The Leader News
BREAKING
Top Ad
Opinion

කවුද ප්‍රභූ අප්‍රභූ? | එරන්ද ගිනිගේ

T

The Leader Desk

August 26, 2025 • 8:18 AM

කවුද ප්‍රභූ අප්‍රභූ? | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රභූ යන සංස්කෘත වචනයේ මූලික අර්ථය “පළමු යන්නා” වැන්නකි.
  • ඇතැම් විට වත්මන් ප්‍රභූ ඝාතන සන්දර්භය සඳහා නිර්ප්‍රභූ යන්න වඩාත් ගැලපේ යැයි සිතිය හැකි ය.
  • දෙවන තුන්වන පේළි එවිට පළමු පේළි බවට පත් වේ.
  • පෙර අප්‍රභූන් එකිනෙහිම ප්‍රභූන් බවට පත් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රභූ යන සංස්කෘත වචනයේ මූලික අර්ථය “පළමු යන්නා” වැන්නකි. ප්‍ර- උපසර්ගය බොහෝ විට යෙදෙන්නේ ඉදිරියෙන් යන අර්ථයෙනි. ප්‍රමුඛ යනු මුවට ඉදිරියෙන් සිටින/තිබෙන යනු ය. එයට ආසන්න ඉංග්‍රීසි වචනය Pro- සහ Pre- ය. භූ යනු පවතින හෝ පැවැත්මට පැමිණි වැන්නකි. එයට ආසන්න ඉංග්‍රීසි වදන් be හෝ to be ය. උදාහරණයකින් කිවහොත් පෝලිමක ඉස්සරහින් සිටින්නා ප්‍රභූ ය. සභාවක ඉදිරි පෙළ අසුන් ගන්නේ ප්‍රභූන් ය. මහා මගධයේ සිට ආර්යයන් මෙහි පැමිණෙන විට ඔවුන් පෙරටු කොට පැමිණි විජය කුමරු ප්‍රභූ ය. ඒ අර්ථයෙන් ප්‍රභූ යනු කිසියම් සමූහයක් ඉදිරියට ගෙන යන්නා ය. ප්‍රජාව හෝ progeny යනු ඉදිරියට යන පරම්පරාව ය. මෙම ඉදිරියෙන් සිටිමින්, ඉදිරියට ගෙන යන කෘත්‍යාර්ථයෙන් ප්‍රභූ යන්නට කිසියම් බලයක් ආරෝපණය වේ. සිංහ රැලක ඉදිරියෙන් යන්නේ වඩාත් බලසම්පන්න සිංහයා ය. ඕනෑම සමාජයක් ඉදිරියට ගෙන යන්නේ ප්‍රභූන් ය.

king vijayaමහා මගධයේ සිට ආර්යයන් මෙහි පැමිණෙන විට ඔවුන් පෙරටු කොට පැමිණි විජය කුමරු ප්‍රභූ ය.

නිර්ප්‍රභූ යන්න ප්‍රභූ සඳහා විරුද්ධාර්ථයක් නම් එය අර්ථ විකෘතියකි. කිසිවෙකු ඉදිරියෙන් යත් නම් අනිවාර්යෙන් ම කිසිවෙකු පසුපසින් පැමිණිය යුතු ම ය. පෙරටුගාමී යනු ඉදිරියෙන් යන්නන් ය. ඉදිරියෙන් යන්නන් පසුපසින් අනෙකුන් පැමිණේ. ඒ අනුව පෙරටුගාමීන් ද ප්‍රභූන් ය. ලංකාවේ පෙරටුගාමීන් පසුපසින් කිසිවෙකු නොගියත්, පසුපසින් එන්නන් සඳහා වඩාත් සුදුසු වචනය ‘අප්‍රභූ’ යන්න ය. නිර්- උපසර්ගය යෙදීමෙන් හැඟවෙන්නේ ‘ප්‍රභූන් නසන’ වැනි අර්ථයකි. නිර්භය යනු භය නැති කරන හෝ භයෙන් මිදෙන වැන්නකි. ඇතැම් විට වත්මන් ප්‍රභූ ඝාතන සන්දර්භය සඳහා නිර්ප්‍රභූ යන්න වඩාත් ගැලපේ යැයි සිතිය හැකි ය.

