ආසියානු ක්‍රිකට් කුසලානය ආරම්භවීමට තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණි.



මේ වන විට තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය හා ඇෆ්ඝනිස්ථානය ඔවුන්ගේ සංචිතයන් නම් කර තිබුණ ද, ශ්‍රී ලංකා සංචිතය මේ දක්වා නම්කර නොතිබීම සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීහු විමතියට පත්ව සිටිති.


ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කරන්නේ කවදා ද?

ආසියානු කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම්කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති බවට, එම ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු බීබීසි සිංහල සේවය වෙත තහවුරු කළේ ය.

ඒ සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය සිදුකළ විමසීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනනයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න රොද්‍රිගෝ පැවසුවේ, ආසියානු කුසලානය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකොට ඇති බවත්, එම අනුමැතිය ලද වහාම නිල නිවේදනය නිකුත් කරනු ලබන බවත් ය.

Asia Cup

ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධයන්ට ගොදුරුවෙයි

ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කිරීමේ ප්‍රමාදයට මූලික හේතුව වී ඇත්තේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධයන්ට ලක්වීම බව ද මේ අතර වාර්තා වෙයි.

පසුගිය දා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග, වේග පන්දු ක්‍රීඩකයින්වන දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර ආබාධයන්ට ලක්විය.

මෙම ක්‍රීඩකයින් තිදෙනාම මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කිරීමට සිටි ක්‍රීඩකයින් වේ.

එසේම වමත් වේග පන්දු ක්‍රීඩක දිල්ශාන් මධුෂංක ද ආබාධයකට ලක්ව ඇති අතර, ආසියානු කුසලානය සහ ලෝක කුසලාන තරගාවලි දෙක ආරම්භවීමට ආසන්නව තිබියදී ක්‍රීඩකයින් මෙලෙස ආබාධයන්ට ගොදුරුවීම ශ්‍රී ලංකා පිළට ප්‍රබල ගැටලුවක් වී තිබේ.


ක්‍රීඩකයින් ආබාධයන්ට ගොදුරුවූයේ ඇයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා බීබීසි සිංහල සේවයට පැවසුවේ, දැනට ආබාධවලට ලක්ව සිටින වේග පන්දු ක්‍රීඩකයින් තිදෙනාට මෙවර ආසියානු කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි වනු ඇති බව ය.

දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංගගේ පාදයේ ඇතිවී තිබෙන මස්පිඬු ආබාධය සුව අතට හැරීමට සති තුනක පමණ කාලයක් ගතවනු ඇති බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

"වනිඳුට සම්පූර්ණ සුව වෙන්න සති තුනක කාලයක් ගතවෙයි. ඔහුට ආසියානු කුසලානයේ අවසන් භාගය වෙද්දී ක්‍රීඩා කරන්න පුළුවන් ද කියලා බලන්න වෙන්නේ ෆිට්නස් ටෙස්ට් එකක් සිදුකරලා බලලයි. නමුත් වර්ල්ඩ්කප් එක ළඟ තියාගෙන එහෙම රිස්ක් එකක් ගන්න සූදානම් නැහැ," මහාචාර්යවරයා පැවසීය.

මේ අතර, ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මේ ආකාරයෙන් ආබාධයන්ට ලක්වීමට හේතුව වූයේ ළඟ ළඟ ක්‍රීඩා තරග වැඩි වශයෙන් ක්‍රීඩා කිරීම නිසාදැ යි අපි මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙන් විමසීමු.

එය ද හේතුවක් වන්නට ඇති බව මහාචාර්යවරයා පැවසුවේ ය.

"මට හිතෙන්නේ ඒක වෙන්න ඕන. අපි ඇනලයිසිස් කරලා තියෙන්නේ බොහෝ දුරට ඒක වෙන්න ඕන. මොකද අපි LPL ක්‍රීඩා කළා මේ ළඟ දි, ඒක නිසා වෙන්න ඕන. මොකද වෙන හේතුවක් නැහැ."

"කට්ටියගේ ෆිට්නස් ලෙවල් එකත් තිබුණට වඩා දැන් හොඳ යි. අපිට ඒක තව උඩට ගන්න පුළුවන්. ඉතින් ක්‍රිකට් වැඩිපුර ගහපු නිසා තමයි මේක වෙන්න ඇත්තේ. මොකද එක ළඟ මැචස් තිබුණ නිසා තමයි ඉන්ජරිස් වැඩි," මහාචාර්යවරයා පැවසීය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකයින් කවුද?

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළඹෙන ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය දරන සමාගම ඊයේ (අගෝ 27) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය දරන්නේ 1XBET නම් සමාගම යි. 1XBET සමාගම ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා තරග සඳහා අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු තබන සමාගමකි.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විවාදයේ දී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ, පසුගිය දා අවසන් වූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී ක්‍රිප්ටෝකරන්සි ඇතුළු ඔට්ටු තැබීමේ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව ය.

zdfwer543


කුසලානයේ නිල අනුග්‍රාහකත්වය B-Love කැන්ඩි කණ්ඩායමේ හිමිකරුට


මේ අතර මෙවර ආසියානු කුසලානයේ නිල අනුග්‍රාහකත්වය දරන සමාගම ලෙස, පසුගිය දා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායම වූ B-Love කැන්ඩි කණ්ඩායමේ හිමිකරුට අයත් සමාගමක් පත්ව ඇත.

ඒ අනුව ඕමාර් ඛන්නා හිමිකාරිත්වය දරන super11 සමාගම මෙවර ආසියානු කුසලානය සඳහා නිල අනුග්‍රාහකත්වය දක්වන සමාගම බවට පත්ව තිබේ.


ඩුබායිහි වෙසෙන ඕමාර් ඛන්නා, ක්‍රිප්ටෝකරන්සි ව්‍යාපාරයක් වන B- Love සමාගමේ හිමිකාරිත්වය දරනු ලබයි.


(BBC සිංහල සේවය)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image