1200 x 80 DMirror
 
 

මීට වසර කිහිපයකට පෙර ධර්මසිරි බණ්ඩාරනායක හමු වූ මොහොතක ඔහු මට මෙසේ ප්‍රකාශ කරන ලදී.
“මට ආසයි චිත්‍රපටයක් කරන්න. ‘හංස විලක්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත හතර දැන් ජීවත් වෙන විදිය පෙන්වන්න. ඒ කියන්නේ, නිශ්ශංක, මිරැන්ඩා, ඩග්ලස්, වසන්ති අවුරුදු 30කට විතර පස්සේ කොහොමද ජීවත් වෙන්නේ කියලා පෙන්වන්න”.
 
ධර්මසිරිගේ සිහිනය පුපුරා හංවැල්ල නගරයේ ලැගුම් හලකින් ‘හංස විලක්’ ප්‍රධාන චරිත දෙක වන නිශ්ශංක සහ මිරැන්ඩා පිළිබඳ පුවතක් වාර්තා වී ඇත. 
 
මේ පුවත මඟින් විද්‍යාමාණ වන්නේ, අතීතයේ සිටි චරිත වර්තමානයේ දී මහලු වීමක් නොව, ‘අතීතය’ අප හිතනවාට වඩා රැඩිකල් ලෙස වෙනස් වී ඇති බවයි. 
 
 Hansavilak
‘හංස විලක්’ චිත්‍රපටයේ දී ලැගුම්හලක් වෙත යන නිශ්ශංක සහ මිරැන්ඩා ආශාවෙන් රති ක්‍රීඩාවට ඇතුළත් වෙති. ‘සුමුදු සයනේ-සිනිඳු ඇතිරිල්ලේ’ ගීතයෙන් ප්‍රකාශ වන්නේ එම රොමැන්ටික ගුණය යි. නමුත් 2021 වර්ෂයේ දී අපට එන පුවතින් හැඟවෙන්නේ, නිශ්ශංක විසින් මිරැන්ඩාගේ ගෙල සිරුරෙන් වෙන් කර කොළඹ අග නගරයට රැගෙන ඒමෙන් අනතුරුව ‘හිස’ අතුරුදහන් වීමයි.[BEYOND THE OEDIPUS COMPLEX]
 
 
 බහුතරයට අමතක වූයේ කුමක්ද?
 
 ‘හංවැල්ල’ සිදුවීම ‘පශ්චාත්-නූතන මාධ්‍ය’ සහ සමාජ ජාලා වාර්තා කරන විට අපූර්ව නරුමත්වයක් හෙළිදරව් විය. බහුතර දෙනා සාකච්ඡා කරන ලද්දේ, කොහොමද මේ තරම් ‘පශ්චාත්-නූතන නිශ්ශංක’ (SI මහතා) හිංසනීය වුනේ කියන එකයි. මේ බහුතරයට අමතක වූයේ කුමක්ද?
 
සමකාලීන සමාජයේ අති බහුතර ස්ත්‍රී-පුරුෂ සබඳතා දැඩි ලෙස හිංසනීය බව කාටත් අමතක විය. 
 
1990ට පසුව ස්ත්‍රිය සිය පුද්ගලික අවකාශය වූ ‘පවුලෙන්’ සමාජ අවකාශයට ඇතුළු වී ඇත. 
 
රජයේ සේවකයන්ගෙන් 65% ක් පමණ දෙනා ස්ත්‍රීන්ය. විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙන් බහුතරයක් ද ස්ත්‍රීන්ය. වෛද්‍ය ශිෂ්‍යයන් අතරින් බහුතරයක් ද ස්ත්‍රීන්ය. අගවිනිසුරු, නීතිපති, උපකුලපති, අගමැති, ජනාධිපති, ආදායම් බදු කොමසාරිස්, අමාත්‍යාංශ ලේකම් වැනි රජයේ ඉහළම තනතුරු වලට ස්ත්‍රීන් පත් වී ඇත.
 
නමුත් පොදු අවකාශය තුළින් හට ගන්නා අතාර්කික හිංසනය පිළිබඳ මනෝවිද්‍යාත්මක නොවන අදහසක් ඔවුනට නොමැත. 
 
