සිරගෙයි සිටියදී ලාභදායී ගිවිසුම්වලට අත්සන් කිරීමෙන් පසුව තමා සිරගෙදරින් නික්ම ගියේ ඩොලර් මිලියන 375ක් වැඩියෙන් පොහොසත් වෙමින් බව ටයිසන් පවසනවා.
කාන්තාවක ලිංගික අපයෝජනය කිරීමේ වරදට 1992 වසරේදී බන්ධනාගාරගත කෙරුනු ටයිසන් ඉන්ඩියානා තරුණ මධ්‍යස්ථානයේ වසර තුනක සිරදඬුවමක් වින්දා. සිරගෙදරින් පිටව වසරක් ගතවීමෙන් පසුව ටයිසන් ලෝක හෙවිවේට් ශූරයා බවට පත්වූයේ බොක්සිං තරග ප්‍රවර්ධක ඩොන් කිං ට ස්තූතිවන්ත වන්නට.

ටයිසන් සිරකූඩුවේ සිටියදී පවා ‘යකඩ මයික්’ව යළි ධනවත් පුද්ගලයෙක් බවට පත් කළේ පුරාවෘත්තයක් මෙන්ම මතභේදාත්මක බොක්සිං ප්‍රවර්ධකයෙකු වන කිං. “මම හිරේට යද්දී මම ළඟ තිබුනේ ඩොලර් මිලියන 15යි (පවුම් මිලියන 11.5). නමුත් මම එළියට එද්දී මා ළඟ ඩොලර් මිලියන හාරසියක් විතර තිබුනා. මම හිරගෙදරදී කොන්ත්‍රාත්වලට අත්සන් කළා” යනුවෙන් ටයිසන් පවසනවා.

සිරදඬුවම නිමාවී ආපසු පැමිණීමේදී ටයිසන් 1995 වසරේදී තරග දෙකකට සහභාගි වුනා. ඊට වසරකට පසුව ලෝක බොක්සිං කවුන්සලයේ හෙවිවේට් කිරුළ වෙනුවෙන් ඔහු ෆ්‍රෑන්ක් බෲනො පරාජය කළා. එහෙත් 2003 වසර වන විට එවාන්ඩ හොලිෆීල්ඩ් හා ලෙනොක්ස් ලුවිස් හමුවේ ලත් පරාජයන්ගෙන් පසුව ටයිසන් ඩොලර් මිලියන 250ක් වියදම් කර තමා බංකොලොත් බවට නිවේදනය කළා.
අනතුරුව බ්‍රිතාන්‍යයේ ඩැනී විලියම්ස් හා කෙවින් මැක්බ්‍රයිඩ් ට පිට පිට පරාජය වීමෙන් පසුව ටයිසන්ගේ ක්‍රීඩා දිවිය අවසන් වුනා.

ටයිසන් පසු කලෙක ඔහුගේ විශ්‍රාම දිවියේදී නැවත ධනය රැස් කළේ ඔහුගේ ගංජා රාජධානියේ උපකාරයෙන්. දැන්, වසර 20කට පසුව නැවත වතාවක් බොක්සිං වළල්ලට පිවිසෙමින් ජේක් පෝල් (Jake Paul) සමග කරන සටනින් ටයිසන්ගේ ශූද්ධ වටිනාකම තවත් ඩොලර් මිලියන 40කින් ඉහළ යාමට නියමිතයි.

‘යූටියුබ’ කෙනෙකුව සිට බොක්සිං ක්‍රීඩකයෙකු බවට පත්වූ ජේක් පෝල් සමග නොවැම්බර් 15 වැනිදාට යෙදී තිබෙන ටයිසන්ගේ සටන මතභේදාත්මක තරගයක් බවට පත්ව තිබෙනවා. ඒ, දෙදෙනා අතර තිබෙන වයස් පරතරය නිසා.
මයික් ටයිසන්ගේ වයස අවුරුදු 58ක් වන අතර ජේක් පෝල්ගේ වයස අවුරුදු 27 යි.
“මම සටන්කරුවෙක්. මට මේක කරන්න පුළුවන්. මේ මිනිහව පරද්දන්න පුළුවන් කියලා මට දැනෙනවා” යනුවෙන් ටයිසන් ප්‍රකාශ කරනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



