මහජන වියදම් පිළිබඳ තොරතුරු ඉල්ලා සිටීමේ අයිතිය තහවුරු කළ අභියාචනාධිකරණ තීන්දුව
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත බලාත්මක වී මේ වන විට වසර දහයක් සම්පූර්ණ වී තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්රී ලංකාවේ පුරවැසියන්ට හිමි මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ද පිළිගෙන ඇත. ඒ අනුව, පුරවැසියකු ලෙස ඔබට රජයේ ආයතන මඟින් සිදු කරනු ලබන කටයුතු, විශේෂයෙන්ම මහජන මුදල් භාවිත කරමින් ක්රියාත්මක කරන වැඩසටහන්, ව්යාපෘති සහ සේවා පිළිබඳ තොරතුරු දැනගැනීමට සහ ඒ සම්බන්ධයෙන් විමසීමට අයිතියක් ඇත.
මෙම අයිතිය පුරවැසියන්ට වගකීම් සහිත පාලනයක්, විනිවිදභාවයක් සහ මහජන සහභාගීත්වයක් තහවුරු කර ගැනීම සඳහා වැදගත් මෙවලමක් වේ. රාජ්ය හෝ මහජන ආයතනයක් මහජන මුදල් වියදම් කරන විට, එම වියදම පිළිබඳ තොරතුරු දැනගැනීමට පුරවැසියෙකුට ඇති අයිතිය කොතරම් දුරට විහිදෙන්නේද? එම වියදමට පුද්ගලයන් හෝ ආයතන සම්බන්ධ වූ විට, ඔවුන්ගේ පෞද්ගලිකත්වය යන කරුණ ඉදිරිපත් කර එම තොරතුරු ප්රතික්ෂේප කළ හැකිද?
මෙම ප්රශ්න දෙකටම වැදගත් පැහැදිලි කිරීමක් ලබාදෙන තීන්දුවක් ශ්රී ලංකා අභියාචනාධිකරණය 2024 නොවැම්බර් 26 වැනිදා ලබා දී තිබේ. ඒ ඩී. සරත්චන්ද්ර එදිරිව මහජන බැංකුව නඩුව සම්බන්ධයෙන්ය.
මෙම නඩුව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ (RTI Act) 34(1) වගන්තිය යටතේ අභියාචනාධිකරණය ඉදිරියට පැමිණි නඩුවකි. නඩුව විභාග කළ විනිසුරු මඩුල්ලට විනිසුරු ආර්. ගුරුසිංහ සහ විනිසුරු එම්.සී.බී.එස්. මොරායිස් යන විනිසුරුවරුන් ඇතුළත් වූ අතර, තීන්දුව එම්.සී.බී.එස්. මොරායිස් විනිසුරුවරයා විසින් ලියා ඇත. නඩුව විභාගයට ගනු ලැබුවේ 2024 සැප්තැම්බර් 18 වැනිදාය.
තොරතුරු ඉල්ලීමේ පසුබිම
2022 ජූලි 25 වැනිදා අනුරාධපුරයේ පදිංචි ඩී. සරත්චන්ද්ර මහතා මහජන බැංකුව වෙත තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කළේය.
එම ඉල්ලීමේ අරමුණ වූයේ මහජන බැංකුවේ අනුරාධපුර ප්රාදේශීය ශාඛාවේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද 2022 'පොසොන් පොහොය දානමය පිංකම' සහ 'පොසොන් භක්ති ගී' වැඩසටහන සඳහා සිදු කළ වියදම් පිළිබඳ නිශ්චිත තොරතුරු ලබාගැනීමටය. එකී ඉල්ලීම සාමාන්ය “මුළු වියදම කොපමණද?” යන ප්රශ්නයකට සීමා නොවූ අතර වියදම් සම්බන්ධයෙන් අසන විට එහි ප්රමාණය, එක් අයිතමයක මිල, ගෙවූ මුදල, අදාළ පුද්ගලයා, ආයතනය සහ ලිපිනය වැනි තොරතුරු ද ඉල්ලා තිබුණි.
