහියන්ට ඇති ලිංගික අයිතිය භික්ෂුන්ට තමන්ගේ සාසනය තුල හිමිවෙන්නෙ නෑ. නීතියට වඩා ඉහළින් එතනදි ධර්ම විනය සම්මුතිය ක්‍රියාත්මක වෙනවා. නීතියෙන් වරදක් නොවුනත් බුද්ධ සාසනය තුල ඒක වරදක්. ඒ නිසා කුපිත වූ ගිහියන් භික්ෂුවකට පහර දීම මට අලුත් දෙයක් නෙමෙයි. අපි පොඩි කාලෙ ඉඳන්ම පන්සල්වල ඔවැනි ලිංගික හැසිරීම් කළ භික්ෂුන් ගම්වැසියන් එක්ව පහර දී පලවා හැරීම සිදු කරනවා. ලිංගිකව හැසිරීම අලුත් දෙයක් නෙමෙයි වගේම තමයි ඔහොම පහරදීමත් අලුත් දෙයක් නෙමෙයි.
සාසනය තුලට ලිංගික නිදහස කැඳවන්නට නම් භික්ෂුන් විවෘතව එය පිලිගන්න ඕන. ඒ විවෘතභාවයෙන් දහම් දේශනා කරන්න ඕන. ගිහියන්ගේ ලිංගික අධ්‍යාපනයට පවා විරුද්ධ වෙන, සමලිංගික අයිතියට පවා විරුද්ධ වෙන භික්ෂුන්ට කොහෙත්ම අයිතියක් නෑ තමන්ට අවැසි රතිසුව සාසනය තුල විඳින්න.
භික්ෂුන් සමග යහන්ගත වෙන කාන්තාවන්ට හිංසා කිරීමත් මේ සිදුවීමේදී පමණක් සිදුවන දෙයක් නෙමෙයි. අතීතයේ පටන්ම ඒ සාසන සම්මුතිය බිඳින කාන්තාවන්ට අපහාස අවමාන කිරීම සිද්ද වුනා. ඒක සාසනයේ භික්ෂුන් සහ උපාසකයන් අතර සම්මුතිගත තත්වයක්. අපේ ලිබරල් අදහස් හෝ නීතිමය අදහස් එතනදි අදාල වෙන්නෙ නෑ. එහෙම අදාල වෙන තත්වයක් භික්ෂුන් විසින් නිර්මාණය කරලත් නෑ.
දේශපාලන බලය පිණිස චීවරය යොදාගත් කිසිම කෙනෙකුගේ ලිංගික අයිතිය වෙනුවෙන් මගේ මැදිහත්වීමක් නෑ. මට අනුව ඔවුන් පිටුදැකිය යුතු අපචාරිකයන් වගේම දූෂකයන් පිරිසක්.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)