පසුගියදා අවසන් වූ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉහළට පැමිණීමට සමත්ව තිබේ.



තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල විය.

තරගාවලියේ තීරණාත්මක අවසන් තරගයේදී, චමරි අතපත්තු සිය පිත්තෙන් වේගවත් ලකුණු 64ක් රැස් කළ අතර පන්දු යැවීමේදී එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්විය.

ඇගේ මෙම දක්ෂතාවය හේතුවෙන් ඊයේ දිනයේදී (මැයි 9) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම කාන්තා එක්දින තරග ශ්‍රේණිගත කිරීම් අනුව චමරි අතපත්තු ඉහළට පැමිණ තිබේ.

chmari 2

නවතම ICC ශ්‍රේණිගත කිරීම් අනුව චමරිට හිමිවූ තැන

කාන්තා එක්දින පිතිකාරිණියන්ගේ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව චමරි අතපත්තු හත්වන ස්ථානයට පත්ව ඇත. ඇය මීට පෙර පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 08 වන ස්ථානයේ පසුවිණි.

එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව චමරි අතපත්තු 64 වන ස්ථානයේ සිට ස්ථාන හයක් ඉදිරියට එමින් 58 වන ස්ථානය දක්වා පැමිණ සිටියි.
එමෙන්ම ඇය එක්දින තරගවල තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 16 වන ස්ථානයේ සිට 13 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

කවු ද මේ චමරි අතපත්තු ?

අතපත්තු මුදියන්සේලාගේ චමරි ජයංගනී කුමාරි අතපත්තු උපත ලබන්නේ 1990 වර්ෂයේ පෙබරවාරි මස 09 වෙනිදායි. ඇයගේ උපන් ගම ඉබ්බාගමුවේ ගොකරැල්ල ප්‍රදේශයයි.

වමත් පිතිකාරිණියක් වන චමරි, දකුණත් දඟ පන්දු යවන්නියක් ලෙසත් තුන් ඉරියව් දස්කම් වලින් හෙබි දක්ෂ ක්‍රීඩිකාවක් වේ.

ඇය පළමු වරට 2010 වර්ෂයේ අප්‍රේල් මස 10 වෙනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ක්‍රීඩා කීරීමට අවස්ථාව උදා කර ගත්තාය.

මේ දක්වා එක්දින තරග 92 කට ක්‍රීඩා කර ඇති චමරි අතපත්තු එහිදී ලකුණු 2,951ක් රැස් කිරීමට සමත්ව තිබේ. එහි සාමාන්‍ය 43.42ක් වන අතර ඇය ශතක 6ක් සහ අර්ධ ශතක 15ක් රැස් කර ගෙන තිබීම ද විශේෂත්වයකි.

චමරි එක්දින ක්‍රිකට් තරගවලදී රැස් කරගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට එරෙහිව 2017 වර්ෂයේදී නොදැවී රැස් කළ ලකුණු 178යි.

එම ලකුණු සංඛ්‍යාව කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ පිතිකාරිණියක් විසින් ඉනිමක දී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර සිව්වෙනි ස්ථානයට හිමිකම් කියනු ලැබේ.

එමෙන්ම ඇය 20 යි 20 තරග 111 කට ක්‍රීඩා කර ඇති අතර ඉනිම් 109 කදී රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2,337කි. එහි සාමාන්‍ය 21.84ක් වේ.

20 යි 20 තරගවලදී ශතකයක් සහ අර්ධ ශතක හයක් රැස් කිරිමට චමරි අතපත්තු සමත්ව ඇත.

පන්දු යැවීමේදී චමරි අතපත්තු එක්දින තරග වලදී කඩුලු 28ක් සහ 20 යි 20 තරගවලදී කඩුලු 34ක් දවා ගැනීමට සමත්ව ඇත.

ජාත්‍යන්තරය දිනු පළමු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව

chamari 1

ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ලීග් තරග නියෝජනය කළ පළමු ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු ඉතිහාසයට එක් වෙයි.

2017 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වූ කාන්තා බිග්බෑෂ් තරගාවලියේ දී චමරි, මෙල්බර්න් රිබෙල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සමත් විය.

එම තරගාවලියෙන් පසුව ඇය අවස්ථා රැසකදී ජාත්‍යන්තර ක්‍රිකට් ලීග් තරගාවලි රැසක් නියෝජනය කිරීමට සමත් විය.

එමෙන්ම එම වසරේදී චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළලේදී වසරේ ක්‍රීඩිකාව ලෙසත්, එක්දින සහ 20 යි 20 අංශ දෙකේම හොදම පිතිකාරිණිය ලෙසත් සම්මාන හිමිකර ගැනීමට සමත් විය.

(BBC සිංහල සේවය)


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image