The Leader News
BREAKING
Top Ad
Opinion

විද්‍යාත්මක දැනුම ලබා ගන්නේ කෙසේද? -ආචාර්ය සී. ඒ. සාලිය (ශිරාල් ගේ ලිපියට ප්‍රතිචාරයක්)

T

The Leader Desk

May 8, 2021 • 4:39 PM

විද්‍යාත්මක දැනුම ලබා ගන්නේ කෙසේද? -ආචාර්ය සී. ඒ. සාලිය (ශිරාල් ගේ ලිපියට ප්‍රතිචාරයක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතීඥ ශිරාල් ලක්තිලක මහතාගේ “විද්‍යාව, මිත්‍යාව හා සමාජ අවසංවර්ධනය” නැමති දැනුම ලබා ගන්නේ කෙසේද පිලිබඳ ලිපිය මඟින් කාලෝචිත සංවාදයකට මුලපිරීම සම්බන්ධව පළමුව ඔහුට ස්තුතිවන්ත වෙමි.
  •    මෙම බෙදීම් පහත දැක්වෙන වගුව  1.1 හි දැක්වෙන පරිදි  විවිධ සාධක යටතේ සාරාංශ ගත කල හැකි ය.
  •   වගුව 1.1: විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදයේ විවිධ ගුනාංග සහ උපකල්පන     * සංගමනය යන පදය කතෘ විසින් නිර්මාණය කොට මෙහි භාවිතා කෙරේ.
  •    අනුභවිකවාදය යනු සියලු දැනුම පදනම් වී ඇත්තේ ඉංද්‍රියයන්ගෙන් ලබාගත් අත්දැකීම් මත යන උපකල්පනය මතයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඔහුගේ එම දීර්ඝ ලිපියහි ඇති යම් යම් කරුණු සම්බන්ධයෙන් මාගේ අදහස් දැක්වීමෙන් මෙම සංවාදයට කිසියම් ජීවයක් දීමට හැකිවේයැයි විශ්වාස කරමි. 
 
ඔහු බටහිර දැනුම සෙවීමේ ක්‍රමවේදය ගැන දීර්ඝ ව කරුණු දැක්වුව ද, අවසානයේ අප කුමන ක්‍රමවේදයක් දැනුම ලබා ගැනීම භාවිතා කළ යුතු ද යන්න පැහැදිලිව දක්වා නැති බව හැඟෙන බැවින් ඒ ගැන යම්කිසි පදනමක් යෝජනා කිරීම ද මෙම ලිපියේ අරමුණයි.
 
මෙහිදී මා ඉදිරිපත් කරන්නේ දැනට ලෝකයේ, විශේෂයෙන්ම ශාස්ත්‍රීය ක්‍ෂේත්‍රයේ, පර්යේෂකයින් අනුගමනය කරන ක්‍රමවේදයන්ගේ/ප්‍රවේශයන්හී මූලික ලක්‍ෂණවල සංසන්දනාත්මක සාරාංශයකි. 
 
මාගේ අදහස නම් පුද්ගලයින් දැනුම ලබා ගැනීමට භාවිතා කරන ක්‍රමවේදය දැනුම සොයන්නා ගේ ලෝක දෘෂ්ටිය සමඟ ඓන්ද්‍රීය ලෙස බැඳී පවතින බැවින් තමන් සොයන දැනුම සහ එලඹෙන නිගමන කෙතරම් තර්කාණුකූල දැයි තමා විසින් ම විමසීමට මෙම සැසඳීම ඉතා ප්‍රයෝජනවත් වන බවයි. 
  
තර්ක විතර්ක ප්‍රබල ලෙස ඉදිරිපත් කිරීමට සහ ඒත්තු ගැන්වෙන සුලු නිගමනයන්ට එළඹීම සඳහා පර්යේෂකයාගේ දාර්ශනික ස්ථාවරය සහ ක්‍රමෝපායික ප්‍රවේශය ඉතා වැදගත් වේ. එම තෝරා ගැනීම් සාධාරණීකරණය කිරීමටත් ඓතිහාසික පරිණාමය පිළිබඳ අවබෝධය බොහෝ විට ඉතා වැදගත් වේ. 
 
