ජවිපෙ ඉන්දියාවට ගියේ අමුල් බටර් හෝ විද්‍යුත් බයිසිකල් හෝ ගැන කතා කරන්නට යැයි කිසිවෙකු සිතනවා නම් එය විහිළුවකි.

ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව මාගේ වෘත්තීය අත්දැකීමෙන් මට කිව හැක්කේ ඒවා සියල්ල රඟපෑම් බවයි. සැබෑ කාරණය මහජනතාවට සැඟවීමට එවැනි සංදර්ශන පැවැත්වීම සාමාන්‍ය උපක්‍රමයකි. ජවිපෙ ඉන්දියාවට යනවා නම් යා යුත්තේ එකම එක කාරණයක් නිසාය. ඒ කුමක්ද?

ජවිපෙට ඉන්දියාවෙන් අමුතුවෙන් ආරාධනා කළා නොවේ. ජවිපෙ සෑහෙන කාලයක සිට ඉන්දියාවෙන් කළ ඉල්ලීමට ඔවුන් අවසානයේ කැමති වීම පමණක් මෙහිදී සිදු විය. ඉන්දියාව ජවිපෙට සිය තීරණ දැනුම් දුන්නා නොවේ. ජවිපෙ ඉන්දියාවට සිය තීරණය දැනුම් දුන්නේය.

 

AKD 1

 

ඒ දෙරට අතර වෙළඳ සහ ආයෝජන කාරණා ගැන යැයි කවුරුන් හෝ සිතනවා නම් ඔවුන් අතිශය බොළඳය. තම හදවත බඳු කාඩරය අමනාප වීමේ අවදානම ගෙන ඔය සරල වෙළඳ කටයුතු ගැන කතා කරන්නට ජවිපෙ යන්නේ නැත. ජවිපෙ ඉන්දියාවට ගියේ ඊට වඩා ඉතා වැදගත් කාරණාවක් සඳහාය. එය කුමක් විය හැකිද යන්න සිතා ගැනීම දේශපාලනය දන්නා අයට එතරම් අපහසු නැත.

 

jaishank copy
ජවිපෙ නායක අනුර කුමාර සහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් අතර පැවති සාකච්ඡාවේ කිසිදු වීඩියෝ පටයක් නැත. ජනමාධ්‍යකාරයන් නැත. නිකුත් කළේ පින්තූරයක් පමණී. එය ඉතාම සූක්ෂම උපායකි. එය අනුරගේ ඉංග්‍රීසි කතා කිරීමේ නොහැකියාව සඟවන්නට කළ දෙයක් යැයි සිතීම වැරදිය. ඒ සාකච්ඡාවේ කතා කළ දේ ගැන කිසිම දෙයක් ඔවුන් ප්‍රසිද්ධියේ කියා නැත. ජයශංකර්ද කියා නැත. ඒ ඇයි? ඔවුන් මාධ්‍යයට කතා කළේ ඔය අමුල් ගැන සහ වෙනත් වල්පල්ය. එයට හේතුව ප්‍රධාන සාකච්ඡාවේ තොරතුරු රහසක් ලෙස පවත්වා ගැනීමයි. මේ කාරණා ගැන අහන්නට තරම් පරිචයක් තිබෙන මාධ්‍යකාරයන් දැන් ලංකාවේ නැත.

එමෙන්ම එම සංචාරයට පා. ම. හරිනි අමරසූරිය එකතු කර නොගැනීම විශේෂත්වයකි. එහි ගියේ සූට් බූට් ඇඳගත් පිරිමිම තුන්දෙනෙකි. ලංකාවේ ජවිපෙ කාන්තාව ලවා තාප්පවල පෝස්ටර් අලවා ගන්නා අනුර, ඉන්දියාවට ගියේ කාන්තා නියෝජනයක් නැතිවය. එය හුදෙක්ම ජවිපෙ සැබෑ පුරුෂාධිපත්‍ය පාලන ව්‍යුහය නිසා පමණක් නොවේ. එයින් පෙන්වන්නේ ඔවුන් ඉන්දියානු රජය සමග කළ සාකච්ඡාව හරිනිගෙන් සැඟවූ බවයි. එය හරිනිව විශ්වාස නැති කමටත් වඩා හරිනිගේ කට විශ්වාස නැති කමට කළ එකක් බව පැහැදිලිය. එනම් ඉන්දියාව සමග කළ සාකච්ඡාව ලංකාවේ ජනතාවට රහසක් ලෙස තබා ගැනීම අනුරගේ ප්‍රධාන අරමුණ වූ බව පැහැදිලිය. ඒ රහස කුමක්ද?

