මෙම ලිපිය ලියන්නට අදහස් කළේ පසුගියදා කුලියාපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ප්‍රචාරක

රැස්වීමක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද ප්‍රකාශයක් නිවැරැදි කිරීමට යි.

(බලන්න: 77 රොනී-විජේවීර ඩීල් එක ජනපති හෙළි කරයි, සහ @abeetha0325 යටතේ සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් කරන ලද Tik Tok සටහනක්: "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මලගම" කියා රැස්වීම් තියාගෙන, ජේ ආර් ව දිනවන්න, ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ගහපු ගේම් එක). රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇති දේ මෙසේ ය:


“එදා එක්සත් ජාතික පක්ෂයට විශාල රැල්ලක් ආව. ඒ රැල්ලක් ආවාට ජේ ආර් ජයවර්ධන මැතිතුමා කිව්වා මේ රැල්ල තියෙනවා කියලා හිතන්න එපා. අපි චන්දෙ දිනන්න ඕන කියලා. ඒ පාර රොනී ද මැල් මැතිතුමා කිව්වා මං ඔබතුමාට මේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දයත් අරන් දෙන්නම් කියලා. ඔහු විටින් විට ගිහින් රෝහණ විජේවීර මහතාව බන්ධනාගාරයේ දි මුණ ගැහිලා තිබුණා. අන්තිමට එතුමා යෝජනාවක් ගෙනාවා, ඒ ඔක්කොම අපිට ඡන්දෙ දෙනවා නම් ඔබතුමාට අවසරයිද කියලා ඇහුවා විජේවීර මැතිතුමාව බන්ධනාගාරයෙන් නිදහස් කරන්න. ජේ ආර් ජයවර්ධන මැතිතුමා කිව්වා ඔව් කියලා. ඒ නිසා ඒ වගකීම දෙපැත්තෙන්ම ඉෂ්ට වුණා අපි පාර්ලිමේන්තුවට විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට ඇතුල් වුණා.”



ටික් ටොක් පණිවිඩයෙන් ප්‍රකාශ කරන්නේ 1970 දශකයේ අග භාගයේදී “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය” යන පාඨය සමඟින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගිය අතර, ජවිපෙ නිර්මාතෘවරයා වූ රෝහණ විජේවීර සහෝදරයා 1977 ජුලි 21 වෙනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් J R ජයවර්ධන මහතා ජයග්‍රහණය කරවීමට එක්සත් ජාතික පක්ෂය (එජාප) සමඟ සහයෝගයෙන් කටයුතු කළ බව යි. විජේවීර සහෝදරයා සහ ද මැල් මහතා අතර ඇති වූ රහස් ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන් සිරගතව සිටි (මා ද ඇතුළුව) CJC පනත (1972 අංක 14 දරන අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත) යටතේ වරදකරුවන් කරන ලද අය, එජාපයට බලය ලබා ගැනීම සඳහා උදව් කිරීමට ප්‍රත්‍යෝපකාරයක් වශයෙන් නිදහස් කරනු ඇති බව යි.

වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය ඇත්ත වශයෙන් සිදුවූ දේ පිළිබඳව විකෘති කිරීමකි. එක්කෝ ජනාධිපතිවරයා ඕනෑකමින් කරුණු විකෘති කර ඇත්තේ පෙනෙන අන්දමට මේ වසර අග පැවැත්විය හැකි මැතිවරණවලදී ඔහු මෙහෙයවන එජාපයට යම් දේශපාලන වාසියක් ලබා ගත හැකි වන පරිදිය. එසේත් නැතිනම් එය දේශපාලන වියපත් භාවයේ මුල් ආරම්භයේ උදාහරණයකි.

නිවැරදි වාර්තාවක් සඳහා 1970 දශකයේ අග භාගයේ පැවැති දේශපාලන තත්ත්වය පැහැදිලි කිරීම අවශ්‍ය වේ.

