The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨා පඹගාලක පැටලිලා: ''මිලිටරි බියවැද්දීම් වලින් පලක් නැහැ'' -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

June 20, 2020 • 4:12 PM

 ගෝඨා පඹගාලක පැටලිලා: ''මිලිටරි බියවැද්දීම් වලින් පලක් නැහැ'' -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහළ නිලධාරීන් කැඳවා ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමේ හා තමන් අසාර්ථක යයි සිතන නිලධාරීන් අවඥාවට ලක් කිරීමේ
  • එමගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රජාතාන්ත්‍රික නොවන නැඹුරුවට ආවඩන පිරිස් අමන්දානන්දයට පත් වනු ඇත.
  • මේ සියල්ල ආර්ථිකය මත ගිනි ඇවිළවීමට හේතු වූ බව ජනාධිපතිවරයා දනියි.
  • මන්ද, දැන් ආර්ථිකයේ සරදියෙල් යුගය හෙවත් ඇති අයගෙන් අරගෙන නැති අයට නිකම් බෙදා දීම තවදුරටත් කරගෙන යා හැකි යුගය අවසන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මිලිටරි උපාය මාර්ගය අනුව යමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් කැඳවා මාධ්‍ය ඉදිරියේ ඔවුන්ට දොස් පැවරුවේ ය. මිලිටරි ක්‍රමය අනුව බලාපොරොත්තු වන්නේ මෙමගින් නිලධාරීන්ගේ අභිමානය බිඳ දමා ඔවුන් අණට කීකරු වන තත්වයට පත් කරගැනීම විය හැකි ය.

රාජ්‍ය නායකත්වය යනු මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම යයි සිතන ලාංකිකයන් විශාල පිරිසක් මේ රටේ සිටින නිසා මෙම සිද්ධිය ගැන පුදුම විය යුතු නැත. එමගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රජාතාන්ත්‍රික නොවන නැඹුරුවට ආවඩන පිරිස් අමන්දානන්දයට පත් වනු ඇත.

එහෙත්, එමගින් කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉහළ යනු ඇද්ද යන්න අපි නොදනිමු. සියල්ල අසාර්ථක වී තිබේ යයි සලකන තැනක ඒ අත්හදා බැලීම කර බලන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලැබී තිබෙන ජනවරම ගැන අපි ප්‍රශ්න කරන්නේ නැත. සරලව කියනවා නම් කරලා පෙන්විය යුතු ය.

 

මෙම තීරණවලට මහ බැංකුව කෙසේ සම්බන්ධ වී ද ?

එහෙත්, මේ ටිකත් මතක් කර දිය යුතු ය. මේ රජය බලයට පැමිණි වහා ම බදු ආදායම් බිඳවැටෙන තීරණ ගන්නා ලදී. ජාත්‍යන්තර සංවර්ධන ආධාරක සංවිධානවල සහාය ප්‍රතික්ෂේප කරමින් රටේ ආයෝජනෙ කරන්නැයි චීනය ප්‍රමුඛ රටවලින් ඉල්ලා සිටියේ ය.

ඉන් පසු කොරෝනා අර්බුදය වෙනුවෙන් සාමාන්‍ය ලොක්ඩවුන් ඉක්මවා ගිය ඇඳිරි නීතියක් පනවා ආර්ථිකය මුළුමනින් ම බිඳ දමන ලදී.

මෙම තීරණවලට මහ බැංකුව කෙසේ සම්බන්ධ වී ද යන්න අප දන්නේ නැත.

එහෙත්, සැමන්, පරිප්පු මිළ ආදිය අඩු කරමින් ආණ්ඩුව උත්සාහ කළේ මහ මැතිවරණයේදී වාසි ලබාගන්නට ය. මේ සියල්ල ආර්ථිකය මත ගිනි ඇවිළවීමට හේතු වූ බව ජනාධිපතිවරයා දනියි.

 

සරදියෙල් යුගය අවසන් :

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්, දේශපාලකයන් හා නිලධාරීන් බලාපොරොත්තු වන අන්දමට මහජනතාවගෙන් බදු අය නොකර, සියල්ල නිකම් දීමට නම්, අප සුරංගනාවක් අල්ලා ගත යුතු ය. මන්ද, දැන් ආර්ථිකයේ සරදියෙල් යුගය හෙවත් ඇති අයගෙන් අරගෙන නැති අයට නිකම් බෙදා දීම තවදුරටත් කරගෙන යා හැකි යුගය අවසන් ය.

මේ වන විට තිබෙන තත්වය වන්නේ, චීනයෙන් ආධාර නොලැබුණොත් හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අලුත් ඉල්ලීමක් නොකළොත් ශ්‍රී ලංකා රජයට ණය ගෙවීම පැහැර හරින්නට සිදු වන තත්වයක් බව කණගාටුවෙන් හෝ අප විසින් අවබෝධ කරගත යුතුව තිබේ.