සමකාලීන ස්ත්‍රී-පුරුෂ සබඳතා රොමෑන්තික නොවී ඒවා බාරොක් ශෛලියේ අති බිහිසුණු නිශාචර ස්වභාවයක් ගෙන ඇත්තේ මන්ද යන කාරණය විග්‍රහ කිරීමට චින්තකයන්ට පවා නොහැකි වී ඇත.
 
 
ලංකාවේ ත්‍රිවිධ හමුදාවල සහ පොලිසියේ ද සංඛ්‍යාත්මකව විශාල ස්ත්‍රීන් සංඛ්‍යාවක් සේවය කරයි. එම සංස්ථාපිත තුළ ඔවුනට මුහුණ දීමට සිදුවන ලිංගික හිංසනයන් පිළිබඳව කිසිවෙකු කතා කරන්නේ නැත. 
 
සමහර විට, එය යුද්ධය නිසා අප වෙතට එල්ල වූ තහංචියක් විය හැකි ය. 
 

swarna

 
 
මීට අමතරව, ලංකාවේ සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අදාළව ද ඇත්තේ ස්ත්‍රී හිංසනය පමණි. මාධ්‍ය අවකාශයන් තුළ විශේෂයෙන්, පුද්ගලික රූපවාහිනී නාළිකාවලත් ස්ත්‍රීන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය ගැන ද කිසිවෙකු කතා කරන්නේ නැත.
 
 
ජීවත්වීම උදෙසා ඒවා ස්වභාවික දේවල් ලෙස පිළිගන්නට ස්ත්‍රීන්ට සිදු වී ඇත. මීට අමතරව, සමහර NGO වල බාහිර සමාජ පිළිගැනීම සහ විදේශ සංචාර වෙනුවෙන් ස්ත්‍රීන් තම ආත්ම ගෞරවය සිය කැමැත්තෙන් ම විනාශ කර ගනියි.
 
පශ්චාත්-නූතන ගෝලීය ධනවාදී සමාජය යනු, ස්ත්‍රී-පුරුෂ සබඳතා වලට අදාළව ‘ස්වපීඩා-පරපීඩා’ [SADOMASOCHISM: THE DERIVATION OF SEXUAL GRATIFICATION FROM THE INFLICTION OF PHYSICAL PAIN OR HUMILIATION EITHER ON ANOTHER PERSON OR ON ONESELF] මනෝ-ලිංගික එකකි. 
 
හිංසනය නම් සාධකයක් මනෝ-ලිංගික තලයේ නො පැවැතේ නම් සමකාලීන යුගයේ දී ස්ත්‍රී-පුරුෂ සබඳතා යනුවෙන් දෙයක් නො පවතියි. 
 
සමාජ ගැටලුවක් තරමට සංකීර්ණ වී ඇති ස්ත්‍රී-පුරුෂයන් අතර ඇති මනෝ-ලිංගික හිංසනයට පාදක වී ඇත්තේ කුමන සාධකයන් ද යන්න අප විශ්ලේෂණය කළ යුතු ය. 
 
කිසිදු තහනමක් සහ බාධාවක් නැති ඊනියා නිදහස් සමාජයක අපි ජීවත් වන්නෙමු. මේ නිසා ම අනෙකා පිළිබඳ ආශාවක්- DESIRE- හෝ කුතුහලයක් අපට නැත.
 
ආශාව මිය ගිය සමාජයක දී අප අනෙකා වෙතින් හැරෙන්නේ, ෆැන්ටාස්මැතික අනෙකා වෙතට ය. මෙය, ‘සැබෑ අනෙකා’ මඟහැර යාමට අප දරන උත්සාහයකි. අප බොහෝ දෙනෙකු ෆැන්ටසිය වෙතට හැරෙන්නේ, පවතින සමාජ බල රටාව දරාගත නොහැකි මට්ටමේ අතෘප්තියක් අපට එල්ල කරන නිසා ය. 
 
එය අධික ණය බරේ සිට දෛනික බඩු මිල දක්වා පරාසයක විහිදෙයි. 
 
පොදු බව විසින් අපට උරුම කරන අතෘප්තිය වෙනුවට පුද්ගලික තෘප්තියක් උදෙසා අපි ෆැන්ටසිය වෙත හැරෙන්නෙමු. (මෙය මත්පැන්, මත්ද්‍රව්‍ය සිට ඇබ්බැහිකමක් දක්වා දිගු වූ විවිධ ජීවන විලාසිතා, නොනවතින සංචාරක ගමන්, ත්‍රාසජනක ක්‍රීඩා, ශරීරය විසිතුරු කිරීම, පච්ච කෙටීම, ශරීරය පසාරු කිරීම දක්වා දිගු වෙයි.) 
 
