පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය දැන් උපරිම තැනකට ඇවිත්.



අද පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළිපිට ගහගන්න පටන් අරන්.

ඇත්තටම පොදුජන පෙරමුණ ඇතුළේ ශ්‍රීලනිපය තනි වෙලා. මෛත්‍රීත් තනි වෙලා. අද මෛත්‍රී වෙනුවෙන් වචනයක් කතා කරන්න ඉන්නේ දයාසිරි විතරයි.

ඇත්තටම ශ්‍රීලනිපයට මෙහෙම උනේ ඇයි?මෛත්‍රීට මෙහෙම උනේ ඇයි.

මේක යට තියන දේශපාලන කතාව තමයි රටේ රාළගේ අද මාතෘකාව.

 

ඊට ඉස්සෙල්ලා පොහොට්ටුව ඇතුළේ තියන පක්ෂ එකොලහේ සන්ධානයෙන් අහන්න ඕනි ප්‍රශ්නක් රටේ රාළට තියනවා. ඇත්තටම පොහොට්ටුව ඇතුළේ ඔය වගේ සන්ධානයක් හැදීමේ තේරුම මොකද්ද? විමල් හා ගම්මන්පිල ඊට දෙන උත්තරය තමයි මේ ආණ්ඩුව නිවැරදි පාරේ ගෙනියන්න කියලා. ඒ කියන්නේ ආණ්ඩු පක්ෂය ඇතුළේ ඉදන් විපක්ෂයේ භූමිකාව ඉෂ්ඨ කරන්නලු.

 

ඔය කියන්නේ අර ජානීපෙ න්‍යායාචාර්ය වෛද්‍ය වසන්ත බණ්ඩාර කියන මහෝෂධ භූමිකාව වෙන්න ඕනි. හැබැයි මේ දක්වා එයාලා මේ ආණ්ඩුව හරවපු හරි මඟක් නං නෑ. මහෝෂධ භූමිකාව. බම්බුව තමයි.

රටේ රාළ නං කියන්නේ ඔය මහෝෂධලා නෙවෙයි අරිට්ඨ කිවේන්දුලා. රාජා හෝ මා හෝ ගංගා හෝ තමයි, මේ ආණ්ඩුව කරපු හැම ජනතා විරෝධී වැඩකටම ඔය පක්ෂය එකොළහම අත ඉස්සුවා.

20 ට එයාලා අත් දෙකම ඉස්සුවා, කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දියාවේ අදානිට දෙන්න අත ඉස්සුවා. රටේ වටිනා ඉඩම් ටික සමාගම් කාරයන්ට දෙන්න අත ඉස්සුවා. කළු සල්ලි සුදු කිරීමට අත ඉස්සුවා. යුගදනවි දෙනවට අත උස්සලා ඇවිත් එළියේ බයිලා ගහනවා. ජනතාවට බර පටවන්න අත ඉස්සුවා. එකට හොරකම් කළා. බැසිල්ගේ සහන වෙනුවට අසහන දුන්න අයවැය දෙවෙනි වර කියවීමට අත ඉස්සුවා.

ඔය ටිකනම් ටක්කෙටම කළා. ඒ හැර මෙයාලා කරපු බම්බුවක් තියනවද. තියනවා නම් කියන්න. පිළිගන්න ලෑස්තියි. එහෙනම් මේ ආණ්ඩුව හරි පාරේ ගෙනියන්න ඔය කෙමන ඇටෙව්වා කියන්නේ පට්ට බොරුවක්. ඒක තවත් ඔය හිවල්ලුන්ට අහුවෙන්න ඉන්න හාවුන්ට කියන ලබු කිරිබත් කතාවක්.