රටේ පශ්චාත් නිදහස් ඉතිහාසය තුළ පාලක පැලැන්තීත් විසින් කුරිරු ලෙස මර්දනය කරන ලද කැරලි තුනක් තිබුන අතර, ඉන් අවස්ථා දෙකකදීම වත්මන් ජනාධිපතිවරයා පැලැන්ති සාමාජිකයෙකුව සිටියේය. එහෙත් එම කැරලිවලට පාදක වූ තත්ත්වයන් මැඩ පවත්වන්නට අනුප්‍රාප්තික පාලන තන්ත්‍ර සහ ඔවුන්ගේ නිලධරය සමත් වී නැත. ජනතාව සඳහා වඩා යහපත් සාධාරණ රටක් ගොඩ නඟන්නට අදහස් කරන ඕනෑම අනාගත ආණ්ඩුවක් සාධාරණ, වග වෙන සහ විනිවිදභාවයෙන් යුක්ත ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා තිබෙන අවශ්‍යතාවය පිළිබඳව දේශපාලනිකව දැනුවත් විය යුතුය.



71 නැගිටීම, එක්සත් පෙරමුණු පාලන තන්ත්‍රය තේරී පත් වන්නට පදනම් කර ගන්නා ලද ප්‍රතිපත්ති ප්‍රකාශණයත් එම ප්‍රකාශණය ක්‍රියාත්මක කරන්නට ඔවුන්ට ඇති නොහැකියාවත් අතර ඇති විෂමතාවයෙන් පිළිබිඹු වන ලද, යෞවන ‌යෞවනියන්ගේ අනාගතය කෙරෙහි බලපාන කරුණු කාරණා සම්බන්ධයෙන් ඔවුන්ට සහභාගි වන්නට ඇති අවකාශයේ ඌණතාවයේ සහ රැකියා අවස්ථා හිඟයේ සෘජු ප්‍රතිඵලයක් වූයේය. පාලන තන්ත්‍රය අනුගමනය කළ ප්‍රතිපත්ති ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ කාඩර්වරුන් ඇතුළු දිළිඳුකමෙන් පෙලෙන සහ කොන් කර දමන ලද ජනතාව වෙත අහිතකර ලෙස බලපෑවේය.


ඝාතනය කිරීම්, වධහිංසා පැමිණවීම් සහ නීතිවිරෝධී රඳවා තබාගැනීම් වල සම්මිශ්‍රණයක් මඟින් ජනතා විමුක්ති පෙරමුණ සමූලඝාතනය කර දමන්නට එක්සත් පෙරමුණු ආණඩුව සිය ආරක්ෂක මෙවලම් යොදා ගන්නට තීරණය කළේය. දිවි ගලවා ගත් අයට දඬුවම් කිරීමටත් තමන් කරන ලද තිරශ්චීන කටයුතු වසන් කිරීමටත් ඔවුන් තීරණය කර තිබිණි. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා (CJC) පනත් කෙටුම්පත සහ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම මෙසේ කරන්නට විධික්‍රම සලසා දුන්නේය.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය නමැති ආණ්ඩුවේ විවිධ ආයතන අතර ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බලතල බෙදීමක් සහ ස්වාධීනතායක් නොමැති බව ද එයින් සනාථ කෙරිණි. ජ්‍යෙෂ්ඨ විනිසුරුවරු ස්වාධීන ආයතන ලෙස කටයුතු නොකළහ; ඒ වෙනුවට ආණ්ඩුවට අවශ්‍ය පරිදි එක් පාර්ශ්වයකට දඬුවම් කරමින් අනෙක් පාර්ශ්වයේ භූමිකාව වසන් කිරීමට ඔවුහු තීරණය කළහ.


CJC පනත ශ්‍රී ලංකාවේ අපරාධ අධිකරණ පද්ධතිය බෙලහීන කිරීමේ ආරම්භය සංකේතවත් කළේය. එය පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ දැනට සාකච්ඡාවට ලක්ව තිබෙන යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කෙටුම්පත් කිරීමෙන් පැහැදිලි වන පරිදි අනාගත මර්දනකාරී නීතිරීති සඳහා සැකිල්ල බවට පත් විය. CJC පනතේ අරමුණ පැහැදිලි විය. වඩාත් කුප්‍රකට සහ සැන්ඩ්හර්ස්ට් හි පුහුණුව ලද ලුතිනන් කර්නල් සිරිල් රණතුංග විසින් කරන ලද ප්‍රකාශයක් මෙහිදී සිත් ඇදගන්නා සුළු උපදේශයක් වේ. වියට්නාමයෙන් සහ මැලේසියාවෙන් ඔවුන් වුවමනාවටත් වඩා පාඩම් ඉගෙන ගෙන ඇති බවත් ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සහමුලින්ම විනාශ කර දැමිය යුතු බවත් ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.