පොදු බවට එරෙහි පුද්ගලික ෆැන්ටසිය විසින් අපට අලුත් සදාචාර ධර්මයක් උගන්වයි. 
 
නමුත් පොදු බවින් පළා ගොස් ෆැන්ටසිය විසින් යෝජනා කරන වේදනාකාරී විනෝදය අප තෝරාගත් විට, එමඟින් අපව අන්තරායකාරී ප්‍රදේශයකට තල්ලු කරයි. 
 
උදාහරණයක් ලෙස, විවාහයේ අතෘප්තියෙන් මිදීමට ඔබට විකල්ප සම්බන්ධයක් පටන්ගෙන, ඔබට බිරිද සමඟ කිරීමට ඉඩ නැති අශ්ලීල ආශාවන් ඔබේ විකල්ප පෙම්වතිය සමඟ අත්හදා බැලීමට හැකි ය. නමුත් එවැනි අශ්ලීල ආශාවන් සතපා ගන්නට යන විට, ඔබේ විකල්ප පෙම්වතිය එම දර්ශන ඇගේ ජංගම දුරකථනය මගින් පටිගත කිරීමට හැකි ය. එවිට, අනෙකාගෙන් ගැලවෙන්න තනාගත් රහස්‍ය ෆැන්ටසිය ඔබව බාහිර අනාවරණයට යොමු කරයි. හිංසනය එන්නේ මෙය වැළැක්වීමට යාමෙනි.
 
ඒ අනුව, ෆැන්ටසිය ඔබට රහස් ප්‍රදේශයක් නිර්මාණය කර දෙන අතරම එහි විරුද්ධ අන්තය වන එය හෙළිදරව් කිරීම ද ෆැන්ටසියේම ගුණයකි. 
 
 Harin Malsha
මෙම දෙවැනි මානය මුදල් හරහා ඉහළ පන්තිය වළකයි. හරීන් ප්‍රනාන්දුට බෙල්ල කපන්නට අවශ්‍ය නොවන්නේ මේ නිසා ය. 
 
අප අපගේ සැබෑ අනෙකාගේ (උදා:- බිරිද) සැබෑත්වයෙන් – REALNESS – ගැලවෙන්නට ෆැන්ටසි මානයක වෙනත් විකල්ප ස්ත්‍රියක් තෝරා ගත්ත ද ඇයට ද ‘සැබෑ මානයක්’ ඇති බව ෆැන්ටසිය අපට නිවැරදිව පහදා දෙන්නේ නැත. විටින් විට, අහේතුකව පොදු අවකාශයට අනාවරණය වන්නේ ෆැන්ටාස්මැතික අනෙකාගේ  පුද්ගලික මානය යි.
 
 
2006 වර්ෂයේ දී X කණ්ඩායමේ විමතියකයෙක් ‘යථාර්ථය’ පිළිබඳ අගනා මතක් කිරීමක් ස්ලාවෝජ් ජිජැක් හරහා අපට සිදු කරන ලදී. අපි ඒ උපුටනය කියවමු.
 
“අපගේ සමාජ යථාර්ථයම රඳා පවතින්නේ, සංකේත ප්‍රබන්ධයක් හෝ ෆැන්ටසියක් මඟින් නම්, එවිට චිත්‍රපට කලාවේ (නැතහොත් ලැගුම්හල් කාමරවල අභ්‍යන්තරය ද ඇතුළත්ව) අවසාන ජයග්‍රහණය වන්නේ, ප්‍රබන්ධ කතන්දරය තුළ යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමයි. එනම්, යථාර්ථය වෙනුවට ප්‍රබන්ධයක් (වරදවා) වටහා ගැනීමට අපව පෙළඹවීම නොවේ. ඊට ප්‍රතිපක්ෂව, යථාර්ථයේම ප්‍රබන්ධමය මානය අපට ප්‍රත්‍යක්ෂ කිරීම එනම් යථාර්ථය ප්‍රබන්ධයක් ලෙස අත් විඳීමට සැළැස්වීමයි”.
 
  X විමතිකයා ඉහත උපුටනයට අමතරව ඔහුගේ අතිරික්ත සටහනක්ද පහත පරිදි යොදයි. 
 
