මේ ඊයේ ඉංග්‍රීසි පුවත් පතක තිබුණකි. රජයේ වෛද්‍ය නිලධාරීන් ආණ්ඩුවට බලකර ලබා ගත් රුපියල් 35,000 ක
ඔවුන්ගේ DAT දීමානව දෙගුණ කිරීම සමග ඊට සමාන වැටුප් වැඩි කිරීම් දැන් රජයේ වෙනත් සේවාවන්ද ඉල්ලා සිටීම ගැන මේ සමාජය සළකා බැලිය යුතු යැයිද විනිසුරුවරුන්ට වැටුප් වැඩි කිරීම් කෙරෙන විට අධිකරණ සේවාවේ ලිපිකරුවන්ට හා අවශේෂ සේවාවන්ටද ඒ වැඩිකිරීම් ලබා දිය නොහැකි යැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා තිබිණ. මේ ප්‍රකාශයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ උද්දච්ච මානසිකත්වය වගේම ඔවුන්ගේ කුහකත්වයත් මොනවට පැහැදිලිවන අතර, අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට තබා සියලු සදාචාරයන්ට එරෙහිව ලබා ගන්නා ඔවුන්ගේ DAT දීමානව ගැන කතාව පසුවට තියමි.
ඒ අතර මේ, ඊයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය කෙරුණු තවත් කතාවක උපුටා ගැනීම් කිහිපයකි.
“මෙහෙම කිව්වට කවුරුවත් තරහ වෙන්න නම් එපා. බොහෝ ගුරුවරු අංග විකල වෙලා දැන් ඉන්නේ. මොකද බොහෝ අයට මේක පිනට ලැබුණු පත්වීමක්..... ගොට්ට අල්ලලා පත්වීම් ගත්ත බහුතරයක් සාමුහික තැනකට ගේන්න බැහැ. බොහෝ ගුරුවරුන් හිතාගෙන ඉන්නේ ඔවුන් දේවකාර්යක් කරන්නෙ කියලා...... දොස්තරලා ස්ට්‍රයික් නම් ස්ට්‍රයික්. හැබැයි සියලු දෙනා. අපේ උන් ස්ට්‍රයික් එකක් පටන් ගත්තොත් බාගයක් යනවා දේවකාර්ය කරන්න. ඉතිං කොහොමද අරගල දිනන්නේ?” මේ කතාවේ තියෙන්නෙත් වෛද්‍යවරුන්ගේ කතාවේ වගේම ඉතාම ආත්මාර්ථකාමී යටි පෙළකි. දැන් අනෙක් අය පඩි වැඩි කරගන්න නිසා අපිත් එකතු වෙලා පඩි වැඩි කිරීම් දිනා ගත යුතු යැයි වැනි කතාවකි.
සමස්ථයක් ලෙස පිරිහුණු, දූෂිත, අශිෂ්ට සමාජයේ මේ හැම වෘත්තියක්ම අනිවාර්යෙන්ම පිරිහුණු වෘත්තීන්ය. සේවාවන්ය. තනි වෘත්තියකට, තනි සේවාවකට පමණක් පිරිසිදු ශීලාචාර වෘත්තියක් සේවාවක් වශයෙන් පැවතිය නොහැක. ඒවායේ පුද්ගලයින් වශයෙන් වැදගත් මහත්ම මහත්මීන් ඉන්නා බව සැබෑය. එහෙත් වෘත්තීන් සේවාවන් පිරිහෙන විට, දූෂණය වන විට, පුද්ගලයින් වශයෙන් කළ හැකි කාර්ය ඉතාම අල්පය. ස්ථානගත ය.
මේ සමාජ පිරිහීමේ වැඩි පංගුවක් අයත් වන්නේ ගුරු සේවාවට ය. පසුගිය අවුරුදු 40 ක කාලයේ ආත්මාර්ථකාමී කුහක සමාජයක සාමාජික පුරවැසියන් හැදුනේ පාසල් අධ්‍යාපනයෙහි ය. මෙය අතිශය තරගකාරී, නගර කේන්ද්‍රීය විවෘත වෙළඳපල ආර්ථිකයෙන් වඩාත් උග්‍ර කෙරුණු තත්ත්වයකි. කෙසේ හෝ අනෙකා පරයා යෑමට පොළඹවන, රහක් නොදන්නා රළු පාරිභෝගිකයකු හැදීමේ ආර්ථික මෙවලම් ඉන් ලබා දුන්නකි. ක්‍රෙඩිට් කාඩ් පත්, කල් බදු ක්‍රම, වාරික ගෙවීම්, බැංකු ණය වැනි ණය ක්‍රම සමග අනාගතයක් නොබලන පාරිභෝගිකයින් හැදුවේ විවෘත වෙළඳපල ආර්ථිකයෙනි.