එසේ වුවද, CJC පනත් කෙටුම්පත විසින්ම එක්සත් පෙරමුණු ආණ්ඩුව තුළ නොඉවසීම් ඇති කළේය. කොමියුනිස්ට් පක්ෂය තුළ මෙම තත්වය ඉහළ මට්ටමක පැවතුනි. එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනාගෙන් හතර දෙනෙකුම ඊට විරෝධය පළ කරමින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවට කටකතා පැතිර ගියේය. CJC පනත් කෙටුම්පතේ අන්තර්ගතය සහ පාලන තන්ත්‍රය හදිසි බලතල යොදා ගැනීම ගැන තැති ගෙන සිටි නිසා, CPC (M) සහ LSSP යන පක්ෂ දෙකේම ක්‍රියා කාරිකයෙන්ගෙන් සමහරෙකු පක්ෂයේ ක්‍රියා මාර්ගය අනුගමනය කිරීම සඳහා අනුගත කර ගන්නට පක්ෂ දෙකටම අපහසු ව තිබිණි.

කොමිසම හමුවේ පෙනී සිටි නීතිඥ සහ නීති උදේශකයන් අතර බාලා තම්පෝ ඩී.පී. මෙන්ඩිස්, ප්‍රින්ස් ගුණසේකර, එම්.බී. රත්නායක, සුනිල් කුරේ, එඩ්මන්ඩ් සමරක්කොඩි, ආර් සරවනබගවන්, පෝල් රාජනායගම් සහ එච්.ඒ. සෙනෙවිරත්න යන සහෝදරවරුන්,, සූරිය වික්‍රමසිංහ මෙනවිය සහ එස් නඩේසන්, ගෝමින් දයාසිරි, හරිස්චන්ද්‍ර මෙන්ඩිස්, එච් එල් ද සිල්වා, එල් ඩී ගුරුස්වාමි, කාල් විජයනායක, ජී ඩී සී වීරසිංහ, සරත් දිසානායක, පත්මසිරි නානායක්කාර සහ මර්ලින් අබේසේකර යන මහත්වරු ඇතුලත් වූහ. අපරාධ යුක්ති විනිශ්චය කොමිසම නීති විරෝධී බවටත් විත්තිකරුවන් සම්බන්ධයෙන් ඊට අධිකරණ බලයක් නොමැති බවටත් නීතිඥයෝ මුලදී තර්ක කළහ. කොමිසම එම තර්කය පිළිනොගත් අතර විනිසුරුවරුන්ගේ තීරණයට එකඟ නොවුනු නීතිඥයන් රැසක් පිටත්ව ගියහ.


නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා CJC වෙත පැමිණි කැපී පෙනෙන පුද්ගලයන් කිහිප දෙනෙකු වූහ. නඩු විභාගය බලන්නට නිතර පැමිණි එක් අයෙකු වූයේ එජාපයේ නියෝජ්‍ය නායකයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාය. පෙනෙන අන්දමට, රනිල් වික්‍රමසිංහ මහතා සහ ගාමිණී දිසානායක මහතා නීති විද්‍යාලයෙන් උපාධිය සමත් වූ අවස්ථාවේ CJCයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නට කැමැත්තක් දක්වා තිබූ නමුත් කිසිවෙකු ඒ පිළිබඳව එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. CJC නඩු විභාගය අතරතුර මා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින විට, රෝහණ සහෝදරයා සහ අප සමඟ දේශපාලනිකව සම්බන්ධව සිටි මහින්ද විජේසේකර මහතා, වික්‍රමසිංහ සහ දිසානායක යන මහත්වරුන් සමඟ කතා කරමින් සිටිනවා මම අහම්බෙන් දුටුවෙමි. ඔවුහු බන්ධනාගාර අධිකාරී සයිමන් සිල්වා මහතාගේ කාර්යාලයේ මේසයක අසුන් ගෙන සිටියහ. සිද්ධියට පෙර, මෙම හමුවීම පිළිබඳව අප දැනුවත් කොට නොතිබුණි. විජේසේකර මහතා සහ සෙසු කණ්ඩායම අතර අවුල් සහගත තත්වයත් ඇති වන්නට මෙය හේතු විය.