''මේ වන විට තිබෙන තත්වය වන්නේ, චීනයෙන් ආධාර නොලැබුණොත් හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අලුත් ඉල්ලීමක් නොකළොත් ශ්‍රී ලංකා රජයට ණය ගෙවීම පැහැර හරින්නට සිදු වන තත්වයක් බව කණගාටුවෙන් හෝ අප විසින් අවබෝධ කරගත යුතුව තිබේ.''

ජනාධිපතිගේ ඔබ කැමති ගී ගයනවාට වඩා බරපතල ගැටලු රැසකට ශ්‍රී ලංකා බහ බැංකුව හා එහි නිලධාරීන් මුහුණ දී තිබෙන බව ජනාධිපතිවරයාට අවබෝධයක් නොමැති වීම කණගාටුදායක තත්වයකි.

 

ගැඹුරු අගාධයක් දෙසට ...

අප ගමන් කරමින් සිටින්නේ ගැඹුරු අගාධයක් දෙසට බව නිරූපණය කරන සාධක එමට ය. රුපියල වේගයෙන් පිරිහෙමින් තිබේ. ණය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහත වැටෙමින් තිබේ. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සැලකූ කල ණය මට්ටම 90%කි. රජයේ ආදායම්වලින් 70%ක් ම වැය වන්නේ පොළී ගෙවීමටයි.

මහ බැංකුව රෑ තිස්සේ ලයිට් දමාගෙන සොයා බලමින් සිටිනවා ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග දීර්ඝ කාලීන ගිවිසුමක් මත ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව පිළිබඳවයි.

Centrel Bank

කලින් ලබාගෙන තිබුණු ණය පහසුකම වෙනුවෙන් රජයේ අයවැය පරතරය අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාවට බදු ඉහළ නංවන්නට සිදු වූ අතර, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට ආ වහා එම රාජ්‍ය ආදායම් මාර්ග අහිමි කරගත්තේ ය. නිසි රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියක් නොමැතිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතනවලින් ණය පහසුකම් ලබාගැනීම දුෂ්කර ය.

ශ්‍රී ලංකාව මෙම වසර තුළදී ගෙවීමට තිබෙන විදේශ ණය හා පොළී ප්‍රමණය ඩොලර් බිලියන පහක් පමණ වේ. ඉදිරි ඔක්තෝබරයේදී පමණක් කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් ඩොලර් බිලියනයක් ගෙවිය යුතුව තිබේ. මේ අතර විදේශ සංචිත ප්‍රමාණය ද ඩොලර් බිලියන 7ක පමණ සිට වේගයෙන් ක්ෂය වෙමින් තිබේ.

රජය දැඩි තීරණ ගත යුතු ය. එහෙත්, ඉදිරියෙන් මහ මැතිවරණයක් තිබෙන නිසා ජනාධිපතිවරයා තීරණ ගැනීමට බියක් දක්වයි. එය විකාරයකි. ඔහු ඉදිරියේ අවුරුදු පහක කාලයක් තිබේ.

තුනෙන් දෙකේ බලය වැනි වැඩකට නැති සිහින හඹා යාම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වන කවර හෝ ආණ්ඩුවක් සමග කටයුතු කිරීමට ක්‍රමවේදයක් ඔහු විසින් සකසා ගත යුතුව තිබේ.

ඒකාධිපති බලතල ලබාගත්තා ය කියා ලංකාවේ ආණ්ඩුවට මහ ලොකු සෙල්ලම් දැමිය නොහැකි ය. හේතුව ඇත්තේ ආර්ථිකය තුළ ය. ශ්‍රී ලංකාව ඉදිරියේ තිබෙන ණය අර්බුදය ඉදිරි වසරවලදී තවත් නරක තත්වයට පත් වනු ඇත.

''ඒකාධිපති බලතල ලබාගත්තා ය කියා ලංකාවේ ආණ්ඩුවට මහ ලොකු සෙල්ලම් දැමිය නොහැකි ය. හේතුව ඇත්තේ ආර්ථිකය තුළ ය. ශ්‍රී ලංකාව ඉදිරියේ තිබෙන ණය අර්බුදය ඉදිරි වසරවලදී තවත් නරක තත්වයට පත් වනු ඇත.''

මේ වන විට සංචාරක කර්මාන්තය මේ වන විට මුළුමනින් ම කඩා වැටී තිබේ. ලෝක බැංකු වාර්තා අනුව, එය රටේ ආර්ථිකයෙන් 12%ක් වූ අතර රටේ රැකියාවලින් 11%ක් සැපයුවේ එමගිනි.

මේ වසරේ රජයේ අයවැය පරතරය ඉලක්කම් දෙකකට හෙවත් 10%ට ආසන්න වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

ලංකාව තිබෙන්නේ නිලධාරීන්ට බැණ වැදීමෙන්, ඔවුන් ලජ්ජාවට පත් කිරීමෙන් හා මානසිකව බිඳ වට්ටා අණට කීකරු කරගැනීමෙන් මිලිටරි ස්වරූපයකින් විසඳුම් සොයාගත හැකි ආර්ථික පඹගාලක නොවේ.

(අජිත් පැරකුම් ජයසිංහ - ලංකා පුවත්පතේ පැරාගේ විරාමය කොලම, 2020 ජුනි 20)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...