පාසල් අධ්‍යාපනයද ඒ තරගකාරිත්වය සමග හැදෙන්නකි. තරගය වෙනුවෙන් වාර විභාගවල සිට පහේ ශිෂ්‍යත්වය හරහා විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වාම මේ සමාජය ළමුන් තල්ලු කරන්නකි. සාධාරණ සාමුහික සමාජයක පරාර්ථකාමී පුරවැසියන් හදන දියුණු ගුරු සේවාවක් මේ වෙළඳපලෙහි තිබිය නොහැක. එනිසාම මේ පාසල් අධ්‍යාපනයෙහි ගුරුවර ගුරුවරියන්ගෙන් ලබා ගත හැකි පරමාදර්ශ නැත. පසුගිය වසර කිහිපයේ ගුරුවරුන් කෙතරම් ජාතිවාදී දැයි අපි දුටුවෙමු. කෙතරම් අකාරුණික, අවිනීත සහ ප්‍රචණ්ඩදැයි පාසල්වල ළමුන්ට පහර දෙන සහ ළමුන් අත්විඳින ශාරීරික හා ලිංගික හිංසන ප්‍රමාණයෙන් අපි දන්නෙමු. ඔවුන්ගේ ඉගැන්වීම් සතුව කන්නන්ගර වාර්තාවෙහි අරමුණු කෙරුණු සමාජ වගකීම්, වටිනාකම්, පරාර්ථය හා එකමුතුකමද අහළකවත් නොමැත. අවුරුදු පතා පාසල් වලින් හැදූ ආත්මාර්ථකාමී කුහක පුරවැසියෝ මේ සමාජයේ අනෙක් සියලු වෘත්තීන්ට හා සේවාවන්ට වගේම නැවත ගුරු සේවාවටත් ඇතුළු වන්නාහ. එය Photocopy යකින් තව Photocopy යක් ගහනවා වගේ ය. හැම පරම්පරාවක්ම හැදෙන්නේ කලින් පරම්පරාවට වඩා බාල, වඩා ආත්මාර්ථකාමී, ඉතා දූෂිත පරම්පරාවක් ලෙසින්ය. එය දැන් වැළකිය නොහැකිය.
ගුරු සේවය අනෙක් වෘත්තීන්ට හා සේවාවන්ට වඩා වෙනස් ගමනක් ගියෙකි. පාසල් අධ්‍යාපනයෙහි විකාශනය සමග ගුරු සේවය ආරම්භ වන්නේ ප්‍රධාන වශයෙන් ග්‍රාමීය සමාජයේ ප්‍රභූ සේවාවක් වශයෙනි. ග්‍රාමීය සමාජයේ උගත් ප්‍රභූන් ලෙස සැළකීමට පත්ව සිටියේ පන්සලේ භික්ෂුවත් පාරම්පරික වෙද මහතාත් ගුරුවරයාත් පමණි. 1903 දී ලංකාවේ පළමු විධිමත් ගුරු පුහුණු ආයතනය පිහිටුවනු ලැබූ පසු 1939 වනවිට එවැනි ගුරු පුහුණු ආයතන 23 ක් වූ අතර, ඒවායේ ඉංග්‍රීසි සමග සිංහල හා දෙමළ භාෂා, පාසල් අධ්‍යාපනයෙහි වූ විෂය ඉගැන්වීම් සහ ග්‍රාමීය අධ්‍යාපනය පිළිබඳ පුහුණුවීම් කෙරී ඇත. කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග 1947 සිට ගුරු පුහුණුවද නවීකරණය විය.