රෝහණ සහෝදරයා සහ රොනී ද මෙල් මහතා ඔවුන්ගේ දේශපාලන මැදිහත්වීම් නිසා එකිනෙකා හඳුනාගෙන සිටියහ. 1977 ඔක්තෝම්බර් මාසයේ නිදහස ලැබුවායින් පසුව මට ද මෙල් මහතා මුණ ගැසෙන්නට අවස්ථාව ලැබුනේය. ද මෙල් මහතා සහ ඔහුගේ බිරිඳ මල්ලිකා ද මෙල් මහත්මිය යන දෙදෙනාම ප්‍රසන්න, කාරුණි හා මෘදු පුද්ගලයන් බව මට දැනුනේය. අපගේ සංවාදවලදී, ද මෙල් මහතා බුද්ධිමය වශයෙන් ප්‍රබෝධ කරවන සහ වෘත්තීයවේදියෙකු බව මට පෙනී ගියේය. විවෘත ආර්ථිකය අසමානතාවයන්ට තුඩු දෙන බවට ඔහු සතුව තිබූ මතය නොසළකා ඔහු 1977 දී ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකයක් හඳුන්වා දීමේදී විශාල කාර්යභාරයක් ඉටු කළේය. සංවර්ධනය වෙමින් පැවතුන සියළුම නව කාර්මික පදනම් විනාශ කිරීමට හේතු වූ එය, රටේ කෘෂිකර්මයද සැලකිය යුතු අන්දමින් විනාශයට ලක් කළේය.


විජේවීර පවුල සහ ද මෙල් පවුල නෑදෑයන් වූහ. ද මෙල් මහතා 1970 මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් දෙවිනුවර (දෙවුන්දර) ආසනයට තරග කරන විට ඔහුට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට රෝහණ සහෝදරයා උදව් කළේය. එක්සත් පෙරමුණු ආණ්ඩුව ඇති කරන ලද ආර්ථික කැඳ හැලියත් සමඟ ඔහු ශ්‍රීලනිපයෙන් ඉවත් ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය. 1977 මහ මැතිවරණයේදී ඔහු එජාපයට එක්ව එම ආසනයම තරග කර ජයග්‍රහණය කළේය. ඉන්පසුව, ඔහු ජේ ආර් ජයවර්ධන රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

රොනී ද මෙල් මහතා කිසි දිනෙක රෝහණ සහෝදරයා බැලීමට වැලිකඩ බන්ධනාගාරයට හෝ මැගසින් බන්ධනාගාරයට ගිය බවක් මට මතක නැත. මගේ මතකයේ පවත්න, විජේවීර සහෝදරයා බැලීමට පැමිණි කැපී පෙනෙන අමුත්තන් දෙදෙනා වූයේ ලංකා කොමියුන්ස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒලියන් නානායක්කාර සහෝදරයා සහ මල්ලිකා ද මෙල් මහත්මියයි. අප මැගසින් බන්ධනාගාරයේ දුෂ්කර කාලයක් පසු කරමින් සිටියදී ඔවුහු විජේවීර සහෝදරයාව බලන්නට පැමිණියහ. 1977 සිට 1989 දක්වා ද මෙල් මහත්මිය ඇයගේ සැමියා වන මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස සේවය කළාය.


1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වූ හෝ ඊට සහාය වූ අප පමණක් නොව, විදේශ විනිමය පාලන කටයුතු උල්ලංඝනය කරන ලද ප්‍රබල එජාප සාමාජිකයන් කිහිප දෙනෙකු ද CJC පනතේ විෂය පථයෙන් ආවරනය කොට තිබිණි. ඒ ලංකාවේ හිටපු අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු වූ මුබාරක් තාහා මහතා, බුකී හිමිකරුවෙකු වූ ඒ.ආර්.එම්. මුක්තාර් මහතා, සී සතානන්දන් මහතා, ශීලා සතානන්දන් මහත්මිය, සහ පාමි මුක්තාර් මහතා යන අය යි. ශ්‍රීමත් ඔලිවර් ලන්ඩනයට පැන ගොස් සිටි අතර නොපැමිණ සිටියදී නඩුව විභාගයට ගන්නා ලදි. වැරදිකරු වූ ඔහුට එරෙහිව දඬුවම් නියම කරන ලදි. සැකකරුවන් වූ සතානන්දන් මහතා, ශීලා සතානන්දන් මහත්මිය සහ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා නෑදෑයන් වූහ.