“යථාර්ථය පිළිබඳ ඉහත ජිජැක්ගේ ස්ථාවරයට ඉඳුරාම පරස්පරව මතයක් දරමින් ‘මේ මගේ සඳයි’ ඊනියා ප්‍රකෘතියට වඩා සමීප වූ යථාර්ථවාදී එකක් ලෙසින් දීප්ති ගුණරත්න සලකයි. ඔහුට අනුව හදගමගේ කෘතිය ලාංකීය යථ (REAL) සිනමාවට නගා ඇතැයි තර්ක කළේ ය. මෙහිදී, දීප්ති යථාර්ථය සහ යථ (REALITY AND REAL) පිළිබඳ මූලික ලැකාන්ගේ සංකල්ප වැරදි ලෙස තේරුම් කරමින් යථ යනු, යථාර්ථයට වඩා ප්‍රාග්මය පැවැත්මක් (A PRIORY) ලෙස අර්ථකථනය කර ඇත. ලැකාන්ට අනුව යථ සංකේත ප්‍රබන්ධයට පෙර පවතින හෝ ඊනියා ප්‍රකෘති තත්වයක් නොව සංකේතනයේම අසමත්කමයි. ඒ අනුව, යථාර්ථයට වඩා ‘යථ’ නිරූපණය කරන සිනමා කෘතියක් ලෙස ‘මේ මගේ සඳයි’ වර්ගීකරණය කිරීම න්‍යායිකව වැරදිය”.
 
(LLP සඟරාව, 2006-FEB-MARCH- පිටුව 63)
 
 
 
ප්‍රධාන ප්‍රවණතා දෙකක් :
                      
හංවැල්ල ලැගුම් හලෙහි සිදුවීම ගත්කළ අපට ප්‍රධාන ප්‍රවණතා දෙකක් පෙනෙන්නට ඇත. 
 
සිදුවීම පිළිබඳව මාධ්‍ය මගින් සිදු කරන වේශ නිරූපණය හරහා යථාර්ථයේ ප්‍රබන්ධ මානය ප්‍රකාශ වෙයි.[REAL 1] 
 
අනෙක් පසින්, මෙම වසඟකාරී ප්‍රබන්ධමය මානය හරහාම දෙවැනි තලයක ප්‍රබන්ධමය මානයක් හට ගනියි.[REAL 2] 
 
එක පසෙකින්, මාධ්‍ය සහ පොලිසිය සංකේත ප්‍රබන්ධයක් නිපදවයි. නමුත් තව තලයක, විශේෂයෙන් ගොසිප් සහ සමාජ මාධ්‍ය විසින් සිදුවීම අරභයා ෆැන්ටසියේ යටිබඩ නොහොත් අශ්ලීල මානයක් ද ප්‍රබන්ධගත කරයි. 
 
එවිට, ‘යථ’ පිළිබඳ ලැකාන්ගේ අදහස දෙකට පැලී යයි. 
 
මින් අදහස් වන්නේ, ෆැන්ටසියට ‘සැබෑවන්’ දෙකක් ඇති බවයි. එක පැත්තකින්, සමාජයේ කටුක යථාර්ථයෙන් එනම්, ‘සැබෑ-යථ’ අත්හිටුවීමට ප්‍රබන්ධ මානයක් නිර්මාණය වෙයි. අනෙක් පසින්, ෆැන්ටසිය විසින්ම අපට ‘නව-සැබෑවක්’ (REAL 2) සම්මුඛ කරවයි. 
 
මෙම සන්දර්භයට අනුව ‘යථ’ නම් සංකල්පය ද අභ්‍යන්තරයෙන් දෙකට බෙදෙයි. එනම්, ‘සංකේත යථ’ සහ ‘පරිකල්පනීය යථ’ ය. (ඉලිප්සයට කේන්ද්‍ර දෙකක් ඇත)
 
  ‘යථ’ නම් සංකල්පය ප්‍රවාදමය කතන්දරයකට ගොනු කළ විට, එය සංකේතනයේ අසමත්කමයි. නමුත් පරිකල්පන කතන්දරයකට ගොනු කළ විට, එය පරිකල්පනයේ අසමත්කම යි. මිනිස් සිතීම තුළ යථට හිමි මෙම මාන දෙක අතර සමපේක්ෂණ අනන්‍යතාවය අප නොසලකා හරියි. ඒ අනුව, ‘යථ’ අසමත්භාවයක් පමණි. 
 
