ඔහු විසින් මකා දමනු ලැබුවේ ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL) මංගල තරගාවලියක වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව.
පන්ජාබ් කිංග්ස් ෆ්‍රැන්චයිසිය තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ඔස්ට්‍රේලියානු තරුණ ක්‍රීඩකයාව IPL 2026 වෙන්දේසියේදී මිලදී ගත්තේ රුපියල් කෝටි තුනකට. පර්ත් නගරයෙන් එන මේ 22 හැවිරිදි වමත් පිතිකරුවා ඔහුගේ පළමු IPL ක්‍රීඩා වාරයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් මේ දක්වා සියලු තරග 13 ට ම ක්‍රීඩා කර තිබෙනවා. IPL 2026 තරගාවලියේ ඉනිම 12කදී කොනලි ලකුණු 473ක් රැස් කර තිබෙන්නේ හයේ පහර 32ක් සහ හතරේ පහර 39ක් සමග. හයේ පහර 32ක එකතුව කොනලි ට IPL මංගල ක්‍රීඩා වාරයක වැඩිම හයේ පහර සංඛ්‍යාවේ සනත් ජයසූරියගේ අවුරුදු 18ක් පැරණි වාර්තාව බිඳ දැමීමට උපකාරී වී තිබෙනවා.
එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම ආක්‍රමණශීලී ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකෙන සනත් ජයසූරිය, 2008 වසරේදී ප්‍රථම වතාවට පැවති ඉන්දියා ප්‍රිමිය ලීග් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ තරග 14දී හයේ පහර 31ක් වාර්තා කළා.
තමන්ගේ මංගල IPL ක්‍රීඩා වාරයේදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ කූපර් කොනලි හා සනත් ජයසූුරිය ට පිටුපසින් ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් හා ෆින් ඇලන් සිටිනවා. ෆ්‍රේසර්-මැක්ගර්ක් දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් හයේ පහර 28ක් 2024 වසරේදී සටහන් කර තිබියදී, ඇලන් දැන් පැවැත්වෙන 2026 තරගාවලියේ මේ දක්වා කොල්කටා නයිට් රයිඩර්ස් වෙනුවෙන් හයේ පහර 27ක් එල්ල කර තිබෙනවා.
IPL ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ ළාබාලතම විදෙස් පිතිකරුවා වන්නේ ද කොනලි.
ඉන්දියා ප්‍රිමිය ලීගයේ එක් තරගාවලියකදී වැඩිම හයේ පහර එල්ල කිරීමේ වාර්තාව උසුලන්නේ බටහිර ඉන්දීය කොදෙව් හිටපු පිතිකරු ක්‍රිස් ගේල්. 2012 ක්‍රීඩා වාරයේදී රෝයල් චැලෙන්ජර්ස් බෙංගලුරු කණ්ඩායම වෙනුවෙන් තරග 15කට ක්‍රීඩා කළ ඔහු එහිදී හයේ පහර 59ක් සටහන් කළා. ඔහුට පිටුපසින් සිටින්නේ ද තවත් කොදෙව් පිතිකරුවෙකු වන ඇන්ඩ්‍රි රසල්. 2019 තරගාවලියේදී ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් පිල වෙනුවෙන් තරග 14කට ක්‍රීඩා කරමින් හයේ පහර 52ක් වාර්තා කළා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