තමන් බලයට පත් වුවහොත් CJC පනත අහෝසි කරන බවට එජාපය මහ මැතිවරණයේදී ප්‍රතිඥා දුන්නේය. ඊට ප්‍රධාන හේතුව වූයේ විදේශ විනිමය පාලනය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් CJC පනත යටතේ සිර දඬුවම් කරනු ලැබ සිටි සිය එජාප සාමාජිකයන් නිදහස් කර ගැනීම ගැන එජාපය උත්සුක වීමයි. ඊට අමතරව ‘71 අප්‍රේල් කැරැල්ලේදී 10,000ක් පමණ මරා දමන ලද බවත් දස දහස් ගණන් දෙනා සිරකරුවන් ලෙස රඳවා සිටි බවත් ඔවුන් නොදැන සිටියා නොවේ.


පැහැදිලිවම, ඝාතනයට ලක් වූ, රැඳවුම් භාරයේ තබා ඇති හෝ වරදකරුවන් කරන ලද අයගේ ඥාතීන් සහ මිතුරන් යම් යුක්තියක් හා සාධාරණයක් ලබා ගැනීම සඳහා උනන්දු වන්නට ඇත. යෞවනයට කරන ලද දේ ගැන ඔවුහු පාලන තන්ත්‍රය වෛර කරන්නට ඇත. සිරගතව සිටින අය නිදහස් කරනු ලැබුව හොත් එජාපයට අත්පත් කර ගත හැකි අති විශාල ඡන්ද සංඛ්‍යාවක් තිබෙන බව එජාපය දැන සිටියේය. රෝහණ නිදහස් කර ගැනීමට සම්බන්ධයෙන් මෙල් පවුලට ද උවමනාවක් තිබෙන්නට ඇති බවද සැක රහිත සත්‍යයක් ද වේ.

එබැවින් මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිරගත කර සිටින සිය සගයන්ට සමාව දීමටත්, CJC යේ දැඩි චෝදනා යටතේ සිරගත කර සිටින ජවිපෙ ක්‍රියාකාරකයින් නිදහස් කිරීමටත් එක්සත් ජාතික පක්ෂය මැතිවරණයේදී පොරොන්දු වීම පරිපූර්ණ දේශපාලන අර්ථයක් සහිත වූයේය. ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි ඔවුන් දැක්වූ නොගැඹුරු කැපවීම සනාථ කරනු ලබන්නේ බලය ලබා ගත් පසු ඔවුන් පැවති බලතල බෙදීම තවදුරටත් දුර්වල කොට, බලයේ රැඳී සිටීම සඳහා වග විය නොහැකි ව්‍යවස්ථාදායක සහ ව්‍යවස්ථාපිත පියවර භාවිතා කිරීමේදී දක්වන ලද හිතුවක්කාර ලෙස කටයුතු කිරීම යි. මැතිවරණ පොරොන්දුව ඡන්ද නෙලා ගැනීම සහ තම සගයන් නිදහස් කර ගැනීම සඳහා ගන්නා ලද නරුම පියවරකි. ඔවුන් එසේ නොකළත්, ඒ වන විට ඔවුන්ගේ සිර දඬුවම් සහ රැඳවුම් කාලය අවසන් විය හැකිව තිබූ බැවින්, එවකට රඳවා සිටි බොහෝ දේශපාලන සිරකරුවන් ඉදිරි වසර දෙක තුළ නිදහස් වන්නට තිබුණි.

මීට අමතරව, දේශපාලන සිරකරුවන් සහ රැඳවියන් දිගටම රඳවා තබා ගැනීම මඟින් විවෘත ආර්ථිකයක් දියත් කිරීමේ සහ සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ශනය කිරීමේ එජාප උපාය මාර්ගයට නිශ්චිත දේශපාලන බාධාවන් ඇති කරන්නට ඉඩකඩ තිබුණි. එක්සත් පෙරමුණු පාලන තන්ත්‍රය විසින් CJC ය යොදා ගනිමින් දඩුවම් පමුණුවා තිබුන ප්‍රමුඛ එක්සත් ජාතික පාක්ෂිකයන් වූ ගුණතිලක, ටාහා සහ මුක්තාර් වැනි විදේශ විනිමය පාලනය උල්ලංඝනය කළවුන් නිදහස් කර ගැනීමට එජාපයට අවශ්‍ය වූයේ නම්, පොදු සමාව ලබා දීම එජාපයට තීරණාත්මක වූයේය. J R ජයවර්ධන මහතා සහ එජාප නායකත්වය බලයට පැමිණියහොත් CJC පනත අහෝසි කිරීමට ගත් තීරණය සඳහා පාදක වුන මූලික හේතු මේවා යි.