නමුත් ප්‍රභූන් නැසිය නොහැකි ය. උපායමාර්ගික නායකත්ව වැඩමුළු ආදිය කිරීමේදී මා භාවිතා කරන උපක්‍රමයක් තිබේ. ශාලාවේ ඉදිරිපෙළ අසුන් මත බොහෝ විට කිසිවෙකු හිඳ ගන්නේ නැත. එන එන එකා හිඳ ගන්නේ පසුපසිනි. ඔවුන් සහජයෙන් ම ‘අප්‍රභූ’ ය. මා කරන්නේ සියලු දෙනා පසුපසින් අසුන් ගත් පසු ඉදිරිපෙළ අසුන් ටික ඉවත් කිරීමයි. දෙවන තුන්වන පේළි එවිට පළමු පේළි බවට පත් වේ. පෙර අප්‍රභූන් එකිනෙහිම ප්‍රභූන් බවට පත් වේ. ඉඳ හිට කිසිවෙකු නොපැකිලව ඉදිරියටම පැමිණ අසුන් ගනී. ඔහු සහජයෙන් ‘ප්‍රභූ’ ය. ඔහු හෝ ඇය බොහෝ විට එම සමූහයේ නායකයා බවට පත් වේ.

5 reasons leadership training should be for all employees 1

ඕනෑම ජන සමූහයක් ප්‍රභූ සහ අප්‍රභූ වශයෙන් ස්වභාවයෙන් සැකසේ. එය පරිණාමීය අවශ්‍යතාවයකි. ජානගත චර්යාවකි. රනිල් ඉවත් කොට අනුර ජනාධිපති වීමෙන් අනුර ප්‍රභූ වේ. අන් සියලු වැසියන් ඔහුට සාපේක්ෂව අප්‍රභූන් වේ. අනුර ඉවත් කොට බිමල් ජනාධිපති වීමෙන් බිමල් ප්‍රභූ වේ. අනුර ඇතුළු අන් සියල්ලන් අප්‍රභූන් වේ. එනයින් ප්‍රභූ නැසිය නොහැකි ය. ප්‍රභූ අප්‍රභූ ගැටුම ද අතිශය ස්වභාවික ය. සුනඛ රැලක වුවත් නායකයා වීමට ගැටුමක් පවතී. ඔබේ ආයතනයේ ඉහළ තනතුරක් සඳහා තරග කිරීමේ සිට ජනාධිපතිවරණය දක්වා ම තිබෙන්නේ ප්‍රභූ අප්‍රභූ සටන ය. අනෙකා අභිබවා ඉදිරියට යාමේ සටන ය. ඔබ අවදි වූ මොහොතේ සිට කරන්නේ ප්‍රභූ අප්‍රභූ සටනකි. පැවැත්මට කරන සටනකි.

කිසිදු මිනිස් සමාජයක් කිසිදු කලක නිර්ප්‍රභූ වන්නේ නැත. නිර්ප්‍රභූ වීමට නම් සියලු වැසියන් සෑම අතින් ම සමාන විය යුතු ය. එවැනි සමාජයක පෝලිම් තිබිය නොහැකි ය. එවැනි සමාජයක පේළි තිබිය නොහැකි ය. එවැනි සමාජයක රේඛීය ආයතන ව්‍යුහ තිබිය නොහැකි ය. CEO ලා සිටිය නොහැකි ය. වෙනස් වැටුප් තල තිබිය නොහැකි ය. වෙනස් ගෙවල්, යාන, වාහන, දුරකථන තිබිය නොහැකි ය. වෙනස් මිල ගණන්වලට මිනීපෙට්ටි තිබිය නොහැකි ය. වැදි නායක තිසා හාමි සිටිය නොහැකි ය. මැති ඇමතිවරු සිටිය නොහැකි ය. ජනාධිපතිවරු සිටිය නොහැකි ය. Facebook එකේ followers ලා සිටිය නොහැකි ය. ඇඟිලි පුරුකෙන් පවා එකිනෙකාට ඉඳුරා වෙනස් මිනිසුන් කිසිම දිනයක ඒ හා සමාන වන්නේ නැත. හැමෝටම බුදු වීමටත් නොහැකි ය. බුදුන් මරා බුදු වීමට ද නොහැකි ය. ධර්මය ඔබට මග වේවා!


eranda. ginige
(සටහන |එරන්ද ගිනිගේ)

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

 

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 අගෝස්තු 25
eranda.ginige@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...