ඒ අතර, බැති ගී වැඩසටහනට අදාළ වේදිකාව, පසුතලය, ශබ්ද විකාශන පද්ධති, ආලෝකකරණය, ජෙනරේටර් යන්ත්ර, සංගීත කණ්ඩායම්, ශබ්දාගාර පහසුකම්, හඬ පටිගත කිරීම සහ නව ගීත සඳහා තනු නිර්මාණය වැනි වියදම් පිළිබඳ තොරතුරු ද ඇතුළත් විය.
මහජන බැංකුව තොරතුරු ප්රතික්ෂේප කිරීම
මහජන බැංකුවේ තොරතුරු නිලධාරියා 2022 අගෝස්තු 9 වැනිදා එම ඉල්ලීම ප්රතික්ෂේප කළේය.
ඒ සඳහා තොරතුරු දැනගැනීමේ පනතේ 5(1)(අ) වගන්තිය යටතේ ඇති තොරතුරු නිදහස් කිරීමේ ප්රතිපාදනය භාවිත කරමින්, ඉල්ලා ඇති තොරතුරු “තෙවන පාර්ශ්වයන්ගේ පෞද්ගලික තොරතුරු” බව බැංකුව පෙන්වා දී ඇත.
ඩී. සරත්චන්ද්ර විසින් එම තීරණයට එරෙහිව තොරතුරු දැනගැනීමේ පනතේ 31 වැනි වගන්තිය යටතේ බැංකුවේ නම් කළ නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබූ මුත් එය ද 2022 සැප්තැම්බර් 19 වැනිදා නම් කළ නිලධාරියා විසින් ප්රතික්ෂේප කර ඇත. ඉන් අනතුරුව ඔහු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත පනතේ 32 වැනි වගන්තිය යටතේ අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
2023 අගෝස්තු 31 වැනිදා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් ඉල්ලා තිබූ සියලුම තොරතුරු නිකුත් කරන ලෙස මහජන බැංකුවට නියෝග කළේය. නමුත් එකී තොරතුරු ලබා නොදී, එම තීරණයට එරෙහිව මහජන බැංකුව අභියාචනාධිකරණය ඉදිරියට ගොස් සිටගත්තේය.
අභියාචනාධිකරණය ඉදිරියේ මහජන බැංකුවේ තර්ක
මහජන බැංකුව විසින් අභියාචනාධිකරණය ඉදිරියේ කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට පටන්ගත් අතර, එහිදී ඔවුන්ගේ ප්රධාන තර්කයක් වූයේ ඉල්ලා ඇති තොරතුරු තෙවන පාර්ශ්වයන්ගේ පෞද්ගලික තොරතුරු වන බැවින්, ඒවා හෙළිදරව් කිරීම තොරතුරු දැනගැනීමේ පනතේ 5(1)(අ) වගන්තියට මෙන්ම ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 14A(2) සහ 28(ඉ) වගන්තිවලට යටත්ව ඔවුන්ගේ අයිතිවාසිකම්වලට බලපාන බවයි.
තවද, පොසොන් වැඩසටහන සඳහා තෙවන පාර්ශ්වයන්ගෙන් ද මූල්ය දායකත්වයන් ලැබී තිබූ බවත්, එම මුදල් බෞද්ධ සංගමය විසින් පවත්වාගෙන ගිය ගිණුමකට බැර කර තිබූ බවත් බැංකුව විසින් කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව, ඉල්ලා තිබූ තොරතුරු මහජන බැංකුව සතුව නොව, එම බෞද්ධ සංගමය සතුව ඇති තොරතුරු ලෙස සැලකිය යුතු බව ද බැංකුව ඉදිරිපත් කළ තර්ක අතර විය.
එකී තර්ක අතරින් තවත් එක් තර්කයක් වූයේ එක් එක් වියදම් අයිතමය සඳහා මහජන බැංකුව විසින් දායක වූ මුදල වෙනම හඳුනාගත නොහැකි බැවින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ නියෝගය ක්රියාත්මක කිරීම ප්රායෝගික නොවන බවය.
අධිකරණයේ මූලික අවධානය: මහජන මුදල්ද?, පෞද්ගලික තොරතුරුද?