ඇත්තටම පක්ෂ එකොලහේ සන්ධානය හැදුව හේතුව රටේ රාළ හරියටම කියන්නම්. ඒක හැදුවේ තම තමන්ට රාජපක්ෂලාගෙන් එල්ල වෙන පීඩනයට මුහුණට දෙන්න. තනි තනිව බැරි නිසා එක්ව මුහුණ දෙන්න. කොටින්ම බැසිල්ට මුහුණ දෙන්න. බැසිල්ගේ බල ඇණියට බයේ හදපු අශුද්ධ සන්ධානයක් ඕක. නැත්තං අශුද්ධ සන්ධානයක් ඇතුළේ ඒක රකින සුද්ධ සන්ධාන තියෙන්න පුළුවන්ද?

විමල් බැසිල් අතර ගැටුම එනකොට විමල්ට ඇවිත් හැංගෙන හදපු බංකරය තමයි ඕක. බැසිල් ගම්මන්පිල ගැටුම එනකොට ගම්මන්පිලට ඇවිත් හැංගෙන්න හදපු බංකරය ඕක. ඔය බංකරයට මුලින්ම හිටියේ පක්ෂ දහයයි. ඊට පස්සේ විමල්ලා දයාසිරිවත් කොටු කරගෙනම ඕක ඇතුළට ගත්තා. දයාසිරි පැමිණීමෙන් විමල්ලාගේ සන්ධනයට ශ්‍රීලනිපයත් එකතු උන බව පෙනුනා.

 

ඇත්තටම ඒ එකතුවීමත් එක්ක ශ්‍රීලනිපය ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය බවට පත් වෙන එක නවත්තන්න බෑ. ඒකට හේතුව ඊයේ රටේ රාළ කිව්වා. ශ්‍රීලනිපය කියන්නේ බලවේගයක්. මීට කලින් එකට හිටපු බලවේගය බෙදාගැනීමේ සටනක් ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර තියනවා.

 

විමල්ලාට බලවේගය නෑ. මනාපයක් පොහොට්ටුවෙන් ගැනීම විතරයි තියෙන්නේ. කොහොම හරි ශ්‍රීලනිපය ඒ සන්ධානයට ඒමේ වාසිය විමල්ලා, ගම්මන්පිලලා උපරිමයෙන් ගත්තා.

අද විමල්ලා පොහොට්ටුවේ ඉළක්ක නෙවෙයි. අද ඉළක්ක ශ්‍රීලනිපය. විමල්ලා ශ්‍රීලනිනයට මුවා වෙලා බංකරයේ හැංගුණා. කොහොම හරි අන්තිමට විමල්ලාගේ බංකරයේ ඉදිරිපෙල ආරක්ෂක වලල්ල උනේ ශ්‍රීලනිපය. දැන් ඉතින් ඉදිරිපෙල ආරක්ෂක වලල්ලට වදිනවා හිටු කියලා. ඒක කඩාගෙන තමයි ඇතුල් එන්න ඕනි.

ඒ එනකොට පලා යන විදිහක් විමල්ලා හදාගෙන ඇති. ගොඩක් වෙලාවට පලා යන්නෙත් නෑ වැදලා යටත් වෙනවා. ඇත්තටම දයාසිරි විමල්ලා ආරක්ෂා කරන්න පෙරට ආවා. ඒක දයාසිරිට තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක වෙන්න ඕනි මෛත්‍රීත් දැනුවත්ව. රටේ රාළ කියන්නේ දයාසිරි ඒක කළේ පට්ට මෝඩ විදිහට. රටේ රාළ ඔය අනතුරු ඇගවීම කළා. ශ්‍රීලනිප යාලුවන්ට මතක ඇති.

දයාසිරිගේ මොන බලාපොරොත්තුවක් තියනවද රටේ රාළ දන්නේ නෑ. හැබයි දයාසිරි කරපු ලොකුම මෝඩ වැඩේ විමල්ලා ඉස්සරහා පොර වෙන්න රාජපක්ෂලාට ගැහපු එක. විශේෂයෙන් බැසිල්ට ගහපු එක. ඇත්තටම වෙන පැත්තක තිබුණ ප්‍රතිවිරෝධය තමන්ට හරවා ගැනීම මෝඩ වැඩක්. එහෙම කළාට කමක් නෑ පොදු සටනක් ඇතුළේ නං. ජනතාව වෙනුවෙන් කරන සටනක් නං ඒත් කමක් නෑ.

