(නෛතික සහ පරිපාලනමය ගවේෂණයක්)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාලන සමයේදී, 2023 වසරේ එක්සත් රාජධානියේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයට (University of Wolverhampton) කළ සංචාරය සහ ඊට අදාළව සිදුවූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
මෙය හුදෙක් දේශපාලනික කෝණයකින් නොව, නෛතික, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ රාජ්‍ය පරිපාලන සම්ප්‍රදායන් ඔස්සේ ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු මාතෘකාවකි. විශේෂයෙන්ම, රාජ්‍ය නායකයෙකුගේ විදෙස් සංචාරයක් සහ ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන හැසිරවීම අපරාධ නීතිය යටතට ගැනෙන්නේද, නැතහොත් එය විගණන සහ පාර්ලිමේන්තු අධීක්ෂණයට යටත් වන පරිපාලනමය කාරණයක්ද යන්න මෙහිදී මූලිකවම විමසා බැලිය යුතුය.

මෙම සංචාරය පිටුපස ඇති සැබෑ තතු, කාලරාමුව සහ නෛතික පසුබිම පිළිබඳව ගවේෂණාත්මකව සලකා බැලීමේදී, පෙනී යන ප්‍රධානතම කරුණක් වන්නේ මෙය පෙර සැලසුම් කළ, හුදෙකලා පෞද්ගලික සංචාරයක් නොව, අතිශය කාර්යබහුල රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් මාලාවක් අතරතුර යෙදුණු 'සංක්‍රමණික' (Transit) කාලසීමාවක් තුළ සිදුවූ නිල කාර්යයක් බවයි.
කාලරාමු විශ්ලේෂණය: කාර්යබහුල රාජ්‍යතාන්ත්‍රික ගමන් පෙළක් අතරතුර යෙදුණු 'ලන්ඩන් ට්‍රාන්සිට්' එක
මෙම සංචාරයේ ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා, 2023 සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරයාගේ නිල කාලසටහන දෙස බැලීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමේ තීරණාත්මක සාකච්ඡා සහ ජාත්‍යන්තර සමුළු ගණනාවකට සහභාගී වීම සඳහා එරට සහ මෙරට අතර නිරන්තරයෙන් ගමන් කිරීමට එකල රාජ්‍ය නායකයාට සිදුවිය.
වුල්වර්හැම්ටන් සරසවියේ උත්සවය යෙදී තිබුණේ මෙම කාර්යබහුල ගමන් මාලාවේ එක් නැවතුම්පොළක් ලෙසිනි. එය හුදෙක් එම උත්සවය සඳහාම කළ සංචාරයක් නොවේ.

සැප්තැම්බර් 13 – 16:
කියුබාවේ හවානා නුවර පැවති G77 සහ චීන නියෝජිත සමුළුවට සහභාගී වීම.
සැප්තැම්බර් 16 – 21:
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ඇතුළු නියෝජිතයන් සමග තීරණාත්මක සාකච්ඡා වලට සහභාගී වීම.
සැප්තැම්බර් 22 – 23 (ලන්ඩන් සංක්‍රමණය):
නිව්යෝර්ක් සිට යළි කොළඹ බලා එන ගමනේදී, වෛද්‍ය උපදෙස් මතද ඇතුළුව, ලන්ඩන් නුවර හරහා පැමිණීමට සිදුවිය.
සැප්තැම්බර් 24 – 26:
කොළඹට පැමිණීම (24 උදෑසන 8.35). එදිනම පස්වරු 3.30 ට IMF කණ්ඩායම සමග සාකච්ඡා සහ 25 වැනිදා කැබිනට් රැස්වීම.
සැප්තැම්බර් 27 – 30:
බර්ලින් ගෝලීය සංවාදය (Berlin Global Dialogue) සඳහා ජර්මනියට පිටත්ව යාම.
ට්‍රාන්සිට් කාලය ප්‍රායෝගිකව භාවිතා කළ ආකාරය:-
ලන්ඩන් හී මෙම සංක්‍රමණික කාලය (Transit) ගතවන්නේ ඉතාමත් කෙටි පැය ගණනකි. සැප්තැම්බර් 22 වැනිදා උදෑසන 7.10 ට එක්සත් රාජධානියට ගොඩබසින ජනාධිපතිවරයා ඇතුළු පිරිස, කෙලින්ම ගමන් කරන්නේ වුල්වර්හැම්ටන් වෙතය. අදාළ උත්සවයට සහභාගී වී එදිනම යළි ලන්ඩන් නුවරට පැමිණෙන අතර, පසුදින එනම් 23 වැනිදා පස්වරු 2.20 ට කොළඹ බලා පිටත් වේ.
රාජ්‍ය නායකයෙකුට ජාත්‍යන්තර ගුවන් ගමන් වලදී හිමිවන සංක්‍රමණික විවේකය (Transit lounge, accommodation) අන්තර්ජාතික නීතියේ (වියනා සම්මුතියේ 40 වන වගන්තිය යටතේ) පවා තහවුරු කර ඇති අයිතියකි. ශ්‍රී ලංකාවට වැදගත් වන, එක්සත් රාජධානියේ රජය විසින් අරමුදල් සපයන නිල විශ්වවිද්‍යාලයක ආරාධනයක් මෙම කෙටි කාලය තුළ සපුරාලීම, රාජ්‍යතාන්ත්‍රික භාවිතාවේ කාර්යක්ෂමතාවයක් මිස කිසිසේත්ම අපරාධමය හෝ වංචනික ක්‍රියාවක් ලෙස අර්ථ දැක්විය නොහැක.