මෙම නඩුවේ තීරණාත්මක කරුණ වූයේ ඉල්ලා සිටි තොරතුරුවලට තොරතුරු දැනගැනීමේ පනතේ 5(1)(අ) වගන්තිය අදාළ වන්නේ කෙසේද යන්නයි.
එම වගන්තිය යටතේ, තොරතුරු පෞද්ගලික තොරතුරු වන අතර එය කිසිදු මහජන ක්රියාකාරකමකට හෝ මහජන උනන්දුවකට සම්බන්ධ නොවන අවස්ථාවක, හෝ එය හෙළිදරව් කිරීම මඟින් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට අනවශ්ය මැදිහත්වීමක් සිදුවන අවස්ථාවක තොරතුරු ඉල්ලීම ප්රතික්ෂේප කළ හැකිය. නමුත් පොදු කටයුත්තක් හා බැඳි තොරතුරු ප්රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එකී වගන්තියේ සඳහනක් නොවීය. එහිදී, විශාල මහජන යහපතක් මඟින් එම තොරතුරු හෙළිදරව් කිරීම සාධාරණීකරණය කරන්නේ නම් හෝ අදාළ පුද්ගලයා ලිඛිතව එකඟ වී ඇත්නම් එවැනි තොරතුරු හෙළිදරව් කළ හැකිය.
එහිදී, අධිකරණය ඉල්ලා තිබූ තොරතුරුවල ස්වභාවය විමසා බැලීමෙන් පසු සඳහන් කළේ, මෙම තොරතුරු අදාළ නීතිමය අර්ථයෙන් “පෞද්ගලික තොරතුරු” ලෙස සැලකිය නොහැකි බවයි.
අධිකරණය විසින් දක්වන ලද මූලික නෛතික හේතු දැක්වීම් අනුව, මහජන මුදල් ගනුදෙනු "පෞද්ගලික තොරතුරු" නොවේ
මහජන මුදල් යොදවා සිදුකරන ගනුදෙනුවලදී කොන්ත්රාත්කරුවන්ගේ හෝ සැපයුම්කරුවන්ගේ නම් සහ ගෙවීම් හෙළිදරව් කිරීම තෙවන පාර්ශ්වයන්ගේ පෞද්ගලිකත්වයට අනිසි ලෙස ඇතුළුවීමක් නොවන බව අධිකරණයේ තීන්දුව විය.
අභ්යන්තර සංගම් යනු පොදු අධිකාරියේම කොටසකි
මහජන බැංකුවේ ප්රාදේශීය ශාඛාවේ බෞද්ධ සංගමය යනු වෙනම ස්වාධීන ආයතනයක් නොව ප්රධාන පොදු අධිකාරියේම අභ්යන්තර කොටසක් බවත්, තොරතුරු දැනගැනීමේ පනතේ 3(1) වගන්තිය යටතේ එවැනි සංගමයක් භාරයේ ඇති තොරතුරු ලබා ගැනීමට පුරවැසියන්ට පූර්ණ අයිතිය ඇති බවත් අධිකරණය තීන්දු කළේය.
අධිකරණයේ උපමාව
මහජන මුදල් පිළිබඳ පුරවැසි අයිතිය පැහැදිලි කරමින් විනිසුරු මොරායිස් මහතා ප්රකාශ කළ සුවිශේෂී නෛතික මතය නම්,
"ඉඩමක සෑම සම-අයිතිකරුවෙකුටම එම ඉඩමේ සෑම බිම් අඟලක් කෙරෙහිම අයිතියක් ඇති අතර, මහජන අධිකාරියක් විසින් වියදම් කරනු ලබන ඕනෑම මුදල් ප්රමාණයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුරවැසියෙකු විසින් විමසන විට, එකී තොරතුරු ප්රබල සහ පැහැදිලි හේතූන් මත රඳවා තබා ගැනීමට උපදෙස් ලැබී නොමැති නම්, එය වගකීමට ලක්විය යුතු කරුණක් වන අතර ඒ සඳහා සහය ලබා දිය යුතුය.”
මෙම ප්රකාශය මඟින් මහජන ආයතන විසින් සිදුකරන වියදම් සම්බන්ධයෙන් වගවීම සහ විනිවිදභාවය පිළිබඳ අධිකරණයේ අවධාරණය පැහැදිලි වේ.