අප ප්‍රකාශ කරන ලද්දේ, මේ ‘අසමත්කම’ හඳගමගේ ‘මේ මගේ සඳයි’ තුළින් නිරූපණය වූ බවයි. බහුතර කලාකරුවන් උත්සාහ කරන ලද්දේ, ගමෙහි ස්වරූපය කලාවෙන් නිරූපණය කිරීමට ය. නමුත් හඳගම නිරූපණය කළේ, මේ නිරූපණයේ අසමත් බවයි.
 
BLUE VELVET
 
අපි ඩේවිඩ් ලින්ච්ගේ චිත්‍රපට නරඹා ඇත්නම්, ‘හංවැල්ල’ සිදුවීම අපූර්ව වීමට කිසිදු ඉඩක් නැත. ලින්ච්ගේ ‘BLUE VELVET’ නම් චිත්‍රපටයේ ‘ඩොරති වැලන්ස්’ නම් කාන්තාවට අඳුරු කාමරයක් තුළ ඩෙනිස් හෝපර් නම් නළුවා කරන දේවල් මතකයට නඟන්න. 
 
ස්ත්‍රියකට හුදෙකලා අඳුරු කාමරයක හිරිහැර කිරීම පිළිබඳ අර්ථකථන තුනක් ‘මිචෙල් චියොන්’ නම් ප්‍රංශ සිනමා විචාරකයා මෙලෙස ප්‍රබන්ධගත කරයි. (පසුගිය දිනවල දී වසංගතයක් මෙන් පැතිර ගිය මාධ්‍ය වාර්තාවල අඩංගු වූයේ මෙම අන්තර්ගතයන් ය.)
 
    
1. කුඩා දරුවෙකු තම දෙමාපියන්ගේ ලිංගික ජවනිකාවක් අහම්බෙන් දුටු විට එය අර්ථකථනය කර ගැනීමට දරන අසාර්ථක උත්සාහයක් ලෙස හංවැල්ල සිදුවීම කියවීම :
 
කුඩා දරුවෙකු වැඩිහිටියන්ගේ ලිංගික ජවනිකාවක් දුටු විට ඔහු වඩා සංවේදී වන්නේ ශබ්දයට යි. ඔහු උත්සාහ කරන්නේ, මෙම ශබ්දය දෘෂ්‍ය රූපවලට පරිවර්තනය කිරීමට ය. හංවැල්ල සිදුවීමට අදාළව එය කියවීමට වඩා ඇහීමට අප ආශා කරන ලද්දේ ඒ නිසා ය. මේ සඳහා PODCAST විශාල ගණනක් නිර්මාණය විය. ‘සිදුවීම’ කාගේ හෝ කටහඬකින් අසන විට, අපි එය දෘශ්‍ය රූප වලට පරිවර්තනය කොට විනෝද වූයෙමු.
 
 
 
2. අශ්ලීල සහ අශක්නුතාවයෙන් පෙළෙන පියෙකුගේ පර්යාවලෝකනයෙන් හංවැල්ල සිදුවීම කියවීම:
 
හංවැල්ල කාමරය තුළ සිදුවීමේ දී සැබෑ ලිංගික ක්‍රියාවක් නොවූ බව පොලිස් සහ වෛද්‍ය මතය විය. ඉන් අදහස් වන්නේ, BLUE VELVET චිත්‍රපටයේ ෆ්‍රෑන්ක් බූත් චරිතය මෙන් ව්‍යාජව ස්ත්‍රියක් දූෂණය කරන මෙන් රඟ දක්වා දර්ශනය සකස් කිරීමයි. 
 
හයියෙන් කෑ ගැසීම, වේගයෙන් හුස්ම ගැනීම, විකාර ලෙස ස්ත්‍රී ශරීරය මත දැඟලීම ආදී බාහිර ළමා ක්‍රියාකාරකම් පෙන්වීම. SI වරයා මේ මුළු දර්ශනයම නිර්මාණය කළේ, තම පුතුන්ගේ දැක ගැනීමට යැයි සිතන්න! විශාල ශරීරයක් තිබුණත් ඔහු අක්‍රියාකාරී ය. එය වෛද්‍ය විද්‍යා මතය යි. පියාගේ මෙම නො හැකියාව නම් හිස්තැන පිරවීම මාධ්‍ය පුතුන්ට වරයක් ලබා දෙයි. පියාට කොන්දක් නැතැයි උපකල්පනය කරන්නා ෆැන්ටසිය හරහා තඩි පිරිමියෙක් වෙයි.
 
