The Leader News
BREAKING
Top Ad
Opinion

'ඝන අඳුර මත පෑයූ රිදී රේඛාව' - මංගලගේ තීන්දුව ගැන වික්ටර් අයිවන්ගේ විග්‍රහය

T

The Leader Desk

June 18, 2020 • 4:24 PM

'ඝන අඳුර මත පෑයූ රිදී රේඛාව' - මංගලගේ තීන්දුව ගැන වික්ටර් අයිවන්ගේ විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ පරණ හෝ සාම්ප්‍රදායික දේශපාලන තලයේ වර්ණවත්, විවාද සම්පන්න, නිර්භීත හා නිර්මාණශීලී දේශපාලන චරිතයක් ලෙස
  • මා මේ මොහොතේ සිටින්නේ බිහිසුණු හෘදයාබාධයකට මුහුණ දී දිවි ගලවා ගත් රෝගී තත්ත්වයක වුවත් ඒ බව නොසලකා මංගලගේ වෙනස්වීම හා තෝරා ගත් අලුත් මාවත ගැන කෙටියෙන් හෝ සටහනක් ලිවීම මා විසින් කළ යුතුව තිබෙන යුතුකමක් ලෙස සලකා ලියමි.
  • මා සමග සාකච්ඡා කරන විට මා පුනරුද ව්‍යාපාරය ව්‍යාපාරය සමග වැඩ කරන ක්‍රියාධරයකු බව හෙතෙම දැන සිටියේය.
  • අප දෙදෙනා අතර දීර්ඝකාලීන දැන හැඳුනුම්කමක් තිබුණා සේ ම සමහර අවස්ථාවලදී අප දෙදෙනා එකිනෙකාට එරෙහිව සැර පරුෂ ප්‍රසිද්ධ වාද විවාදවල නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ලෙසද සැලකිය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

සැලකිය හැකි මංගල සමරවීර ජරාජීර්ණභාවයට පත්ව මිය යන්නට ආසන්න තත්ත්වයකට පැමිණ තිබෙන පරණ දේශපාලනයෙන් ඉවත් වී නව දේශපාලන ගමන් මාවතක් තෝරා ගැනීම සැලකිය හැක්කේ ඝන අඳුරක පහළ වූ රිදී රේඛාවක් වශයෙනි.

මා මේ මොහොතේ සිටින්නේ බිහිසුණු හෘදයාබාධයකට මුහුණ දී දිවි ගලවා ගත් රෝගී තත්ත්වයක වුවත් ඒ බව නොසලකා මංගලගේ වෙනස්වීම හා තෝරා ගත් අලුත් මාවත ගැන කෙටියෙන් හෝ සටහනක් ලිවීම මා විසින් කළ යුතුව තිබෙන යුතුකමක් ලෙස සලකා ලියමි.

ඔහු මේ අලුත් මාවත තෝරා ගැනීමට පෙර මා සමගද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබුණි. මා සමග සාකච්ඡා කරන විට මා පුනරුද ව්‍යාපාරය ව්‍යාපාරය සමග වැඩ කරන ක්‍රියාධරයකු බව හෙතෙම දැන සිටියේය.

අප දෙදෙනා අතර දීර්ඝකාලීන දැන හැඳුනුම්කමක් තිබුණා සේ ම සමහර අවස්ථාවලදී අප දෙදෙනා එකිනෙකාට එරෙහිව සැර පරුෂ ප්‍රසිද්ධ වාද විවාදවල නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ලෙසද සැලකිය හැකිය.

කිසියම් දීර්ඝ කාලයක් අප දෙදෙනා අතර ඇසුරක් නොතිබුණි. එහෙත් පසුගිය ආණ්ඩු පාලන අවසාන කාලයේදී දෙදෙනා අතර නැවත අලුත් ඇසුරක් ආරම්භවී යැයි කිව හැකිය.

Victor aivan

මංගලගේ චරිතාපදානය එළිදක්වන උත්සවයේ ඔහු එහි ප්‍රධාන දේශකයා බවට පත්කර ගත්තේ මාය. එහිදී මා කැමති මාතෘකාවක් තෝරා ගෙන කතා කිරීමේ නිදහස මට ලබා දෙන ලදි. මා එහිදී කතා කළේ ලංකාවේ අර්බුදය ගැනය.

