යුරෝපයේ අනෙකුත් රටවල් දේශපාලනමය වශයෙන් උදාසීන පිළිවෙතක් අනුගමනය කරද්දී, සර්බියාව තුළ වසර දෙකක් පුරා පැවති ප්‍රබල ශිෂ්‍ය ව්‍යාපාරයක් විසින් එරට පැවති දීර්ඝකාලීන පාලනයට එරෙහිව පෙරළිකාර මැතිවරණ ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්ව ඇති බව අල් ජසීරා වාර්තාවක් පෙන්වා දෙයි.
සාම්ප්‍රදායික විපක්ෂ දේශපාලන පක්ෂවලට පවා අත්කර ගැනීමට නොහැකි වූ මෙම සාර්ථකත්වය, සර්බියානු තරුණ පරපුර විසින් ගොඩනඟන ලද විකල්ප දේශපාලන උපායමාර්ගයේ ප්රතිඵලයකි.
බහුජන නැගිටීමට හේතුව
මෙම ශිෂ්‍ය විරෝධතාවල ආසන්නතම හේතුව වූයේ 2024 වසරේදී දුම්රිය ස්ථානයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම වුවද, එහි මූලික පදනම පැවැතියේ ඊට වඩා ගැඹුරු සමාජ-ආර්ථික අර්බුදයකය. පාලකයන්ගේ දූෂණය, දුර්වල කළමනාකරණය සහ විදේශීය බහුජාතික සමාගම් හමුවේ තරුණ පරපුර මුහුණ දුන් ආර්ථික අවිනිශ්චිතතාව මෙම බහුජන නැගීසිටීමට ප්‍රධාන වශයෙන් හේතු විය.

ශිෂ්‍ය ව්‍යාපාරයේ විශේෂත්වය
සර්බියානු ශිෂ්‍ය ව්‍යාපාරයේ විශේෂත්වය වූයේ එය පවතින කිසිදු සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයකට හෝ රුසියාව, චීනය, යුරෝපා සංගමය හෝ ඇමරිකාව වැනි බලවත් විදේශීය බලවේගවලට ගැති නොවීමයි.
දූෂිත පද්ධතියට සම්බන්ධ නොවී තමන්ගේම ස්වාධීන සංවිධානාත්මක පදනමක් ගොඩනඟා ගැනීමට ඔවුන් කටයුතු කළ අතර, විශ්වවිද්‍යාල බලප්‍රදේශ අත්පත් කරගනිමින් විකල්ප පාලන ව්‍යුහයන් පවත්වාගෙන යාමට ඔවුහු සමත් වූහ.
නොවි සාද් හි පිහිටි තාක්ෂණික විද්‍යා පීඨය වැනි ස්ථානවල ශිෂ්‍යයන් විසින් ආරක්ෂක පද්ධති, නොමිලේ ආහාර සහ වෛද්‍ය පහසුකම් සපයන කුටි, සහ පැය ගණනාවක් පුරා පැවැත්වෙන විකල්ප දේශපාලන සාකච්ඡා සංවිධානය කර තිබිණි.
පොලිස් මර්දනය හමුවේ වුවද ශිෂ්‍යයන් පවත්වාගෙන ගිය මෙම ක්රමානුකූල සහ සෘජු ප්රජාතන්ත්රවාදී සංවිධානය හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ පූර්ණ ගෞරවය සහ සහයෝගය ඔවුන් වෙත හිමිවිය.
ශිෂ්‍ය ව්‍යාපාරය මැතිවරණ දේශපාලනයට
මැතිවරණ දේශපාලනයට පිවිසීමේදීද ශිෂ්‍ය ව්‍යාපාරය සම්ප්‍රදායික නායකත්ව ආකෘතීන් ප්‍රතික්ෂේප කරමින් සෘජු ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයක් අනුගමනය කළේය.
නායකයන් කිහිපදෙනෙකුගේ තීරණ වෙනුවට මහජන කමිටු සහ ශිෂ්‍ය සභාවල සාමූහික තීරණ මගින් අපේක්ෂකයන් තෝරාගත් අතර, පවතින දේශපාලනඥයන් පිරිසකට නායකත්වය දීමට ඉඩ නොදීමට ඔවුහු වගබලා ගත්හ.
නව පාලනයක් පිහිටුවීමට සූදානම් වන මෙම ශිෂ්‍ය බලවේගය හමුවේ වසර 14ක අර්බුද විසඳීමට අමතරව සංකීර්ණ භූ-දේශපාලනික අභියෝග රැසක් පවතී.

විශේෂයෙන්ම ගාසා තීරයේ සිදුවන හිංසනයන්ට එරෙහි වීම සහ පෙර පැවති රජය විසින් ඉශ්‍රායලය සමඟ පවත්වාගෙන ගිය දැවැන්ත ආයුධ සහ ඩ්‍රෝන යානා නිෂ්පාදන සබඳතා අත්හිටුවීම වැනි ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේදී විශාල විදේශීය බලපෑම්වලට මුහුණ දීමට සිදුවනු ඇත.
නව දේශපාලනික ආදර්ශයක්
සර්බියානු ශිෂ්‍යයන් අත්කරගත් මෙම ජයග්‍රහණය බෝල්කන් කලාපයට පමණක් නොව, ආර්ථික සහ සමාජයීය අර්බුද හමුවේ නොසන්සුන්තා ඇතිවෙමින් පවතින ප්‍රංශය, ඉතාලිය සහ ජර්මනිය වැනි යුරෝපීය රටවල ශිෂ්‍ය ව්‍යාපාරවලටද වටිනා ආදර්ශයක් සපයයි.
ආර්ථික හා සමාජීය බිඳවැටීම් හමුවේ විකල්ප දේශපාලන මොඩලයක් සාර්ථක කරගත හැක්කේ කෙසේද යන්න සර්බියානු තරුණයන් මුළු යුරෝපයටම පෙන්වා දී තිබේ.
(සටහන | ටිරන් කුමාර බංගගමආරච්චි)