රටේ රාළ දන්නවා රාජපක්ෂලා දයාසිරිගේ ප්‍රහාරය ගන්න විදිහ. එයාලා ගත්තේ මේක මෛත්‍රී පිටිපස්සේ ඉදන් මෙහෙයවන කුමන්ත්‍රණයක් විදිහට.

විමල්ලාගේ සෙට් එක ඒකට ශ්‍රීලනිපයේ රෝහණ ලක්ෂ්මන් පියදාසත් උපරිමයෙන් පාවිච්චි කර ගත්තා. ඇත්තටම මහාචාර්යවරයෙක් උනාට එතුමා දේශපාලනයේ නං ළදරුවෙක්.

මෛත්‍රීගේ අනාගත දේශපාලන බලාපොරොත්තුව රටේ රාළ දන්නේ නෑ. හැබයි රටේ රාළ එකක් දන්නවා. මේ වැඩේ පිටිපස්සේ මෛත්‍රී හිටියේ නෑ. මේක පිටිපස්සේ හිටියේ විමල්ලා. මෛත්‍රීට උනේ ඒ උඟුලට දයාසිරි පය තියන එක නවත්තන්න ගන්න බැරිවීම. දයාසිරි ගැන රටේ රාළට වෙනම විග්‍රහයක් තියනවා. ඒත් ඒක කරන්න තවම කිට්ටු වැඩී.

 

අද මෛත්‍රීව වට කරගෙන ආණ්ඩුව ගහනවා. ගහන්නේ උඩ ඉදන්. මෛත්‍රී ගහන්න පටන් ගත්තේ ගෝඨාභය. ඒක තර්ජනයක්. වැඩිය දැගලුවොත් ප්‍රජා අයිතිය අහෝසි කරනවා කියන එකත් කිව්වා. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඇච්චෝ බැඩ්චෝ ගහන්නේ ගෝඨභයට ඇහෙන්න. ඔය ගොඩක් අය යහපාලනය කාලේ ජනාධිපති මෛත්‍රීගේ පිලිකන්නේ හිටපු කට්ටිය.

 

කොහොම උනත් අද මෛත්‍රීට තමන් වෙනුවෙන් කට අරින්න වෙලා. මෛත්‍රී එතෙන්ට ආවේ ගොඩක් ඉවසලා. ඇත්තටම අද මෛත්‍රී වෙනුවෙන් කතා කරන්න සුළු පක්ෂ නායකයෝ කවුරුත් නෑ. විමල්ලා හැංගිලා. කිසි කෙනෙකුට මෛත්‍රී ගහන එක ඇහෙන්නේ නෑ. විමල්ලා දැන් බීරී,ඒ වගේම ගොළුයි. හරි විමල්ලා නං මොකද අද මෛත්‍රී වෙනුවෙන් ශ්‍රීලනිප මන්ත්‍රී කෙනෙක් විදිහට පෙනී ඉන්නේ දයාසිරි විතරයි.

කෝ ශ්‍රීලනිප ජේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, කෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර. එදා ශ්‍රීලනිපය බේරා ගන්න නම් පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න ඕනි කියලා නිමල් සිරිපාල කෑගැහුවා. අද ශ්‍රීලනිප නායකයාට වට කරලා ගහනවා. මොකද නිමල් සිරිපාල කටේ පිට්ටුද නැත්නම් ඩොලර් හිරවෙලාද? මේ තමන්ගේ පක්ෂ නායකයට ගහනකොටවත් එකතු වෙන්නේ නැති ශ්‍රී ලංකා කාරයෝ මොකටද?