 



ජනාධිපතිවරණයෙන් දිනීමටත්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවීමටත් ජවිපෙට තනිවම නොහැකිය. ඔවුන්ට සජබ හෝ පොහොට්ටුව සමගද එකතු විය නොහැකිය. නමුත් බලය සඳහා ඔවුන් යම් යම් පාර්ශව සමග එකතු වන බවට අනුර කුමාර විසින්ම විදේශ රටකදී ප්‍රසිද්ධියේ කියා තිබේ. එහෙම එකතු වෙන්න ඉන්නේ වෙන කවුද? ඉන්නේ ලංකාවේ සුළු ජාතික පක්ෂ පමණී. ජවිපෙට දිනන්නට දෙමළ සහ/හෝ මුස්ලිම් ඡන්ද අනිවාර්යෙන්ම ලබා ගත යුතුය. එම ඡන්ද බැඳී පවතින එකම කාරණය උතුරු-නැගෙනහිර පාලනය පිළිබඳ කාරණය මිස වෙන අහවල් දෙයක්ද?

ජවිපෙ ආණ්ඩු බලය ගත් වහාම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව විජිත හේරත් ඉන්දියාවට යෑමට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එය සිතා මතා කල් බලා උවමනාවෙන් කළ ප්‍රකාශයකි. ඉන්දියාවට යෑමට පෙර ඔවුන්ගේ ස්ථාවරය ගැන ඉන්දියාවට පෙර දැනුම් දීමක් කළේ එසේය. ඒ අලුත් ව්‍යවස්ථාව කුමක්ද පිළිබඳව ඉන්දියානු අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් කතා නොකලා නම් පුදුමයකි. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය කරන්නේ එක්කෝ රට බෙදන්නටය. නැත්නම් රට බෙදීම වැළැක්වීමටය. ජවිපෙ ආණ්ඩුවක් විසින් සම්මත කරගන්නා ව්‍යවස්ථාව ඉන් කුමක්ද යන්න තීරණය කිරීම ඔබට බාර කරමි.

 



අවසාන වශයෙන් මෙහි ආර්ථිකමය පැතිකඩක්ද තිබේ. එය ඔය කියන සරල වෙළඳ සහ ආයෝජන නොවේ. එය අති ධනවත් දෙමළ ඩයස්පෝරාව පිළිබඳවය. ආණ්ඩු බලය ගත්තාට ජනතාවට ජවිපෙ පොරොන්දු වෙන ආර්ථික අහස් මාළිගාව ලබා දෙන්නට සැබැවින්ම නොහැකිය. එය කළ හැක්කේ එකම ක්‍රමයකිනි. ඒ ඔවුන් කියන “පිටරට ඉන්න අයට කියනවා ඩොලර් එවන්න කියලා” යන උපායමාර්ගයයි. ජවිපෙ ඒ කියන්නේ සැබැවින්ම ඔවුන්ගේ කෙටිකාලීන ආර්ථික උපායමාර්ගයයි. නමුත් ඒ “පිටරට ඉන්න අය” කියා කියන්නේ ඔය මැදපෙරදිග හෝ යුරෝපයේ හෝ ජපානයේ හෝ ඉන්නා දුප්පත් ගොඩේ ජේවීපීකාරයන් ගැන නොවේ. උන් ඒ රටවල ඉන්නෙත් අමාරුවෙන් බව අනුර දනී. එහෙම ඉල්ලා ගන්න පිටරට ඉන්නේ අති ධනවත් දෙමළ ඩයස්පෝරාව පමණී. ජවිපෙ ඉල්ලා ගන්නවා නම් ගන්නේ ඒ අල්ලිරාජලාගේ ඩොලර්ය. ඒ වෙනුවට ඔවුන් ඉල්ලන දේ දිය යුතුය. අලුත් ව්‍යවස්ථාව ගැන ඉන්දියාවට කල් තියා දැනුම් දී එන්නට ගිය ගමන සාර්ථකය. නිර්මාල් දේවසිරි ගුරු දේවයන් ඒ ගමන ගැන වචනයක් කතා කළේ නැත්තේ ඇයිද කියා දැන් ඔබට සිතා ගැනීමට හැකි විය යුතුය.

දිස් ඉස් පොලිටික්ස්.

විමල් නැසූ අනුර - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image