(C) ලංකාවේ බහුතර ස්ත්‍රීන් ජීවත් වන්නේ, හිස්ටෙරික නිද්‍රාවක ය. මෙම හිස්ටෙරික සහ විශාදමය නින්දෙන් ඇයව ඇහැරවීම පුණ්‍ය ක්‍රියාවකි. ඒ සඳහා, දැනුම සහ බලය පාවිච්චි කිරීමට සිදු වෙයි. ඒ අර්ථයෙන් ගත් විට, මෙම හිස්ටෙරික ස්ත්‍රිමය හිංසනය තම විමුක්තිය උදෙසා ෆැන්ටසිකරණය කරයි. 
 
හිමින් අල්ලා ක්‍රම ක්‍රමයෙන් බෙල්ල මිරිකීම, ඇඳ පත්තෙහි හිස හිමි හිමිහිට වැද්දීම, ඇගිලි තුනක් දමා FLUSH කිරීම වැනි ක්‍රියා මඟින් හිස්ටෙරික-විශාදීය ස්ත්‍රිය මෙළොවට ගෙන ආ හැකි යැයි පිරිමින් විශ්වාස කරති. මෙම ක්‍රියාවක් වැරදී ගියහොත් පොලිසිය ලවා සිය දිවි හානිකර ගැනීමට සිදු වෙයි. 
 
ලින්ච්ගේ චිත්‍රපටවල දී අපට එකිනෙකට පරස්පර සුවිශේෂ ෆැන්ටසි ලෝක දෙකක් එකට මසා පෙන්වයි. අප ජීවත් වන සැබෑ ලෝකය තුළ මෙම ෆැන්ටසි ලෝක පවතින්නේ දෙකට බෙදී යා මෙන් ය.
 
 
1.ඉතාමත් විධිමත්ව සහතික කළ ජාතික ආරක්ෂාවට යටත් සාමකාමී, බෞද්ධ, ක්‍රිස්තියානි දෛනික ජීවිතය.
 
 
2.ඉහත සමකාලීන ලෝකය පහත සිට සුරන SI මහතා වර්ගයේ භීතිය ගෙන දෙන පිරිමි ලෝකය. 
 
‘හංවැල්ල කාමරය’ යනු, ඉහත ලෝක දෙකටම අයිති නැති ස්ත්‍රියගේ ආශාව සහ විනෝදය සහතික කරන අවකාශය යි. ගැටලුව වන්නේ, ඇයගේ ආශාව විසඳන්නට කිසිවෙකු ඉදිරිපත් නොවී ඇයගේ ආශාව ෆැන්ටසිකරණය  කරන්නට පමණක් ඉදිරිපත් වීමයි. ඇගේ මෙම ආශාවේ අධිකතර බව වලත්තකමක් ලෙස නිර්වචනය වන අතර පිරිමින්ට එම ආශාව අභියෝගයකි.
 
 ‘හංවැල්ලේ’ ස්ත්‍රිය පුරුෂාධිපත්‍යයට හෝ ඊඩිපස් පවුලට විරුද්ධ නැත. ඇය නුතනවාදී දෛව-ස්ත්‍රියකි. ඇගේ කතාව ඊඩිපස්කරණය කිරීමට බොහෝ දෙනාට හැකි වූයේ ඒ නිසා ය. 
 
නමුත් ‘අනෝමා ජනාදරී’ වැනි රංගන ශිල්පිනියක් පශ්චාත්-නූතන දෛව ස්ත්‍රියකි. ඇය පුරුෂාධිපත්‍යයේ සහ පවුලේ පාදමටම ප්‍රහාර එල්ල කරයි. මේ අර්ථයෙන් ගත් විට, හංවැල්ල සිදුවීම යථාර්ථය තුළ සිදු නොවූ අතර එය අපගේ අවිඥාණක ෆැන්ටසියක් පමණි. එය දැන් අපට අමතකය. 
 
 
DKG(දීප්ති කුමාර ගුණරත්න)
සමාජ හා දේශපාලන විශේලේෂක 
 
 
 
 
 
 
 
 

 

 
 

 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

_

 

subscribeYT

subscribeYT

නවතම පුවත්