ලෝකය විමසීමේ විවිධ දෘෂ්ටි කෝණයන් සහ සුසමාදර්ශයන් (paradigms; එක් එක් කාලයන්හි පවතින හෝ පොදුවේ විශ්වාස කරන ක්‍රියාවලි/චින්තන රටාවන්හි පසුබිම) පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය පර්යේෂණයන්හි ප්‍රථිඵල අර්ථදැක්වීම් සහ නිගමනයන් කතෘ ගේ ලෝක දෘෂ්ටිය සහ අයත්වන සමාජ ආර්ථික සංස්කෘතික පසුබිම යනාදියේ බලපෑමට හසුවිය හැකි බවට ඇති පිළිගැනීම එයට හේතුවයි.
 
ලක්තිලක මහතා මෙම ‘සුසමාදර්ශය’ නැමති සංකල්පය ඔහුගේ මතය විස්තර කිරීමට භාවිතා කොට ඇත. 
 
මා මෙහි මූලිකවම ඉදිරිපත් කරන්නේ එම සුසමාදර්ශයන් ගේ විකාශනය සම්ප්‍රදායික ආකෘතික විද්‍යාත්මක ක්‍රමයේ සිට නූතන විද්‍යාත්මක ක්‍රමය දක්වා විකාශණය වීමේදී පර්යේෂකයින් පදනම් කරගන්නා ‘උපකල්පන’ (assumptions) විදහා දැක්වීමයි. 
 
මෙහිදී ඉතා වැදගත් කරුණක් වන්නේ මෙම උපකල්පන එම උපකල්පන දරන අය විසින් 'සත්‍යය' (reality) ලෙස ආධානග්‍රාහීව විශ්වාස කරන බව අවබෝධ කර ගැනීමයි. එය ඔබට ද මට ද පොදු සාධකයකි. 
 
මේ උපකල්පන කෙරේ ඇති දැඩි බැඳීම නිසා එම දෘෂ්ටීන්ට (උප්කල්පනවලට) උපකල්පන යැයි හඳුන්වාදීම ද එම දෘෂ්ටිවාදීන් නුරුස්සයි, නොඉවසයි (මා ද ඇතුලුව).
 
තව දුරටත් පැහැදිලි කරන්නේ නම්, විද්‍යාත්මක දැනුම යනු විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම්වල එකිනෙකට වෙනස් වූ දෘෂ්ටි කෝණයන්  තුලින් ජනනයවන විවේචනාත්මක සංවාදයේ සහ එකඟතාවයේ ප්‍රතිඵලයකි. 
  
මෙම 'විද්‍යාත්මක බව' පර්යේෂකයාගේ, පර්යේෂණ විධික්‍රමයන්ගේ සහ ක්‍රමවේදයන්ගේ (researcher, methods and methodologies) යම් යම් ගුනාංග සහ උපකල්පන මත රඳා පවතින බව පෙනේ; විවිධාකාර වේ, සංදර්භය අනුව වෙනස් වන සුලු ය.
 
 මෙම ගුනාංග සහ උපකල්පන නන් වැදෑරුම් වේ. 
 
පර්යේෂණ විධික්‍රම පිළිබඳ  බොහෝ  විද්වතුන් මෙම ගුනාංග අන්ත දෙකකට බෙදීම (dichotomy) පොදුවේ දැකිය හැකි ය. 
 
එහෙත් එසේ අන්තවාදී වීම උචිත නොවන අතර එය එක්තරා පටු රාමුවට කොටු වීමකි. 
 
සාර්ථක පර්යේෂකයා මේ අන්ත දෙකේම පිළිගැනීම් සහ උපකල්පන සිය පර්යේෂණ කාර්යේදී අවස්තානුකූලව යොදා ගැනීමේ නිදහස බුක්ති විඳිය යුතු බව වර්තමාන විද්වතුන්ගේ මතයයි.
 