1977 මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස ප්‍රචාරක කටයුතුවල යෙදෙන අතර, තමන් බලයට පත් වුවහොත් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත අහෝසි කරන බවට එජාපය පොරොන්දු වූයේය. 1977 ජූලි/අගෝස්තු මාසවල හයෙන් පහක බහුතර බලයක් ලැබ එජාපය රට පාලනය කිරීමට තේරී පත් විය. බලයට පත්වීමෙන් පසුව 1977 නොවැම්බරයේ දී එජාප ආණ්ඩුව  CJC පනත අවලංගු කර දැම්මේය. එක්සත් පෙරමුණු පාලන තන්ත්‍රය විසින් සංශෝධනය කොට ක්‍රියාත්මක කරන ලද විනිමය පාලන පනත් අවලංගු කිරීම ද 1977 ඔක්තෝම්බර් මාසයේදී නීතිගත කරන ලදී. ඒ අනුව, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමත් සමඟ, එම CJC පනත යටතේම සිර දඬුවම් නියම කරනු ලැබ සිටි විදේශ විනිමය පාලන කටයුතු උල්ලංඝනය කලවුන් ද නිදහස් කරන ලදි. මෙය දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමක් ලෙස අර්ථකථනය කළද 71 අරගලයට සම්බන්ධයෙන් සිවිල් අධිකරණයෙන් දඬුවම් නියම කරනු ලැබූ සහෝදරවරු 13 දෙනා නිදහස් කරනු නොලැබිණ.

අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ 1977 මහ මැතිවරණය තරඟ කිරීම සඳහා ස්වාධීන අය වශයෙන් සීනුව ලකුණින් තරග කරන්නට තමන්ගේම වූ අපේක්ෂකයින් හතර දෙනෙකු ඉදිරිපත් කළේය. ඔවුහු නම්: විජිත රණවීර (තංගල්ල), රොබට් ජයසේකර (හක්මන), කේ අයි එම් රණතුංග (හොරොව්පතාන) සහ කේ එච් චන්ද්‍රපාල (බටහිර අනුරාධපුර) යන සහෝදරවරු ය. බන්ධනාගාරයෙන් පිටත සිටි සහෝදර සහෝදරියෝ එළිපිටම ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියහ. ඔවුහු ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වූ අතර, බාලා තම්පෝ සහෝදරයා ප්‍රමුඛ විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂය වෙනුවෙන් සීනුව ලකුණ යටතේම තරඟ කළ එච් ඒ සෙනෙවිරත්න (කැලණිය) සහෝදරයාට ද සහයෝගය දුන්හ.


වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කරමින්, 1977 මහ මැතිවරණයේදී එජාපයට සහය දීමට ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු එකඟතාවක් නොතිබූ බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. එවැන්නක් තිබුනේ නම් ජවිපෙ ක්‍රියාකාරිකයන්‍‍ එජාපයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් අමතමින්, එජාපයේ ප්‍රචාරක සහ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටියා විය යුතුය. සිරකරුවන් සහ රැඳවියන් ගැන උත්සුක වූ මෙන්ම ඔවුන් නිදහස් කරනු ලැබීමට කැමති වූ ඇතැම් පවුල් සාමාජිකයන් සහ මිතුරන් එක්සත් ජාතික පක්ෂයට සහාය වන්නට ඇත, මෙය කිසිසේත්ම ජනතා විමුක්ති පෙරමුණ එජාපයට සහාය දීමක් හෝ එජාපය ජයග්‍රහණය කරවීමේ ගනුදෙනුවක් නියෝජනය කළේ නැත. ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යාපාරය වූයේ හුදෙක් සීනුව ලකුණින් තරග කළ අපේක්ෂකයන් ජයග්‍රහණය කරවීම පමණකි!




lIONAL bOPAGE(ආචාර්ය ලයනල් බෝපගේ)
සභාපති, ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගීතාව
ඔස්ට්‍රේලියාව
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
ඊමේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024 මාර්තු 17 වන දා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image