ආදරණීය දරුවන් තුන් දෙනා ම මිය ගිය පසු ඒ දුක් වේදනාව බයිසිකලයෙන් තුරන් කර ගැනීමට උත්සාහ කරන ‘මේව් ආච්චි’ ට බයිසිකල් පැදීම පුරුද්දකට වඩා එහා ට ගිය දෙයක්.
ඇගේ දරුවන් සියළු දෙනා ම මෙලොව හැර ගියේ අවුරුදු හතරක් ඇතුළත. සැන්ඩි 2012දීත්, කේටී 2013දීත්, බොබ් 2016දීත් මිය යාමෙන් පසුව මේ 85 හැවිරිදි මේවිස් පැටසන් ජීවත් වෙන, ජීවත් කරවන එක ම හේතුව බයිසිකල් පැදීම.
ස්කොට්ලන්තයේ ‘මල් ඔෆ් ගැලොවේ’වලින් (Mull of Galloway) ආරම්භ කර ස්කොට්ලන්තය වටේ සැතපුම් 1,000ක් බයිසිකලය පැදගෙන ගොස් ආපසු ‘මල් ඔෆ් ගැලොවේ’ ට පැමිණීමේ වෙහෙස දරා සිටීමේ අභියෝගාත්මක කාර්යයේ ඇය නියැලුනේ ඇගේ දරුවන් සිහිවීම පිණිස.
“මට බයිසිකලයක් තිබුනේ නැත්නම් තවත් ජීවත් වෙලා ඉන්න මට උවමනාවක් නැහැ” යනුවෙන් මේ ආදර්ශමත් අත්තම්මා කියනවා. “පවුල සම්පූර්ණයෙන්ම නැතිවීම විශ්වාස කරන්න බැරි දෙයක්.”
“මිතුරියක් මිය ගිය වෙලාවේ මගේ දුව දවසක් මට කිව්වා ‘අනේ අම්මේ හිතන්න...දරුවෙක් මැරුණම දැනෙන දුක’ කියලා. එතකොට මම කිවුවා, ‘මම දන්නවා... මට හිතාගන්න බැහැ’ කියලා. නමුත් දැන් මගේ දරුවන් ඔක්කොමලා මාව දාලා ගිහිං.”
සිතාගත නොහැකි මේ නැතිවීමෙන් යම් සැනසිල්ලක් හෝ ඇය ලබා ගන්නේ බයිසිකලයෙන්.
“බයිසිකල් පැදීම මට දරාගන්න අමාරුයි. නමුත් මම කොහොම හරි ඒක කරනවා. මිනිස්සු මට කියනවා, ‘ඔයා ශක්තිමත්’ කියලා. මට ශක්තිය එන්නේ කොහෙන්ද කියා මම දන්නේ නැහැ. ඒගොල්ලෝ මගෙන් අහනවා. නමුත් මම දන්නේ නැහැ. මගේ බයිසිකලේ මට උදවු කරනවා. මට අපූරු යාළුවොත් ඉන්නවා” යැයි මේවිස් පැටසන් කියනවා.
මේ වයස්ගත දිරිය කාන්තාව මැයි මාසය පුරා සෑම දිනකම ස්කොට්ලන්තය පරිධියේ බයිසිකලය පැද ගියේ එරට උස් පහත් වන ගමන් මඟේ. විවෘත මාර්ගවල කලින් කිව නොහැකි දේශගුණික තත්ත්වයන්ට මුහුණ දීමට ඇය ට සිදුවුනා. සෑම දිනකම උදෙන් ම අවදි වන මේවිස් දිනකට සැතපුම් 50ක් සම්පූර්ණ කරන්නේ බ්‍රිතාන්‍ය මූලස්ථානය කර ගත් ‘Macmillan Cancer Support’ පුණ්‍යායතනය ට මුදල් ද රැස්කර ගනිමින්. ස්කොට්ලන්ත බයිසිකල් ධාවනයෙන් ඇය මේ පිළිකා ආධාර ආයතනය වෙනුවෙන් එකතු කරගත් මුදල පවුම් 70,000 (ඩොලර් 88,000)ක්.
ඇය බයිසිකලය පැදගිය මාර්ගයේ ධාවනයේ යෙදෙමින් සිටි අනෙකුත් පාපැදිකරුවන්ගෙන් ඇය ට අගනා සහයෝගය ලැබුනු අතර ඔවුන්ගෙන් සමහරෙක් ඇය සමග එක ට දින ගණනාවක් බයිසිකල් ධාවනයේ යෙදුනා.
“ඒ ගොඩක් අය ළඟ බයිසිකලේට අවශ්‍ය සියළුම උපකරණ තිබුනා. මගෙ ළඟ ඒ කිසිම දෙයක් තිබුනේ නැහැ. මම නිකම් සතුටින් ඉන්න බයිසිකල් පදින්නෙක් විතරයි” මේවිස් පැටසන් ඇගේ පාපැදි ධාවනය ගැන මෙනෙහි කරමින් පවසනවා.
සමහර තැන්වල ඇයගේ තනියට කිසිවෙක් මාර්ගයේ නොසිටි අතර ඒ අවස්ථාවල ඇය ධාවනයේ යෙදුනේ ඇගේ බයිසිකලය සමග කතා කරමින්.
දිගු වීර චාරිකාවේ අවසානය ට මේව් ආච්චි පිවිසෙන විට ඇය ට ‘චියර්’ කිරීම සඳහා සෑහෙන සෙනඟක් රැස්ව සිටියා. ඒ සෙනඟ අතර ඇගේ මුනුපුරා ද සිටියා.
“ඒ සෙනඟ මැද අඩි 6යි අඟල් 3ක් උස මගේ මුනුපුරාත් ඉන්නවා මම දැක්කා. මම ප්‍රීතියෙන් ඉපිලෙමින් දුවලා ගිහිං එයාව බදා ගත්තා.”
මේවිස් ඇගේ ජයග්‍රහණය සැමරුවේ වයින් වීදුරුවකින්.
බයිසිකල් ධාවනය අතරතුර ඇය ඇගේ 85 වැනි උපන්දිනය ද සැමරුවා. ඒ, බයිසිකලයෙන් කඳු නගින අතරමැද පිවිසි මොෆට් නමැති ප්‍රදේශයේ පැවති සාදයකින්.
“මම බයිසිකලෙන් යනවා දැකලා ‘ඒ නාකි ගෑණි ට පුළුවන් නම් මටත් කරන්න පුළුවන්’ කියලා හිතමින් මිනිසුන් එයාලගේ බයිසිකල්වලට නැගලා තියෙන බව මම දන්නවා.
ධෛර්යය පොඩ්ඩක් හීන වූ අය ‘මම මෙහෙම ඉන්න හොඳ නැහැ. බලන්න අර අසරණ මේව් දිහා, එයා ට එයාගෙ දරුවන් සියළු දෙනා නැතිවෙලත් එයා බයිසිකල් පදින හැටි’ කියලා මිනිසුන් හිතන බවත් මම දන්නවා.”
“මම බයිසිකල් පදින හැටි දැකලා ගොඩාක් මිනිස්සු බයිසිකල් ධාවනය ට යොමු වෙලා තියෙනවා. බයිසිකල් පදින්න තවත් අය උනන්දු කරවන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා” යැයි මේව් ආච්චි ප්‍රකාශ කරනවා.
“මම මහත් ප්‍රබෝධයට හේතුවක් බව මිනිස්සු මට නිතර කියනවා. මම ඒ තරම් විශිෂ්ට කෙනෙක් නම්, ඒ ගැන මට සන්තෝෂයි!”
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී