The Leader News
BREAKING
Top Ad
Opinion

සොබා දහම වෙනුවෙන් සොබා දහම/ තනි වූ ගසට අම්මා කෙනෙක්. - ධම්ම දිසානායක.

T

The Leader Desk

February 27, 2021 • 4:21 AM

සොබා දහම වෙනුවෙන් සොබා දහම/ තනි වූ ගසට අම්මා කෙනෙක්. - ධම්ම දිසානායක.   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස සමරා හුස්මක් ගන්නටත් පෙර, ලෝකයේ ම ඉතිරි වී ඇති තනි වී ඇති ගලවා දැමීමට නියමිත
  • ගැටලුව වනාහි ඒ නාස්තිකාර වැඩවලට ඉඩදෙන, දශක ගණනාවක් තිස්සේ නඩත්තුවන සහචර දේශපාලනය ය.    ආර්ථිකය සහ දේශපාලනය අතර සාමකාමී ගණුදෙනු පවතින්නේ ඒ කලාප දෙකම එකම පිරිසකට හෝ පන්තියකට අත්පත් වී ඇති පසුබිමක ය.
  • එහෙත් ඒ සාමකාමී බව නිසා පොදු ජනයාට ලැබෙන විශේෂ වාසියක් නැත.
  • එනම් නැවත ආර්ථික බලය හිමි සහ ශක්තිය ඇති පන්තියටම දේශපාලන බලය හිමි වීමය.
අකුරු ප්‍රමාණය (Font Size):
එකම ගසක ජීවත් වීමේ අයිතිය සහ නිදහස වෙනුවෙන් හඬ නඟන ගැහැනියක් පිලිබඳ සමාජ මාධ්‍ය දක්වන උනන්දුව කාටත් ආශ්වාදයක් යැයි සිතේ. 
 
“තම හුස්ම ගැන නො සිතු එක යකඩ ගැහැනියක්,    Dewani Jayathilaka
වෙර දරයි රැක ගන්න තනිවෙච්ච මහ ගහක්, 
නූපන් මිනිසුන්ට හුස්ම ගන්නට හෙටක්, 
පතන නුඹ දේවානි ලොවට වාසනාවක්” 
 
යනු ෆේස්බුක් හි මාලක අමිල විසින් පළ කර තිබු කවියකි. 
 
එය ලියැ වී තිබුණේ ගම්පහ වන නිලධාරිණී දේවානි ජයතිලක ගේ පාරිසරික මැදිහත් වීම වෙනුවෙනි. 
 
අධිවේගී මාර්ග ලෝකයේ හැම රටකම තිබුනත්, ලෝකයටම ඇත්තේ එකම ගසක් නම් ඒ ගස ඇත්තේ අපේ රටේ නම් එය රැක ගැනීමට අප සැවොම විතරක් නොව මුළු ලෝකයම දේවානිලා බවට පත් විය යුතු යැයි මට සිතේ. 
  
‘දේවානි’ නිමිති කරගෙන එනම් මීට කලකට පෙර කඩොලාන පරිසරය රැක ගැනීමට ඇය කළ අරගලය පිළිබඳව ද ලියා ඇති මා මෙවර ලියන්නේ ද ඇයගේ පාරිසරික මැදිහත් වීම උත්තේජනයක් කර ගනිමිණි. 
 
මා මේ ලිපිය නම් කරන්නේ ගස වෙනුවෙන් දේවානි යනුවෙන් නොව ‘සොබා දහම වෙනුවෙන් සොබා දහම’ යනුවෙනි. නැතහොත් ‘තනි වූ ගසට අම්මා කෙනෙක්’ යනුවෙනි. 
 
ඒ දෙකම ඇය වැන්නියන්ට උපහාරයකි. 
 
ජන ජීවිතයේ යහපැවැත්ම සඳහා ස්වභාවධර්මය මිත්‍රශීලීව කළමනාකරණය කරනවා වෙනුවට 1950 ගණන්වල සිට ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ඒවායේ පරිවාර සංවිධාන, ණය උගුල් අටවන්නන් සහ ජාවාරම්කාර බහුජාතික බහු ව්‍යාපාරික වෙළෙන්දන්  විසින් නියම කරන ‘සංවර්ධන බෙහෙත් තුණ්ඩු’ භාවිතයට ගැනීමේ බයාදු පුරුද්ද නම් කිසිම ආණ්ඩුවක් විසින් නවත්වන්නේ නැත.
 
 
‘සංවර්ධන කැරට් අලය’ 
 
 තම පිටේ හිසට මදක් ඉදිරියෙන් සහ ඉහළින් පෙනෙන සේ බඳින ලද කෝටුවක කෙළවරෙහි එල්ලන ලද කැරට් අලය දැන් කමි යි දැන් කමි යි සිත සිතා හාම්පුතුන්ගේ බර අදින ඔටුවකු සේ, අප වැනි රටවල ආණ්ඩු සිදු කරන්නේ ‘සංවර්ධන කැරට් අලය’ කෑමේ අරමුණින් අර ඉහත කී සංවිධානවල, බලවත් රටවල, සහ වෙළෙන්දන්ගේ බර ඇදීමය; නමුත් කෑ ‘සංවර්ධන අලයක්’ නම් නැත.
 
අජන්ත සෙනෙවිරත්න මගේ මිතුරෙකි. පසුගිය දිනක ඔහු දූපත් 150 කින් යුත් සීෂෙල්ස් (Seychelles) රටේ වෙරලවල්වල පිරිසිදුකම ගැන මා හා කළ කතාබහක දී කළ සඳහන ඉතා වැදගත් ය. 
 
ඒ පිරිසිදුකමට හේතු වී ඇත්තේ එ රට පුර්ව ළමාවිය සංවර්ධන ආයතනවලත් ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමය තුළදීත් ළමුන්ට උගන්වන සහ, පසක් කරවන පිරිසිදුකම පිලිබඳ අධ්‍යාපනය ය.
 
 ඒ නිසා ඒ රටේ පිරිසිදුකම සංස්කෘතික පුරුද්දක් වී ඇතැයි මට සිතේ. 
 
අපේ රටේ පාසල් පද්ධතිය ඇතුළු අධ්‍යාපන ක්‍රමයට විනීත, සොබාදම්වාදී, ශීලාචාර, සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සාමාජිකයින් බිහි කිරීමට හැකියාවක් වත් උනන්දුවක් වත් නැත. 
 
ඒ නිසා ඊට අදාළ සංස්කෘතියක් බිහිවන්නේ ද නැත. සුනාමි මහා ව්‍යසනයෙන් පසුව රට වටා වෙරළබඩ තීරය මීටර 200කින් නිදහස් කර ගැනීමේ ආණ්ඩුවේ තීරණය යට ගිය ආකාරය ඊට උදාහරණයක් ය. 
 
තව ද ගොවිතැනින්, හස්ත කර්මාන්ත වලින්, ගෘහස්ථ කර්මාන්තවලින් සහ භාණ්ඩ නිෂ්පාදනයෙන්, ස්වදේශීය සංස්කෘතියෙන් සහ සොබාදහමින් වියෝ වූ  විෂය නිර්දේශ සහ අධ්‍යාපන ඇවතුම් පැවතුම් උපකාර වී ඇත්තේ වෙළඳපොලෙන් රැකියා සිඟා කන නිකමුන් බිහි කිරීමට සහ රට නො රටක් විකාරයක් කිරීමට ය. 
 
සමාජ සුබසාධක සෞඛ්‍ය පද්ධතිය යට කරගෙන සහ අඩපණ කරමින් කළුකඩ සෞඛ්‍ය වෙළඳාම බලවත් වී ඇත. 
 
ජනසතු මගී ප්‍රවාහන ක්‍රමය විනාශයට යවමින් කළුකඩ මගී ප්‍රවාහන වෙළඳාම විසින් මගියා කෑල්ලක් බවට පරිවර්තනය කොට ඇත. 
 
එළවලු සහ මාංශ නිෂ්පාදන වස විසෙන් යුක්ත ඒවා වී ලෝකයේ වැඩිම වස සහිත සහ කල් ඉකුත් වූ ආහාර අලෙවිකරණ සහ පරිභෝජනය කරන රට බවට පත් වී ඇත. ඒ එළවලු පවා නිසි කලට-ලෙසට රට පුරා බෙදා හැරීමේ  විධිමත් යාන්ත්‍රණයක් හෝ වැඩපිළිවෙලක් නැත. 
 Mahaweli
නිදහසින් පසු ජාතික ආර්ථිකය ණය උගුලකට හසු කරමින් තල්ලු කරමින් දියත් කළ ‘මහා සංවර්ධන ව්‍යාපෘති’ අත්කර දී ඇති සමෘද්ධියක් වේද යන්න දැන්වත්  දැඩි අවධානයට ලක්විය යුත්තකි. 
  