මේ අතර 1957 දී ඇති කළ වෙනස්කම් මත ගුරු පුහුණු සහතික දෙකක් සමග ගුරු වැටුප් ක්‍රම දෙකක්ද ඇති විය. ඉන් ද්විතියික පුහුණු සහතිකය හිමි වූයේ පසුව විශේෂ පුහුණු ලෙස නම් වූ ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ අත් කර්මාන්ත ලෙස හැඳින්වුනු විෂයන් සඳහාය. සාමාන්‍යයෙන් “මහරගම පුහුණු” යැයි කීවේ ඉහළ වැටුප් ක්‍රමයක් හිමි වූ මොවුන්ටය. ඔවුන් ද්විතියික පුහුණු ගුරු සංගමය යැයි සමිතියක් පිහිටුවා ගෙන තිබිණ.
අනෙක් ගුරු පුහුණු සහතිකය වූයේ ප්‍රාථමික ගුරු පුහුණුව ය. සිංහල ප්‍රදේශවල එය හඳුන්වනු ලැබූයේ “සිංහල පුහුණු” යනුවෙනි. ඔවුන්ගේ වැටුප අඩු වැටුපක් වූවත් ගුරු සේවයේ බහුතරය ඔවුන් වූවත් ඒ වැටුප් විෂමතාව ඉවත් කර ගැනීමට ගුරුවරුන් ඉදිරිපත් වූයේ නැත. සංවිධානාත්මකව එසේ ඉදිරිපත්වීම වරාය කම්කරුවන්ට මිස ගුරුවරුන්ට නොවේ යැයි වැනි මානසිකත්වයක් ඔවුන් අතර පැවතින.
කුඩා ගුරු සමිති දෙකක් ඒකාබද්ධවී 1960 දී කොමියුනිස්ට් පක්ෂයේ අනුග්‍රහය ඇතිව දේ පීටර් සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය පිහිටුවා ගනු ලැබීමෙන් පසු ප්‍රාථමික නැතිනම් සිංහල පුහුණු ගුරුවරු එහි සාමාජිකත්වය ගත්හ. ඔවුන් බහුතරය බණ්ඩාරනායකවාදයේ සිංහල-බෞද්ධ උරුමයද වැළඳගෙන සිටියහ. එකල රජයේ සේවකයින් වශයෙන් ගුරුවරුන්ටද දේශපාලන අයිතියියක් නොවුනි. එනිසා 1965 මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප මැතිවරණ කටයුතු වලට ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ක්‍රියාකාරී ගුරුවරුන් හවුල් විනැයි ඩඩ්ලි සේනානායක ආණ්ඩුව බලයට පත් විගස ප්‍රධාන නායකයින් සහ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් ඇතුළු 239 කගේ වැඩ තහනම් කරනු ලැබ ඉන් 140 ක් සේවයෙන් අස්කරනු ලැබිණ. තවත් ගුරුවරුන් 3,000 ක් පමණ දඬුවම් මාරුවීම් ලැබූහ. සියල්ලෝම වාගේ සිංහල පුහුණු ගුරුවරුන් වූහ.
විවෘත වෙළඳපල ආර්ථිකය විසින් සිදුකර ඇත්තේ ගුරු සේවයේ පැවති එවැනිවූ පෞද්ගලිකත්වය සමගින් වූ හිස් ප්‍රභූ මානසිකත්වය පාරිභෝගික තරගකාරිත්වය සමග ආත්මාර්ථකාමිත්වයකට පෙරළීමය. තරගකාරී වෙළඳපල ආර්ථිකයෙහි හිස් ප්‍රභූ මානසිකත්වය ආත්මාර්ථකාරී පාරිභෝගිකත්වයකට පෙරළු විට එය සාමාන්‍ය පුරවැසියකු පාරිභෝගියකු වීමට වඩා බරපතල පරිවර්තනයක් වන්නේය. එනිසා ගුරුවරුන් තරහ නොවන්නට යැයි ආඩපලි නගන්නේ සේවාවක් වශයෙන් ඉල්ලා සිටිය යුතු දියුණුවක් සඳහා නොව, හුදෙක් ආර්ථික වාසි සඳහාම පමණි. එවැනි සාමාජිකත්වයක් වෙනුවෙන් ගුරු සංගම් ඉදිරිපත් වන්නේද ආර්ථික වාසි සඳහාම පමණි.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
ජනවාරි 10