මෙතන තමයි මෛත්‍රී වරද්ද ගත්ත තැන. එදා මෛත්‍රී 20 වෙනි සංශෝධනයට තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඡන්දය දෙන්න බෑ කියලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට ජන්දය දීම ප්‍රතික්ෂේප කළා. රටේ රාළ මෛත්‍රීගේ ඒ වැඩේට අත් දෙක උත්සලා එකඟ උනා.

 

ඇත්තටම එතන තමයි තැන. මෛත්‍රීට පටන් ගන්න තිබුණේ එතනින්. හැබැයි මෛත්‍රී හරි නං මෛත්‍රී දක්ෂ වෙන්න ඕනි තමන්ගේ පක්ෂය නිවැරදි මතය වෙනුවෙන් මෙහෙයවන්න. මෛත්‍රී ඒක කළේ නෑ. මෛත්‍රී ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ඒක ඇත්ත. හැබැයි මෛත්‍රී දියාරු ප්‍රජාතන්ත්‍රවාදියෙක්. පක්ෂය ඇතුළේ තියාගන්න ඕනි මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය තියාගන්න මෛත්‍රීට බැරි උනා. එතනින් පස්සේ මේ රටට මේ ආණ්ඩුව විසින් කරපු ජනතා ද්‍රෝහී වැඩවලට විරුද්ධව තමන්ගේ පක්ෂය මෙහෙයවන්න මෛත්‍රීට බැරි උනා. මේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරන තැනට ශ්‍රීලනිපය පත් කරන්න මෛත්‍රීට බැරි උනා.

 

ඇත්තටම අද මෛත්‍රී කට ඇරලා. හැබැයි ඒ තමන්ට එන පීඩනය වෙනුවෙන්. මේ රටේ ජනතාවට පීඩනය එනකොට කට ඇරුණා නම් අද මෛත්‍රී වෙනුවෙන් මේ රටේ කටවල් ගොඩක් ඇරෙනවා. දේශපාලන පැත්තකින් තිබ්බොත් රටේ රාළ දන්න සීමාවේ මෛත්‍රී කියන්නේ බොහොම ගුණ යහපත් මනුස්සයෙක්. රාජපක්ෂලා එක්ක සංසන්දනය කළොත් මෛත්‍රීගේ දේශපාලනය ඊට ගව් ගානක් ඉස්සරහින් තියනවා.

ඒ වගේම මෛත්‍රීට රාජපක්ෂලා ගහන මේ ගැහිල්ල රටේ රාළත් හෙලා දකිනවා. මේකෙන් ඔප්පු වෙනවා රාජපක්ෂලා කියන්නේ තමන්ට කන්ඩ දුන්න අත හපා කන ජාතියක් කියලා. විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය මේ කරන්නේ දෙකයි පනහේ වැඩක්.

ඇත්තටම යහපාලන ආණ්ඩුවෙන් රාජපක්ෂලාගේ දූෂණ කොටු කලා. ඒවයින් බේරෙන්නේ රාජපක්ෂලා ආණ්ඩුවත් එක්ක ඩීල් දැම්මා. විශේෂයෙන් රනිල් එක්ක. විශේෂයෙන් ඒ ආණ්ඩුවේ හිටපු රාජපක්ෂ විරෝධීයෝ ඒක නීතියෙන් ඔබ්බට ගෙනිච්චා. දේශපාලන පලි ගැනීම් දක්වා ගෙනිච්චා. ඒක වලක්වන්න ඉස්සරහට ආවේ මෛත්‍රී.

 

මෛත්‍රී තමයි එදා ගෝඨාභය අත්තඩංගුවට ගන්න හදන එක වැළැක්කුවේ. මතක ඇති යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන්න ආරක්ෂක ලේකම් අත්තඩංගුවට ගන්න හදනවා මම ජනාධිපති විදිහට ඉන්නකං ඒකට ඉඩ දෙන්නේ නෑ කිව්වා. ඇත්තටම ගෝඨාභය බේරුණේ මෛත්‍රී නිසා. නැත්තං එදා ගෝඨාභයත් ඇතුළේ කූරු ගන්න කරනවා.