මහජන මුදලින් කරන ගෙවීමක් පිළිබඳ සැපයුම්කරුගේ නම පෞද්ගලික තොරතුරක්ද?
අධිකරණයේ වැදගත් නිරීක්ෂණයක් වූයේ, මහජන මුදල්වලින් ගෙවීමක් සිදු කරන පුද්ගලයෙකුගේ හෝ ආයතනයක නම හෙළිදරව් කළ පමණින් එය තෙවන පාර්ශ්වයේ පෞද්ගලිකත්වයට අනවශ්ය මැදිහත්වීමක් නොවන බවය. තවද, අධිකරණය පෙන්වා දුන්නේ එවැනි තොරතුරු මහජන සම්පත් භාවිතය සමඟ සෘජුව සම්බන්ධ වන බවයි. මහජන ආයතන වගවීමේ මූලධර්මය යටතේ ක්රියා කරන බැවින්, ඔවුන්ගේ වියදම් පිළිබඳ විනිවිදභාවය පවත්වා ගැනීම වැදගත් බව ද තීන්දුවේ සඳහන් වේ.
එමෙන්ම, මහජන මුදල්වලින් සිදු කරන ගෙවීම් සම්බන්ධ මූල්ය ගනුදෙනු සාමාන්යයෙන් රහස්ය හෝ හෙළිදරව් කළ නොහැකි තොරතුරු ලෙස වර්ග කළ නොහැකි බව තවදුරටත් අධිකරණය පැහැදිලි කළේය. තවද, මහජන මුදල් විවෘතව සහ වගකීමෙන් කළමනාකරණය කිරීමේ මූලධර්මය සමඟ එවැනි තොරතුරු හෙළිදරව් කිරීම සලකා බැලිය යුතු බව ද අධිකරණය සඳහන් කළේය.
පෞද්ගලිකත්වය වැදගත් නමුත් මහජන වගවීමද වැදගත්
මෙහිදී අධිකරණය විසින් පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමේ අවශ්යතාව ප්රතික්ෂේප කර නොමැත. ඒ වෙනුවට අධිකරණය අවධාරණය කළේ, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අයිතිය සහ මහජන මුදල් භාවිතය පිළිබඳ තොරතුරු ලබාගැනීමට ඇති මහජන අයිතිය අතර සබඳතාව සලකා බැලිය යුතු බවයි.
මෙම නඩුවේ ඉල්ලා තිබූ තොරතුරු මහජන සුබසිද්ධිය සඳහා අදාළ වූ බැවින්, ඒවා හෙළිදරව් කිරීම මඟින් අදාළ තෙවන පාර්ශ්වයන්ගේ පෞද්ගලිකත්වයට හෝ කීර්ති නාමයට හානි වන බව හැඟවෙන කිසිදු කරුණක් අධිකරණයට හමු නොවීය.
බෞද්ධ සංගමය බැංකුවෙන් වෙන් වූ ආයතනයක්ද?
අධිකරණය විසින් අවධානය යොමු කළ නඩුවේ තවත් වැදගත් කරුණක් වූයේ මහජන බැංකුවේ අනුරාධපුර ප්රාදේශීය ශාඛාවේ බෞද්ධ සංගමයේ නීතිමය ස්වභාවය සම්බන්ධයෙනි. මහජන බැංකුව විසින් ඔවුන්ගේ තර්කය ලෙස ඉදිරිපත් කළේ බෞද්ධ සංගමය ස්වාධීන ආයතනයක් බවත්, එහි ගිණුමේ තිබූ තොරතුරු සංගමයේ සන්තකයේ හෝ පාලනය යටතේ තිබූ බවත්ය. එහෙත් අභියාචනාධිකරණය මෙම තර්කය පිළිගත්තේ නැත. අධිකරණය තීරණය කළේ අනුරාධපුර ප්රාදේශීය ශාඛාවේ පිහිටි මහජන බැංකුවේ බෞද්ධ සංගමය අදාළ මහජන ආයතනයේම කොටසක් වන අතර, වෙනම ස්වාධීන ආයතනයක් නොවන බවයි.
