ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තේරීපත්වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලය

තෝරාගත් නිලවරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා  ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (20) අවසර ලබාදුන්නේය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමාර් ගොනුකළ රිට් පෙත්සමක් අද (20) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දෙවන දිනටත් සලකාබැලීය.

ඉන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය.

කෙසේ වෙතත් නව නිලධාරි මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ අතුරු නියෝග කිසිවක් අධිකරණය විසින් අද නිකුත් කිරීමක් සිදු නොවිණි.

ඉන් අනතුරුව මෙම නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 03 වනදා ගොනුකරන ලෙස වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් පෙබරවාරි මස 10 වනදා ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 21 වනදා සිදුකරන බව විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ඉකුත් 14 වනදා පැවැති අතර එහි සභාපති තනතුරට තරඟ කිරීම සඳහා තමන් නාමයෝජනා බාරදුන් බවත් නාමයෝජනා කමිටුව එය පිළිගත් බවත් පෙත්සම්කරු කියා සිටියේය.

පසුව තමන්ට සුදුසුකම් නැති බව පවසමින් එම තනතුරට තරඟවැදීමට බලධාරීන් තමන්ට අවස්ථාව නොදුන් බව පෙත්සම්කරු චෝදනා කළේය.

අනතුරුව විරුද්ධ පාර්ශ්වයෙන් ඉදිරිපත්වූ වගඋත්තරකාර ජේ. ශ්‍රී රංගා වැඩි ජන්ද 03කින් එම සම්මේලනයේ සභාපති ලෙස තේරීපත්වූ බව පෙත්සම්කරු කියා සිටියේය.

මේ තුළින් තමාට දැඩි අසාධාරණයක් සිදුවු බව පෙත්සම්කරු කියා සිටියේය.

එබැවින් එම නිලවරණයේ ප්‍රතිඵල අවලංගු කර අලුතින් නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝගයක් දෙන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.


සබැඳි පුවත් :

අලුත් පාපන්දු සම්මේලන නිලධාරින්ට එරෙහිව පෙනල්ටියක් !

ගෝලිව ඉවත් කර ගෝල් ගැසූ පාපන්දු නිලවරණය! 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්