නිශාන්ත පෙරේරා පණස් නව වැනි වියේ පසුවුනත් හදවතින් ඔහු තවම තරුණයි.

ශ්‍රී ලංකාවේ සිටින වයසින් වැඩි ම කායවර්ධන ශූරයා පමණක් නොව ජාත්‍යන්තර තරග බිමේ රට වෙනුවෙන් වැඩිම පදක්කම් දිනා ගත් කායවර්ධන ක්‍රීඩකයා වන්නේ ද ඔහු.

වයස අවුරුදු හතළිස් පහේදී කායවර්ධන තරග බිමට පිවිසෙන නිශාන්ත ඔහුගේ පළමු අන්තර් ජාතික පදක්කම දිනා ගන්නේ 2018 වසරේ ඉන්දියාවේ දිල්ලි නුවර පැවති ජාත්‍යන්තර ස්වභාවික කායවර්ධන සංගමයේ (NBBUI) වයස අවුරුදු 50 ට වැඩි ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගනිමින්.

 

ඔහුගේ පළමු ජාත්‍යන්තර රන් පදක්කම සටහන් වන්නේ එම සංගමයේ ම මෙහෙයවීමෙන් 2019 වසරේ ඉන්දියාවේ පැවති Mr and Miss ආසියානු කායවර්ධන ශූරතාවලියේ අවුරුදු 50 ට වැඩි වයස් ඛාණ්ඩයේ. එම තරගාවලියේ එක ම ශ්‍රී ලාංකික නියෝජනය වූ 54 හැවිරිදි නිශාන්ත එහිදී ‘Mr.Asia Masters’ කිරුළ දිනා ගන්නේ රටවල් 12ක තරගකරුවන් පරදවමින්. 

PHOTO 2023 11 01 15 13 58
ඔහු විසින් මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් ජාත්‍යන්තර කායවර්ධන පදක්කම් ගණන 14ක්. 

නිශාන්ත පෙරේරාගේ අලුත් ම වික්‍රමය වාර්තා වන්නේ පසුගියදා තායිලන්තයේ පතායා හි පැවති ගෝලීය පවලිෆ්ටිං හා කායවර්ධන ජාත්‍යන්තර (GPBI) සම්මේලනයේ Mr and Miss Universe 2023 ශූරතාවලියේ. එහිදී ඔහු රන්, රිදී හා ලෝකඩ පදක්කම බැගින් දිනා ගත්තේ පිළිවෙලින් වයස අවුරුදු 45 ට වැඩි මාස්ටර්ස් ක්ලැසික්, මාස්ටර්ස් අවුරුදු 60 ට අඩු සහ කිලෝග්‍රෑම් 75 ඉසව්වලින්.

 

“මේ පදක්කම් ඔක්කෝටම වඩා මට වටින්නේ මේ තරගාවලියේදී ලංකාවේ පළවෙනි වතාවට මට GPBI සම්මේලනයේ අන්තර් ජාතික තරග විනිසුරුවකු ලෙස පත්වීම ලැබීම” යැයි නිශාන්ත පෙරේරා ‘THE LEADER’ ට අද ප්‍රකාශ කළේ ඉතාමත් සන්තෝෂයෙන්. “මේ තරගාවලිය අවසානයේ දක්ෂතම ක්‍රීඩකයා තේරුවේ මම යි” නිශාන්ත පවසන විට ඔහුගේ හඬේ ගැබ්ව තිබුනේ නිහතමානී ආඩම්බරයක ස්වරයක්.

 

හිමිකර ගෙන තිබෙන ශ්‍රී ලංකා පදක්කම් ගණන කොපමණදැයි නිශාන්තගෙන් ඇසූ විට, “එකයි දෙකයි තුනයි....පොඩ්ඩක් ඉන්න මම හරියටම කියන්නම්” කියමින් ඔහු මඳකට නතර වුනේ ඒ පදක්කම් ගණන කීයද කියා ගණන් කරන්න අමාරු තරම් නිසා යි. අවසානයේ ඔහු එය 21ක් බව පවසා සිටියා.

PHOTO 2023 11 01 15 13 55
2010 වසරේදී බස්නාහිර පලාතේ වයස අවුරුදු 45න් ඉහළ පස්වැනි ස්ථානය ට පත්වෙමින් සිය කායවර්ධන ක්‍රීඩා දිවිය ඇරඹූ නිශාන්ත පෙරේරා ඔහුගේ ප්‍රථම දේශීය රන් පදක්කම දිනා ගන්නේ කොළඹදී පැවති 2014 ජාතික මහා ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 80 බර පංතියේ තරග වදිමින්. අවුරුදු 45න් ඉහළ සහ අවුරුදු 50න් ඉහළ ‘Mr. Sri Lanka’ රන් පදක්කම් හය වතාවක් හිමිකර ගැනීමට නිශාන්ත සමත් වී තිබෙනවා.