ආරාධනයේ නිල ස්වභාවය සහ රාජ්‍යතාන්ත්‍රික වැදගත්කම
මෙම සංචාරය සම්බන්ධයෙන් නැගෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ මෙය පෞද්ගලික අවශ්‍යතාවක් මත සිදුවූවක් යන්නයි. එහෙත් සාක්ෂි සහ ලේඛන මගින් තහවුරු වන්නේ මෙය මුළුමනින්ම නිල රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් බවයි.
1. නිල ආරාධනය:
වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජෝන් රෆ්ටරි (Prof. John Raftery) විසින් ජනාධිපතිවරයා වෙත නිල ආරාධනා පත්‍රයක් යොමු කර තිබුණි. මෙම ආරාධනාව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ටද පිටපත් කර තිබීමෙන් මෙහි ඇති රාජ්‍ය මට්ටමේ විනිවිදභාවය තහවුරු වේ.
2. සහභාගීත්වයේ අරමුණ:

මෙය හුදෙක් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට ගෞරව සම්මාන පිරිනැමීමේ උත්සවයක් පමණක් නොව, ශ්‍රී ලංකාවට හිතවත් ප්‍රබල චරිතයක් වන ලෝඩ් ස්වරාජ් පෝල් (Lord Swraj Paul) ගේ 25 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ දිවා භෝජන සංග්‍රහයකි. ස්වරාජ් පෝල් යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික තලයේ පෙනී සිටි වැදගත් රාජ්‍යතාන්ත්‍රිකයෙකි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවා ඔහුගේ අභාවයේදී විශේෂ ශෝක ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ඔහුගේ වැදගත්කම පැහැදිලි වේ.
3. නිල ප්‍රභූ සහභාගීත්වය:
මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය (සරෝජා සිරිසේන මහත්මිය), බර්මින්හැම් හී ඉන්දීය කොන්සල් ජනරාල්වරයා සහ වුල්වර්හැම්ටන් නගරාධිපතිවරයා නිල වශයෙන් සහභාගී වී ඇත. එය විශ්වවිද්‍යාලය විසින් VIP න්‍යායපත්‍රයක් (Agenda) යටතේ සංවිධානය කළ රාජ්‍ය මට්ටමේ උත්සවයකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය බලතල සහ පරිපාලන නීතිය (Constitutional & Administrative Law)
මෙම සිදුවීම අපරාධයක් ලෙස ගොනු කිරීමට යාම නෛතික වශයෙන් දැඩි විවාදයකට තුඩු දෙන්නකි. රාජ්‍ය නායකයෙකුගේ ක්‍රියාකලාපයන් සහ විදෙස් සංචාර හැසිරවෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රාජ්‍ය පරිපාලන සම්ප්‍රදායන් මතයි.
* විධායක බලතල සහ ව්‍යවස්ථාවේ 33(h) වගන්තිය:
ජනාධිපතිවරයාට ජාත්‍යන්තර නීතිය, චාරිත්‍ර හෝ භාවිතය මගින් අනුමත කර ඇති ක්‍රියාවන් සිදු කිරීමට මෙම වගන්තියෙන් බලය පැවරේ. රාජ්‍ය නායකයෙකු ලෙස රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටෝකෝල වලට සහභාගී වීම ඊට අයත්ය.
* පූර්වාදර්ශ:
රාජ්‍ය නායකයින් රජයේ මුදලින් රාජ්‍ය නොවන ආයතන හෝ විශ්වවිද්‍යාල වල උත්සව සඳහා සහභාගී වීම ලෝකයේ මෙන්ම ලංකාවේද සාමාන්‍ය සම්ප්‍රදායකි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීමට යාම, ගෝඨාභය රාජපක්ෂ මහතා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයට යාම, මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔසාකා එක්ස්පෝ කමිටුවේ ආරාධනයකට ජපානයට යාමට නියමිත වීම මෙන්ම අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පෞද්ගලික සංවිධානයක් වන ලෝක ආර්ථික සංසදයේ ආරාධනයකට ඩාවෝස් වෙත යාම මීට කදිම නිදසුන් ය.
* මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛ:
රජයේ නිලධාරීන්ගේ විදෙස් සංචාර පාලනය කරන සාමාන්‍ය මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛ ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, කථානායකවරයාට හෝ අගවිනිසුරුවරයාට අදාළ නොවන බව නෛතික සත්‍යයකි.
මූල්‍ය විනිවිදභාවය: විගණනය මිස අපරාධයක් නොවේ