නිදහස ලැබෙන විට ආසියානු රටවල් අතර බැබළෙන තත්ත්වයක තිබූ ලංකාව නිදහසින් පසු රටේ පාලනය අපේ පාලකයන් අතට ගැනීමෙන් පසු රට ඇද දමා තිබෙන අවාසනාවන්ත තත්ත්වය ගැන මම එහිදී කතා කරන ලද අතර මාගේ එම කතාව රට පාලනය කළ පාලක පක්ෂවලට එල්ල කළ ප්‍රබල දෝෂාරෝපණයක් ලෙස සැලකිය හැකිය.

ලංකාවේ අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් ලබාදීමේ හැකියාවක් ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට නැති බවද එම තත්ත්වය යටතේ ලංකාවේ සමාජ -දේශපාලන ක්‍රමයේ හා ආර්ථිකයේ පූර්ණ කඩා වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකි බවද මම කියා සිටියෙමි.

එජාපයේ නායකයන් කිසියම් විශාල පිරිසක් සේ ම මාතර දිස්ත්‍රික්කයේ මංගලගේ ආධාරකරුවන් පිරිසක්ද සහභාගි වූ එම උත්සව සභාව අමතා මා කරන ලද කතාව එම පක්ෂයේ ජනාධිපතිවරණ වැඩසටහනට ශක්තියක් ලබාදෙන කතාවක් වී යැයි කිව නොහැකිය.

එහෙත් මාගේ කතාව මංගලගේ කෝපයට හේතු නොවූ අතර මා පෙන්වා දෙන ලද ආකාරයට රට ඇද වැටී තිබෙන අවාසනාවන්ත තත්ත්වයට රට මාරුවෙන් මාරුවට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකම සේ ම තමාද ඊට වගකිවයුතු බවද ඒ ගැන තමා කණගාටු වන බවද ඔහු මගේ කතාවෙන් පසුව කරන ලද ස්තුති කතාවේදී ප්‍රකාශ කළේය.

''මාගේ කතාව මංගලගේ කෝපයට හේතු නොවූ අතර මා පෙන්වා දෙන ලද ආකාරයට රට ඇද වැටී තිබෙන අවාසනාවන්ත තත්ත්වයට රට මාරුවෙන් මාරුවට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකම සේ ම තමාද ඊට වගකිවයුතු බවද ඒ ගැන තමා කණගාටු වන බවද ඔහු මගේ කතාවෙන් පසුව කරන ලද ස්තුති කතාවේදී ප්‍රකාශ කළේය.''

ජනාධිපතිවරණය පරාජය වී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් පසුව ඔහු නැවත තෝරා ගත් සුළු කණ්ඩායමකගේ සාකච්ඡාවක් කැඳවන ලද අතර ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ගැන එහිදී විස්තරාත්මකව සාකච්ඡාවට ලක් කැරිණි.

සාකච්ඡාවට සහභාගි වූ ආරාධිතයන් අතර ආර්ථික විශේෂඥයෝ දෙදෙනෙක් සිටියහ. ඒ සඳහා පැවති සාකච්ඡා දෙකකට මා සමග පුනරුද ව්‍යාපාරයේ මධ්‍යම කාරක සභිකයන් දෙදෙනකුද සහභාගි විය. ඊට සහභාගි වූ සියලුදෙනාගේ පිළිගත් මතය වූයේ ලංකාවේ අර්බුදය පාලනය කළ නොහැකි තරමට දුර දිග ගොස් ඇති බව හා ඒ නිසා සමාජ-දේශපාලන ක්‍රමයේ හා ආර්ථිකයේ ලොකු කඩා බිඳ වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇති බවය.

''ඊළඟ සාකච්ඡාව කෙරුණේ ලංකාව ඇද වැටී තිබෙන මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා අපද විශේෂයෙන් මංගල කුමක් කළ යුතුද යන්න ගැනය.''

ඊළඟ සාකච්ඡාව කෙරුණේ ලංකාව ඇද වැටී තිබෙන මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා අපද විශේෂයෙන් මංගල කුමක් කළ යුතුද යන්න ගැනය. ඒ සඳහා අවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ දිනාගත හැකි ඒ සඳහා දියුණු ඉදිරි දැක්මක් ඇති ප්‍රබල මහජන ව්‍යාපාරයක් ගොඩනගන තැනකට අප යායුතු බව සියලුදෙනාගේ පිළිගත් මතය විය.

එහිදී මංගලගේ භූමිකාව කුමක් විය යුතුද යන්නද සාකච්ඡාවට ලක් කරන ලදි. මා දරන ලද දැඩි මතය වූයේ මංගල පරණ දේශපාලනයෙන්ද, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමෙන්ද ඉවත් වී රට ඇද වැටී තිබෙන අගාධයෙන් රට මුදාගන්නා වැඩසටහනක ප්‍රබල භූමිකාවක් රඟපෑ යුතු බවය.

ඒ කාර්යය පරණ දේශපාලනයෙන් මුළුමනින් ඉවත්වීමකින් තොරව වුවත්, කළ හැකි බව කිහිපදෙනකුගේ මතය වුවත් මංගල ඒ මතය පිළිගත්තේ නැත.

ඔහුගේද ස්ථිරසාර මතය වූයේ හොඳටම කුණුවී තිබෙන පරණ දේශපාලනයෙන් ඉවත් වී රට ගලවා ගැනීමේ අරමුණින් ක්‍රියාකරන නව මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණක් නොවන නිසා ආත්ම විශ්වාසයකින් යුතුව ඒ අරමුණ වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව අපට තිබිය යුතු බවද අපි සියලුදෙනාගේ මතය විය.

''රටක් වශයෙන් දැන් ලංකාව තිබෙන්නේ තීරණාත්මක වැදගත්කමක් ඇති දේශපාලන සන්ධිස්ථානයකය. මෙම අර්බුදයට සියලුදෙනාගේ පිළිගැනීමට හේතුවන ප්‍රායෝගික කල්පවත්නා විසඳුමක් ලබාදීමේ හැකියාව යල්පැනගිය දූෂිත දේශපාලනයට නැත. මංගල තෝරාගත් නව ගමන් මාර්ගය රටට දෙන ලොකුම දේශපාලන සංඥාව එයයි.''

අපට තිබෙන්නේ පටු බලලෝභී කුමන්ත්‍රණකාරී අරමුණක් නොවන නිසා ආත්ම විශ්වාසයකින් යුතුව ඒ අරමුණ වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව අපට තිබිය යුතු බවද අපි සියලුදෙනාගේ මතය විය.

රටක් වශයෙන් දැන් ලංකාව තිබෙන්නේ තීරණාත්මක වැදගත්කමක් ඇති දේශපාලන සන්ධිස්ථානයකය. මෙම අර්බුදයට සියලුදෙනාගේ පිළිගැනීමට හේතුවන ප්‍රායෝගික කල්පවත්නා විසඳුමක් ලබාදීමේ හැකියාව යල්පැනගිය දූෂිත දේශපාලනයට නැත. මංගල තෝරාගත් නව ගමන් මාර්ගය රටට දෙන ලොකුම දේශපාලන සංඥාව එයයි.

ලංකාව මුහුණ දී තිබෙන විස්තීරණ අර්බුදය නිර්මාණශීලී ලෙස ජයගත හැකිවනු ඇත්තේ වර්ග, කුල, ආගම් වැනි පටු භේදවලට තිබෙන පිළිගැනීම නැති කොට ලංකාව සිය මව්බිම ලෙස සලකන සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂ්‍ය ගෞරවය ලබාදෙන ප්‍රවේශයක් තුළ ලාංකේය ජාතිය ගොඩනැගීම අරමුණු කරගත්, ලංකාවේ රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය වෙලාගෙන තිබෙන දූෂණය, අකාර්යක්ෂමතාව හා අධිකාරිවාදය අහෝසි කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ මගින් නීතියේ පාලනය රජයන නූතන ලාංකේය රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරගැනීම අරමුණු කරගත් ලෞකිකවාදී, බහුත්වවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් ඇති සැබෑ මහජන ව්‍යාපාරයකට පමණය.

මංගල එකතු වී තිබෙන්නේ එවැනි ඓතිහාසික දේශපාලන වැඩසටහනකටය. රට හා එහි ජනතාව ගැන ආදරයක් ඇති සියලුදෙනාට එම ගමනේ වැදගත් කොටස්කරුවන් බවට පත්විය හැකිය.

(වික්ටර් අයිවන් - ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී)

[වික්ටර් අයිවන්ගේ FB පිටුවෙන් උපුටාගන්නා ලදී]

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...