 මෙම බෙදීම් පහත දැක්වෙන වගුව  1.1 හි දැක්වෙන පරිදි  විවිධ සාධක යටතේ සාරාංශ ගත කල හැකි ය.
 
වගුව 1.1: විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදයේ විවිධ ගුනාංග සහ උපකල්පන
 
Chart
 
* සංගමනය යන පදය කතෘ විසින් නිර්මාණය කොට මෙහි භාවිතා කෙරේ.
  
අනුභවිකවාදය යනු සියලු දැනුම පදනම් වී ඇත්තේ ඉංද්‍රියයන්ගෙන් ලබාගත් අත්දැකීම් මත යන උපකල්පනය මතයි. සංසිද්ධි වාදය හෙවත් ප්‍රපංච වාදය යනු භෞතික වස්තූන් ඒ ආකාරයෙන්ම පවතින බව සාධාරණ ලෙස පැවසිය නොහැකි නමුත් කාලය හා අභ්‍යවකාශයේ පිහිටා ඇති බවට සංජානනය වූ සංසිද්ධි හෝ සංවේදන උත්තේජක ලෙස පමණි යන ලෝක දෘෂ්ටිය යි.
 
20 වන ශතවර්ෂයේ මුල් භාගයේ දී, ධනවාදයට අදාළව ඇතැම් මාක්ස්වාදී අනාවැකි අසාර්ථක වෙමින් තිබිය දී, විවේචනාත්මක චින්තනය (critical thought) ලෙස නව ඉදිරි දර්ශනයක් මතු විය. 
 
විවේචනාත්මක චින්තනය යනු විනිශ්චයක් ගැනීම සඳහා කරුණු විශ්ලේෂණය කිරීමයි. 
 
විවේචනාත්මක සංවාදයක් යනු සාකච්ඡාවකට සහභාගී වන පුද්ගලයින් සහ කණ්ඩායමේ සාමූහික චින්තනය යන දෙකටම විශේෂිත මාතෘකාවක් පිළිබඳ තීක්‍ෂ්ණ බුද්ධිය සහ ප්‍රඥාව ලබා දෙන සංවාදයකි.
 
 Karl Popper
Sir Karl Raimund Popper
  
ලක්තිලක මහතා යොමු කරන, කාල් පොපර් විසින් යෝජනා කරන ලද ව්‍යාජකරණ මූලධර්මය (falsification principle) විද්‍යාව සහ විද්‍යාව-නොවන දේ වෙන්කර හඳුනා ගැනීමේ ක්‍රමයකි. 
 
ව්‍යාජකරණ මූලධර්මය යෝජනා කරන්නේ න්‍යායක් විද්‍යාත්මක යැයි සැලකීමට නම් එය පරීක්‍ෂා කළ හැකි විය යුතු අතර ව්‍යාජ බව ද ඔප්පු කළ හැකි විය යුතු බවයි.
 
 නිදසුනක් වශයෙන්, ‘සියලු හංසයන් සුදු ය’ යන උපකල්පනය කළු හංසයෙක් නිරීක්ෂණය කිරීමෙන් බොරු කළ හැකි ය. 
 
ඇතැම්හු යෝජනා කරන්නේ විද්‍යාත්මක ජනප්‍රවාදයේ ‘ව්‍යාජකරණය’ යනු විද්‍යාවේ නිර්වචනයේම අඩංගු විය යුතු ලක්ෂණයක් බවයි. 
 

 
 
තාරකා භෞතිකවිද්‍යාඥ මාරියෝ ලිවියෝ (Mario Livio)  සිය ‘Brilliant Blunders’ නම් ග්‍රන්ථයේ ප්‍රකාශ කරන්නේ: “විද්‍යාත්මක දාර්ශනිකයෙකු වන කාල් පොපර් ගේ මූලික ප්‍රභවාත්මක (seminal) කෘතියේ හඳුන්වා දුන් ආකාරයට න්‍යායක් විද්‍යාත්මක වීමට නම් එය අත්හදා බැලීම් හෝ නිරීක්ෂණ මගින් බොරු කල හැකි විය යුතු ය. 
 
