ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් යුතුව අඛණ්ඩව 16 වැනි වසරටත් ජාතික කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය සඳහා අනුග්‍රහය දක්වන්නේ ප්‍රීමා සමාගමේ ‘ප්‍රීමා සන්රයිස්’ සන්නාමය.
මෙවර තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ගෙන් සියයට 50ක් පිට පළාත්වලින් වන අතර අනෙක් සියයට 50 බස්නාහිර පළාතෙන්. ජාතික මට්ටමේ ක්‍රීඩකයන් ද මේ තරගාවලියට සහභාගි වනවා. ක්‍රීඩකයන් සඳහා පුහුණු තරග දෙසැම්බර් 9 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
වයස අවුරුදු 15-18 බාලක බාලිකා රන් විවෘත, අවුරුදු 13-14 බාලක බාලිකා රිදී, අවුරුදු 11-12 බාලක බාලිකා ලෝකඩ හා අවුරුදු 10 සහ අවුරුදු 10න් පහළ බාලක බාලිකා තඹ යන වයස් ඛාණ්ඩවලිනුයි තරග පැවැත්වෙන්නේ.

විවෘත කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ ජාතික ශූරතා දිනා ගන්නා බාලක බාලිකාවන්ට ජාත්‍යන්තර කණිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකා වර්ගීකරණය ලෙස ජනප්‍රිය World Amateur Golf Rankings (WAGR) වෙත ඇතුළත් වීමේ අවස්ථාව හිමිවනවා.
ශ්‍රී ලංකා ගොල්ෆ් ක්ෂේත්‍රයේ දිලෙන යෞවන ක්‍රීඩා තරු අතර කැපී පෙනෙන ජෙවාහ්න් සතාසිවම්, රොෂාන් අල්ගම, කායා දළුවත්ත, ආදිත්‍ය වීරසිංහ, සිතාරා ලෝරන්ස්, අනුමි කරුණාතිලක, ජේකබ් නෝටන්, ලවිඳු ප්‍රේමරත්න, රෙවාන් අමරසිංහ, තේජස් රතිස් කාන්ත් සහ සෙනාල් නිම්සිත් වැන්නවුන්ගේ දස්කම් හරහා ප්‍රදර්ශනය වන්නේ ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් වසර 16ක් තිස්සේ ප්‍රීමා දැක්වූ අමිල දායකත්වයේ නිහඬ ප්‍රතිඵල බව ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති රනිල් පීරිස් මහතා පවසනවා.
ඒ මහතා මේ අදහස් දැක්වූයේ ‘ප්‍රීමා සන්රයිස්’ අනුග්‍රාහකත්වය පිරිනැමීම නිමිත්තෙන් කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ පැවති මාධ්‍ය හමුවේදී.
වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩක මිතුන් පෙරේරා වැනි ආසියානු ශූරයින් බිහිවූයේ මේ ජාතික කණිෂ්ඨ විවෘත ගොල්ෆ් පදනමෙන් බව කියා සිටි ගොල්ෆ් සභාපතිවරයා, මේ දිනවල සමස්ත ඉන්දියා ගොල්ෆ් තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා බිහිවූයේ ද මේ තරග බිමෙන් බව පෙන්වා දුන්නා.
ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ සාමාන්‍යාධිකාරී ඇන්ඩි විරවන්, එම සමූහයේ සිලෝන් ඇග්‍රො ආයතනයේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න යන මහත්වරු සහ ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ කණිෂ්ඨ අනුකමිටුවේ සභාපතිනි නිලෝ ජයතිලක මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