එබැවින් තොරතුරු දැනගැනීමේ පනතේ 3(1) වගන්තිය යටතේ මහජන ආයතනයක් සන්තකයේ, භාරයේ හෝ පාලනය යටතේ ඇති තොරතුරු වෙත පුරවැසියන්ට ඇති ප්රවේශ අයිතිය මෙවැනි අභ්යන්තර ආයතනවල තොරතුරු සඳහා ද අදාළ වන බව අධිකරණය පෙන්වා දුන්නේය. එකී තීන්දුව හුදෙක් මහජන අවධානය යොමු විය යුතු කරුණක් බව හැඟේ.
තීන්දුව
නඩුවේ කරුණු සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ තීරණය නැවත නැවතත් තහවුරු කළ අතර, මහජන බැංකුව විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්රතික්ෂේප කරමින්, රුපියල් 100,000ක නඩු ගාස්තුවක් ඩී. සරත්චන්ද්ර හට ගෙවන ලෙස මහජන බැංකුවට නියෝග කළේය.
පුරවැසියාට මෙම තීන්දුව වැදගත් වන්නේ ඇයි?
මෙම නඩුවේ වැදගත්කම රඳා පවතින්නේ පොසොන් වැඩසටහනක් සඳහා වියදම් කළ තොරතුරු ලබාගැනීම මත පමණක් නොවේ. මහජන ආයතනයක් විසින් මහජන සම්පත් භාවිත කරමින් ගෙවීම් සිදුකරන විට, එම ගෙවීම් පිළිබඳ තොරතුරු සම්පූර්ණයෙන්ම “තෙවන පාර්ශ්ව තොරතුරු” යන ලේබලය යටතේ වසන් කළ නොහැකි බවයි.
එමෙන්ම, මහජන ආයතනයක අභ්යන්තර සංගමයක් හෝ අංශයක් හරහා තොරතුරු පවත්වාගෙන යාම තුළින් එම තොරතුරු, තොරතුරු දැනගැනීමේ පනතේ වගකීමෙන් පිටතට ගෙන යා නොහැකි බව ද තීන්දුවෙන් පැහැදිලිය.
ඒ අනුව, මහජන මුදල් භාවිතය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටින පුරවැසියෙකුට, මුදල කොපමණද, එකී මුදල කාට ගෙවූයේද, කුමන කාර්යයක් සඳහා ගෙවූයේද සහ එම වියදම මහජන ආයතනයක කටයුත්තකට සම්බන්ධ වන්නේ කෙසේද යන්න වැනි කරුණු පිළිබඳ වඩාත් පැහැදිලි තොරතුරු ඉල්ලා සිටීමේදී, නීතිමය පදනමක් ඇති බවට මෙම නඩු තීන්දුව උදාහරණයක් වනු ඇත.
මහජන ආයතනයක් වියදම් කරන “ඕනෑම මුදලක්” ප්රබල හේතුවක් මත රඳවා තබා ගැනීමට අවසරයක් නොමැති අවස්ථාවක, මහජන පරීක්ෂාවට එය යටත් විය යුතුය. එය තොරතුරු දැනගැනීමේ අයිතියේ මූලික අරමුණ වන විනිවිදභාවය සහ වගවීම පිළිබඳ වැදගත් අධිකරණ අවධාරණයකි.
හුදෙක් මහජන ආයතන විසින් තොරතුරු මුදාහැරීමට ඇති අකමැත්ත නිසාවෙන් මහජන අධිකාරීන් විසින් තොරතුරු දැනගැනීමේ පනතේ 5(1)(අ) වගන්තිය පෙරටු කර තොරතුරු නොදී ලිස්සා යෑමට බොහෝ සෙයින් උත්සාහ දරනු ඇත. නමුත් පුරවැසියෙකු ලෙස ඉන් ලිස්සා යෑමට නොදී එකී අරමුණ වෙනුවෙන් පෙරදැරිව සිටගැනීම ඔබේ අයිතියක් බව අවබෝධ කර ගත යුතුය.
(සටහන | දිනී ජයසේකර)
මාධ්යවේදිනී
dineshikaudayangi44@gmail.com