මෙම අවශ්‍යතාවය ‘විද්‍යාත්මක ක්‍රමයේ’ පදනම බවට පත්ව ඇත” යනුවෙනි. 
 
එහෙත් මෙම තර්කය ද එක්තරා අන්තයක් නියෝජනය කරන දැඩි මතධාරී ප්‍රකෘතිවිද්‍යා අනුභූතිවාදයේ ම පැතිකඩක් බව කෙනෙකුට තර්කකල හැකි ය. 
 
ඒ අනුව මෙම ව්‍යජකරණ න්‍යාය ද විද්‍යාත්මක වීමට නම් බොරු කල හැකි විය යුතු බව ඇතැම් විද්වතුන් තර්ක කරන අතර වඩාත් තත් කාලීන මනෝ සිංහම් (2020) වැනි විද්වතුන් යෝජනා කරන්නේ “විද්‍යාත්මක න්‍යායක් ‘බොරු’ කළ හැකි යැයි ඉදිරිපත් කරන මතය මිථ්‍යාවකි: දැන් එය අප විසින් අත්හැර දැමිය යුතු කාලයයි.”
  
මෙහිදී අවධාරණය කලයුතු කරුණ වන්නේ අප සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුනාගත්  විද්‍යාවන් (natural sciences; ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය වැනි)  විද්‍යාගාරයක  භාවිතා කරන අත්හදාබලන පරීක්‍ෂණ, නිරීක්‍ෂණ සහ නිගමන  (laboratory tests/experiments, observations and conclusions) යනාදිය ශාස්ත්‍රීය පර්යේෂණයේ එක් අදියරයක් පමණක් බවයි. 
 
එම අදියර නම් දත්ත එකතු කිරීමේ අදියරයයි. 
 
එසේම, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, ගණකාධිකරණය, ඉතිහාසය, සෞන්දර්යය විෂයයන් වැනි සමාජ විද්‍යාවන්ගේ (social sciences) පර්යේෂණ ද  විද්‍යාත්මක වන්නේ එම පර්යේෂණ ක්‍රමවේදයන් විද්‍යාත්මක වන බැවිනි. 
 
විද්‍යාත්මක බව විෂයයන් කිහිපයකට හෝ විධික්‍රම  කිහිපයකට සීමා කල නොහැකි ය. 
 
විද්‍යාත්මක විමසීමක්/පර්යේෂණක්/අධ්‍යයනයක් (scientific inquiry/research/study) සඳහා ඇත්ත වශයෙන්ම අවශ්‍යය වන්නේ ක්‍රමානුකූල ප්‍රවේශයකි. එය ශාස්ත්‍රීය පර්යේෂණ (academic research) ලෙස හැඳින්විය හැකි ය. 
 
අවසාන වශයෙන් අවධාරණය කළ යුත්තේ සත්‍යය මිත්‍යාවෙන් වෙන් කොට හඳුනාගැනීම යන්න විෂයානුබද්ද කරුණක් බවයි. මගේ මතය නම්, එයට උපයෝගී කරගත හැකි වඩාත් සුදුසු ම ක්‍රමවේදය විවේචනාත්මක චින්තනය නම් ක්‍රමවේදයයි. විවේචනාත්මක ක්‍රමවේදය භාවිතා කරන්නෙකුගේ ගුනාංග සහ උපකල්පන ඉහත වගුවේ අවසාන තීරුවේ ඇත.
 
 එම උපකල්පන ඔබට ද අදාල කරගත හැකිනම් ඔබට ද විවේචනාත්මක චින්තකයෙක් වී, ද්විත්ව රාමුවට කොටු නොවී, මිත්‍යාවෙන් ජනතාව මුදා ගැනීමට දායක විය හැකි ය යනු මාගේ විශ්වාසයයි.
 
 
Dr. Saliya(ආචාර්ය සී. ඒ. සාලිය)
  
 
 
සබැඳි විශේෂාංගය :
 
 
 

 


 

THE LEADER TV

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

ලොකුගේට ඇක්ෂන් එකක් නොගත්ත එකනම් නෝන්ඩි 'ස'

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...