මෙම සංචාරයට අදාළව රුපියල් මිලියන 16ක පමණ මුදලක් සම්බන්ධයෙන් නැගෙන චෝදනාවේ නෛතික පදනම කුමක්ද?
ජනාධිපතිවරයෙකු විදෙස් සංචාරයක් තීරණය කළ පසු, එහි ප්‍රවාහන, නවාතැන් සහ ආරක්ෂක විධිවිධාන සම්පාදනය කරන්නේ රාජ්‍ය යන්ත්‍රණය විසිනි (මෙම අවස්ථාවේදී ලන්ඩන් හී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය).
1. එක්සත් රාජධානියේ රාජ්‍ය අනුග්‍රහය:
ඉතා වැදගත් කරුණක් වන්නේ ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක නිලධාරීන්ගේ ලන්ඩන් සිට වුල්වර්හැම්ටන් දක්වා ප්‍රවාහනය සඳහා නිල වාහන දෙකක් එක්සත් රාජධානියේ රජය විසින් සපයා තිබීමයි.
2. ගෙවීම් ක්‍රියාවලිය:
නවාතැන් සහ සෙසු පහසුකම් සඳහා මහකොමසාරිස් කාර්යාලය මුදල් ගෙවා ඇත්තේ Sky Wings Ltd නම් බාහිර නියෝජිත ආයතනයක් සහ තවත් පුද්ගලයින් හරහාය. මෙහිදී සැබවින්ම සේවා සැපයූ හෝටල් වලට ගෙවූ මුදල සහ මෙම අතරමැදි සමාගම් ලබාගත් මුදල අතර පරතරයක් තිබේද, බිල්පත් ඉහළ දමා ඇත්තේ කවුරුන්ද යන්න වෙනමම විමර්ශනය කළ යුතු කරුණකි. එය ජනාධිපතිවරයාගේ අපරාධමය වගකීමක් නොවේ.
3. විගණකාධිපතිවරයාගේ භූමිකාව:
ව්‍යවස්ථාවේ 154 වගන්තියට අනුව ජනාධිපති කාර්යාලයේ වියදම් විගණනය කළ යුත්තේ විගණකාධිපතිවරයාය. ජාතික විගණන පනතට අනුව, යම් අසාධාරණ වියදමක් දරා ඇත්නම් ඒ සඳහා 'අධිභාරයක්' (Surcharge) නියම කිරීමේ ක්‍රමවේදයක් පවතී. මේ දක්වා මෙම සංචාරය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කිසිදු විගණන විමසුමක් (Audit Query) මතු කර නැත. එසේ තිබියදී මහේස්ත්‍රාත් අධිකරණයක් හරහා මෙය අපරාධ නඩුවක් ලෙස ගොනු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 සහ 43 (පාර්ලිමේන්තුවට වගකීම) වගන්තිවලට පටහැනි බව පෙනී යයි.
අපරාධමය චේතනාවක් (Mens Rea) නොමැති වීම

නීතියේ මූලික සිද්ධාන්තයක් වන අපරාධමය චේතනාවක් (Mens rea) මෙම සිදුවීම තුළ කිසිසේත්ම දක්නට නොලැබේ. මෙම සංචාරය අතිශය විනිවිදභාවයෙන් යුක්තව, නිල රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවූවකි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ 2023 වාර්ෂික කාර්ය සාධන වාර්තාවේද "ජනාධිපතිතුමාගේ ඉහළ පෙළේ විදෙස් සංචාර" යටතේ මෙම වුල්වර්හැම්ටන් සංචාරය නිල වශයෙන්ම ලේඛනගත කර ඇත.
සමස්තයක් ලෙස ගත් කල, මෙම සිදුවීම තුළින් පෙනී යන්නේ රාජ්‍ය නායකයෙකුගේ රාජ්‍යතාන්ත්‍රික සහ සංක්‍රමණික භාවිතාවන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව, පරිපාලනමය සහ විගණනමය ක්‍රියාවලියක් ඔස්සේ විසඳිය යුතු කරුණක්, වැරදි සහගත ලෙස අපරාධ නීතිය යටතට ගෙන ඒමට දරන උත්සාහයක් බවයි. රටක රාජ්‍ය නායකයෙකුගේ නිල රාජකාරි වලට මෙලෙස අපරාධ නීතිය යොදා ගැනීම, අනාගතයේදී මුළුමහත් ජනාධිපති ධූරයේම (Office of the Presidency) ක්‍රියාකාරීත්වයට බරපතල බලපෑම් එල්ල කළ හැකි පූර්වාදර්ශයක් වනු ඇත.
(සටහන | කෙෂාල් ජයසිංහ )
දේශපාලන වාර්තාකරු
theleader. lk
(කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ (San Francisco State University, California) හි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකු වන කෙෂාල් ජයසිංහ, හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර ගේ සම්බන්ධිකරණ නිලධාරියකු ලෙසත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාලන සමයේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කළ පුළුල් අත්දැකීම් සහිත වෘත්තිකයෙකි.)