 

“අංකයක් තරමටවත් මම මගේ වයස ගණන් ගන්නේ නැහැ. පුළුවන් තරම් කාලයක් මම මේ ක්‍රීඩාව කරනවා” යනුවෙන් මේ දිරිය ක්‍රීඩකයා ප්‍රකාශ කරනවා.

 

නිශාන්ත පෙරේරා දැන් සීයා කෙනෙක්. “මුනුපුරා ට දැන් වයස අවුරුදු 4යි මාස 2ක් විතර වුනත් එයා දැන් ඉඳන් ම මේ ක්‍රීඩාවට උනන්දුයි. ගෙදර තියෙන මගේ ව්‍යායාම් කට්ටලවල ඇති පොඩි පොඩි බර එයා උස්සනවා” නිශාන්ත කියයි.

දිනපතා උදය වරුවේ පැය තුන හමාරක් හතරක් පමණ පුහුණුවේ යෙදෙන නිශාන්තගේ ක්‍රීඩා දිවියට දයාබර බිරිඳගෙන් ලැබෙන්නේ ලොකු හයියක් බව ඔහු පවසනවා.

PHOTO 2023 11 01 15 13 56
මහරගම නාවින්නේ පදිංචි නිශාන්ත පෙරේරා දෙස් විදෙස් කායවර්ධන තරග බිමේ ජය කෙහෙළි නංවන්නේ මහරගම ‘Live Strong Fitness Factory’ ජිම්නේසියමේ පුහුණු වෙමින්. එහි හිමිකරු බුද්ධික ලක්මාල් පෙරේරා ගෙන් තමන්ට ලැබෙන්නේ සුළුපටු නොවන සහයෝගයක් බව නිශාන්ත මෙහිදී මතක් කරන්නේ ඉතාමත් කෘතඥපූර්වකව. 

“මේ ජිම් එක පාවිච්චි කරන්න අවුරුද්දකට රුපියල් 50,000ක් ගෙවන්න ඕන. බුද්ධික මහත්තයා මට ඒ අවස්ථාව නොමිලේ ලබා දී තියෙනවා. මම තරගවලට පිටරට යනකොට මට උදව් කරන්න ලංකාවේ ඉන්න එක ම කෙනා බුද්ධික මහත්තයා යි. රජයෙන්වත් ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයෙන්වත් කිසිම සහයෝගයක් මට ලැබිලා නැහැ” යනුවෙන් නිශාන්ත කියා සිටිනවා.

රට වෙනුවෙන් විදෙස් තරගවලට තමා සැමවිටම සහභාගි වුනේ තම පෞද්ගලික මුදලින් බව ද නිශාන්ත සඳහන් කරනවා. ඔහු මුහුදු මාළු හෝටලවලට සපයන කුඩා ව්‍යාපාරයක නියැලී සිටිනවා.

PHOTO 2023 11 01 15 13 57
නිශාන්තගේ දවස පටන් ගන්නේ අසාමාන්‍ය අයුරින්. අන්ධකාරයේ අළුයම 1.00 ට නිවසින් පිටවන ඔහු පෑලියගොඩ මාළු මාකට් ගොස් නැවත ගෙදර එන්නේ පාන්දර 5.30 ට පමණ. ඉන්පසු උදේ 7.30 ට පමණ ජිම් යන නිශාන්ත පුහුණුවීම් අවසන් කර යළි නිවෙස වෙත එනකොට වෙලාව දවල් දොළහ දොළහමාරට විතර. 

“නිදාගන්න වෙලාව අඩුයි” ඔහු කියන්නේ ගාණක් නැතිව.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකුගේ පුතෙකු වන නිශාන්ත පෙරේරා අධ්‍යාපනයේ භෞතීස්මය ලැබුවේ කොළඹ රාජකීය විදුහලෙන්. විදුහලේදී මලල ක්‍රීඩා, පාපන්දු, රග්බි, බොක්සිං, මල්ලවපොර හා කරාටේ යන ක්‍රීඩා සියල්ලේම නියැලුනත් ඔහුගේ හිත වැඩියෙන්ම ඇදී ගියේ කායවර්ධන ක්‍රීඩාව ට. අවසානයේ කායවර්ධනයේ අන්තගාමියෙකු වෙමින් ඔහු කීර්තිය අත්කර ගත්තේ ද ඒ ක්‍රීඩාවෙන්මයි. 

අයෝමය පුරුෂ නිශාන්ත පෙරේරා අලුත් පරපුරට දෙන අවවාදය මෙයයි.

 

“අද බෝ නොවන රෝග වැඩියි. ඒ නිසා, ජිම් එකකට යන්න බැරි නම් අඩුම ගානේ දවසකට මිනිත්තු තිහක්වත් ඇවිදින්න!”


සටහන :
බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නිශාන්ත පෙරේරාගේ ජාතික සහ ජාත්‍යන්තර දක්ෂතා:

  nishantha bodybuilding compettitions page 0001

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්