 

ඇත්තටම මෛත්‍රී ඒ වෙලාවේ ලොකු බැලන්ස් එකක් හැදුවා. මොකද ගෝඨාභය සම්බන්ධව ඒ වනවිට රටේ හොද මහජන මතයක් තිබුණා. හැබැයි මෛත්‍රී සැළකුවේ ඒක නෙවෙයි. මෛත්‍රී සැලකුවේ ගෝඨාභය යුද්ධ අවසන් කිරීම කරපු කාර්ය භාරය.

විමල් ඇතුළේ ඉන්නකොට දවසක් රටේ රාළ මෛත්‍රී හම්බ උනා. ඒවා ලස්සන කතා. මෛත්‍රීගේ අනුමැතිය නැතිව ඒවා කියන එක සදාචාරාත්මක නෑ. ඒ හමුවීම ඔප්පු කරන්න සාක්ෂි දෙකක් තියනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක හා නීතිඥ කපිල ගමේත් රටේ රාළ එක්ක ගියා.

මෛත්‍රී මේ අත්තඩංගුවට ගැනීම් ගැන හිටිය ස්ථාවර ගැන හරියට කියන්න ඕනි. නැත්තං ඒක දේශපාලන වරදක්. මෛත්‍රී කිව්වේ ඔය මිනිස්සුන්ට වද දෙන්න එපා අධිකරණයට ගෙනිහින් ඒ හරහා ඕනි දඩුවමක් දෙන්න කියලා.

ඇත්තටම අද මෛත්‍රීට ගහන හැම කෙනාටම මෛත්‍රී උදව් කළා. ඔච්චර ගහපු විමල්ටත් මෛත්‍රී උදව් කළා. ඒවට ඉතින් හොදම සාක්ෂිය රටේ රාළ තමයි. උදව් අරගෙන ඇවිත් විමල් මෛත්‍රීට ගැහුවා. මෛත්‍රී වෛරී දේශපාලන කළේ නෑ.

 

හැබැයි එදා එහෙම උදව් කරපු මෛත්‍රීට අද ගෝඨාභය අධිකරණයට පිටින් ගිහින් ප්‍රජා අයිතිය අහෝසි කරන්න බව කියනවා. ඇත්තටම ගෝඨාභය කරන්න ඕනි ඒක නෙවෙයි. තමන්ගේ දේශපාලනය මතයට විරුද්ධ වෙනකොට ඒ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා කියලා කෑගහන එක නෙවෙයි. ඇත්තටම ඕවා බයියන්ට ගහපු මල් වෙඩි විතරයි. ඕවත් ඉතින් අර රිවෙස් ගැසට් වලට වැටෙන කතා.

 

රටේ රාළ කියන්නේ පාස්කු ප්‍රහාරය දැනගෙන මෛත්‍රී විසින් ඒක වලක්වා ගත්තේ නැත්තං ඒකට දඩුවම් දෙන්න ඕනි අධිකරණය හරහා. එහෙම නැතිව ගොඨාභයවත් ඒ වෙනුවෙන් අත් උස්සන තිස්ස කුට්ට්ලාවත් නෙවෙයි.

හැබැයි තවමත් රටේ රාළ දන්න එකක් තියනවා ඔය බෝම්බ තිබ්බේ මෛත්‍රී නෙවෙයි. මරාගෙන මැරෙන මිනිස් බෝම්බ මෙහෙව්වෙත් මෛත්‍රීත් නෙවෙයි. ඒක කරපු එකාවත් අල්ලන්න. ඒක අනාගතයට ඉඩ තියන්න එපා.

ඇත්තටම අවසාන වශයෙන් රටේ රාළට කියන්න තියෙන්නේ මෛත්‍රීටත් මේවා හොද පාඩම් කියලා විතරයි.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)

 


 

THE  LEADER  TV



සෑර් ගිනස් පොතට ! | මොණරවිලගේ ලියමන

 



සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්