මහවැලියට යටකළ සුන්දර ගම්මාන, සුළු පරිමාණ වාරි ව්‍යාපෘති, වනාන්තර, භූගත අවකාශයට කළ හානි, ගිලා බසින ගම්මාන, ජල උල්පත් වියලී යෑම් සහ මේ වනවිට මහවැලි ජනපද පුරා පැතිරී ඇති කෘෂිකාර්මික වකුගඩු රෝගය, ඉඩම් නැති දෙවැනි සහ තුන්වැනි පරම්පරා අනාථ වීම්, එහි දී අවධානයට ලක්විය යුතු ප්‍රමුඛ කාරණා ය. 
 
එසේම ඔරොත්තු දීමේ හැකියාවක් තිබු මිනිස්-වනජීවී සම්බන්ධතාව මහා ගැටුමක් බවට පත් වීම ද සංවර්ධන උගුළේ වැටීම නිසා ම සිදු වුවකි. 
 
අලි, රිළා-වඳුරු, මුව, ඌරු, මොණර, දඬුලේන්, යන සතුන් උන්හිටි තැන් අහිමිව නව ජනපද පමණක් නොව පැරණි කුඩා ජනපද ද  ආක්‍රමණය කරන්නේ ජනජීවිත අඩාල සහ විනාශ කරමිණි. පැරණි සම්බන්ධතා බිඳ වැටී වනසතුන් සහ මිනිසුන් අතර මහා ගැටුම් ඇති කරමිණි. 
 
හිතන්න,  ලැබී ඇති අස්වැන්න කැපකළ දේවල්වලට වඩා ඉතා ම අඩු ය. 
 
අධිවේගී මාර්ග නිසා වූ හානියට වඩා පොදු ජනයාගේ ප්‍රවාහන පහසුකම් වල ඇතිවූ මහා ප්‍රගතියක් වේ ද? 
 
නමුත් අධි වේගී මාර්ග පාවිච්චි නොකරන මිලියන ගණනක් වූ පොදු ජනයාද ඒවාට ගිය වියදමේ වගඋත්තර කරුවෝ සහ ණය කරුවෝ වෙති. 
 
සියල්ල මෙනෙහි කරන විට පෙනී යන්නේ සංවර්ධනය නාමයෙන් සිදු කර ඇත්තේ මිනිසුන් සහිත ස්වභාව ධර්මය අසරණකමින් අසරණකමට විනාශයෙන් විනාශයට ගෙන යාම නොවේ ද? 
 
කාර්මීකරණය, ජනපදකරණය, කෘෂි-කාර්මීකරණය, යටිතළ පහසුකම් සම්පාදනය, වගා සංරක්ෂණය, අස්වනු වැඩිකිරීම, යන ක්‍රියාවලියේ දී ස්වභාවධර්මය ගැන සිතමින් එය සිදුකළ නොහැක යන මතය වැරදි එකකි. 
 
දියුණුවේ ඉහළ ට ගොස් දැවැන්ත මහජන සුබසාධන ක්‍රම නඩත්තු කරන රටවලට ‘පුහුණු වැඩසටහන්’ ‘නිළ සංචාර’ ‘තානාපති සේවා’ යැයි කියාගන්නා ඒවා සඳහා නිතර නිතර සැරිසැරූ සහ කල් ගෙවූ බලවතුන් සහ තීරකයින් ඒ මතය වැරදි බව හොඳාකාරවම දන්නේ ය. 
 
එම රටවල දියුණුව සහ ස්වභාවධර්මය රැකීම එකම කාසියක දෙපැත්ත මිස එකිනෙකට සතුරු බලවේග නොවේ ය. 
 
එහෙත් ඒ රටවල්වල සරන්නන් සතුටින් සිටීම සහ විනෝද සමයක් ගත කිරීම හැර ඒ ක්‍රම මේ රටට ගෙනෙන්නේ නැත. ගැටලුව වනාහි ඒ නාස්තිකාර වැඩවලට ඉඩදෙන, දශක ගණනාවක් තිස්සේ නඩත්තුවන සහචර දේශපාලනය ය. 
 
ආර්ථිකය සහ දේශපාලනය අතර සාමකාමී ගණුදෙනු පවතින්නේ ඒ කලාප දෙකම එකම පිරිසකට හෝ පන්තියකට අත්පත් වී ඇති පසුබිමක ය. එහෙත් ඒ සාමකාමී බව නිසා පොදු ජනයාට ලැබෙන විශේෂ වාසියක් නැත.
 
 පොදු ජනයාට වාසි ලැබෙන්නට නම් ආර්ථිකය සහ දේශපාලනය අතර ගැටුමක් අවශ්‍යමය. මහා කාර්මික විප්ලවය පටන් ගැනුන කාලයේ එංගලන්තයේ දේශපාලන බලය තිබුණේ සම්ප්‍රදායික ප්‍රභූන් අතේ ය. ආර්ථික ශක්තිය තිබුනේ ද ඔවුනට ය. 
 
එහෙත් නව කාර්මික ධනපති පන්තියක් නිර්මාණය වීමත් සමඟම ආර්ථික බලය ඔවුන් සතු වී දේශපාලන බලය සම්ප්‍රදායික ප්‍රභූන් අතෙහි ම රැඳුනි. 
 
එයින් ආර්ථිකය සහ දේශපාලනය අතර ඇති වුයේ පරස්පරයකි; සාමකාමී නොවන තත්ත්වයකි. 
 
කලකට පසු සිදු වුයේ නව  කාර්මික ධනපතීන් විසින් දේශපාලන බලයද අත්පත් කර ගැනීම ය. එනම් නැවත ආර්ථික බලය හිමි සහ ශක්තිය ඇති පන්තියටම දේශපාලන බලය හිමි වීමය.
 
 එවිට සිදුවන්නේ ආර්ථිකය හුදු ආර්ථික ක්‍රියාවලියක් නොවී දේශපාලන ක්‍රියාවලියක් බවටම පත් වීම ය. 
 
මේ වනවිට නව ලිබරල් ආර්ථික ක්‍රියාවලිය ඉන් එහාට ගිය දේශපාලන ක්‍රියාවලියක් බවට පත් වීමේ තාක්ෂනය එය ය. 
 
දැන් නව ලිබරල් වාදය නැතහොත් නව ලිබරල් භාවිතාව ආර්ථික ක්‍රමයක් නොව දේශපාලන ක්‍රමයක් ය; එනම් ආර්ථිකයම  දේශපාලනයකි. දේශපාලනය කියා වෙනම කළාපයක් නැත. 
  
මේ ක්‍රියාවලිය ලෝකයටම අදාළ වුවත් දියුණු ප්‍රජාතන්ත්‍රීය ධනවාදී රටවල් දේශපාලනය සහ ආර්ථිකය අතර යම් පරතරයක් නඩත්තු කරනු ලබයි. 
 
ඒ පරතරය යොදා ගැනෙන්නේ පොදු ජන යහ පැවැත්ම අරබයා දේශපාලනය විසින් ආර්ථිකය යම්තාක් දුරකට නියාමනය කිරීම සඳහා ය. 
 
නව ලිබරල් වාදය පැවතියත් ඒ රටවල සාමාන්‍ය වෙළඳපොළ, ආහාර නිෂ්පාදනය සහ බෙදාහැරීම, ඖෂධ නිෂ්පාදනය සහ බෙදාහැරීම, රාජ්‍ය සේවය, අධ්‍යාපන නිදහස, මගී ප්‍රවාහනය, විවේකය, රාජ්‍යයයේ සාමාජිකයින්ගේ රැකවරණය සහ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම, රාජ්‍ය තාන්ත්‍රීය සහ තානාපති සේවාවන්හි විධිමත් සහ මූලෝපායික බව යනාදිය ඉහළ ගුණාත්මක බවක් ගන්නේ ඒ ආර්ථිකය සහ දේශපාලනය අතර ඇති අත්‍යවශ්‍ය පරතරය නිසා ය. 
 
දේවානි ජයතිලක විසින් රකින්නට යන මේ ගස එවැනි රටක තිබුණේ නම් ඔවුන් එය රකින්නේ අපට සිතා ගන්නටවත් බැරි තරමේ විශිෂ්ටතම ආකාරයකට ය. ඒ තරමට ම හැම කරුණකදීම ඔවුන් සොබදම්වාදී ය.
 
 එවැනි රටක පැලවෙන්නට මේ ගස පින්කොට නැත. එහෙත් එවැනි රටක් හදාගන්නට අපිට ශක්තියක් නැත කියා ඉන් කියවෙන්නේ නැත.
 
Dhamma DisanayakeDhamma Dissanayake,
Department of political science & public policy,
University of Colombo.
 
 
    
 
 
 

 
 
 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

 
 
 

ස' ගේ සිස්ටම් නිසා පට් පට් ගාලා වැක්සීන් එක ගහගත්තා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සොබා දහම වෙනුවෙන් සොබා දහම/ තනි වූ ගසට අම්මා කෙනෙක්. - ධම්ම දිසානායක. | The Leader