The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අයෝමාල් අකලංක: බාධා මැද ලංකාවට රිදී පදකකමක් දිනා දුන් යොවුන් ක්‍රීඩකයා

T

The Leader Desk

August 19, 2023 • 6:08 PM

අයෝමාල් අකලංක: බාධා මැද ලංකාවට රිදී පදකකමක් දිනා දුන් යොවුන් ක්‍රීඩකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටවල් 71ක සහහාගීත්වයෙන් ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ පැවති යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය
  • වීසා ලබා ගැනීමේ දී ඇතිවූ දුෂ්කරතා හේතුවෙන් මෙරට මලල ක්‍රීඩා පුහුණුකරු ඇතුළු නිලධාරිනියකට එම තරගාවලියට සහභාගී වීමට අවස්ථාව උදා නොවූවද, විවිධ බාධා මැද තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙකු පදක්කම් දිනා ගැනීමට සමත් විය.
  • මෙම තරගාවලියේ දී මීටර් 400 ඉසව්ව තත්ත්පර 51.61 කින් නිම කරමින් අයෝමාල් අකලංක රිදී පදක්කම දිනා ගනු ලැබුවේය.
  • එමෙන්ම නිලුපුල් තේජන මීටර් 2.0 ක දක්ෂකමක් දක්වමින් උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගියදා අවසන් වුයේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා අනාගතය පිළිබඳ සුබ පෙරනිමිති පළ කරමිනි.

වීසා ලබා ගැනීමේ දී ඇතිවූ දුෂ්කරතා හේතුවෙන් මෙරට මලල ක්‍රීඩා පුහුණුකරු ඇතුළු නිලධාරිනියකට එම තරගාවලියට සහභාගී වීමට අවස්ථාව උදා නොවූවද, විවිධ බාධා මැද තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙකු පදක්කම් දිනා ගැනීමට සමත් විය.


ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් මොනවා ද ?

මෙම තරගාවලියේ දී මීටර් 400 ඉසව්ව තත්ත්පර 51.61 කින් නිම කරමින් අයෝමාල් අකලංක රිදී පදක්කම දිනා ගනු ලැබුවේය.

එමෙන්ම නිලුපුල් තේජන මීටර් 2.0 ක දක්ෂකමක් දක්වමින් උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

nilupul


“පදක්කමක් දිනන්න ඕනමයි කියලා හිතුවා” 



තමන් සහභාගී වූ ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමේ බලපොරොත්තුවක් සිතේ තිබු බවත් තරගය ආරම්භයේ දී සිතේ යම් බියක් ද ඇති වූ බවත් මීටර් 400 ඉසව්වෙන් රිදී පදක්කම ජයග්‍රහණය කළ අයෝමාල් අකලංක බීබීසි සිංහල වෙත පැවසුවේ ය.

"කොහොම හරි පදක්කමක් දින්නන ඕන කියලා හිතේ බලාපොරොත්තුවක් තිබුණා. ඒ එක්කම හිතේ පොඩි බියක් තිබුණා. අවසානයේ දී හොඳ තරගයක් දීලා පදක්කමක් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා."යැයි ඔහු පැවසීය.

හැටන්, අඹගමුව මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන අයෝමාල් අකලංක එම පාසැලට ඇතුළත්ව ඇත්තේ 9 වැනි ශ්‍රේණියේදීය. ඔහු ඊට පෙර අධ්‍යාපනය හදාරමින් සිට ඇත්තේ හැටන් ශ්‍රී පාද මහා විද්‍යාලයේ ය.

"මම අවුරුදු 5 ඉදලා දුවනවා. 9 වසරේ දී ක්‍රීඩා කටයුතු නිසා අඹගමුව මහා විද්‍යාලයට ඇතුළත් වෙන්න හැකි වුණා. එහිදී තමයි අනුර සර් හම්බ වුණේ." ඔහු පැවසුවේ ය.

තමන්ගේ ක්‍රීඩා ගමනට දෙමව්පියන් ඇතුලු පවුලේ සාමාජිකයින්, පුහුණුකරු වන අනුර බණ්ඩාර, පාසලේ ගුරුවරුන්, හිටපු ධාවන ශුරයෙකු වන සුගත් තිලකරත්න සහ මලල ක්‍රීඩා සංගමය හා ජාතික ඔලිම්පික් කමිටුවෙන් බෙහෙවින් උපකාර ලැබෙන බව අයෝමාල් අකලංක සඳහන් කළේය.

ඉදිරියේදී ජාත්‍යන්තර තරග නියෝජනය කරමින් තවත් පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කිරීම සිය අපේක්ෂාව බව අකලංක වැඩිදුරටත් පැවසීය.



"මේක නිකම් ලැබුණ මෙඩ්ල් එකක් නෙමෙයි"

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරඟාවලියේ දී අයෝමාල් අකලංක ජයග්‍රහණය කරනු ලැබූ පදක්කම වෙනුවෙන් වසරකට අධික කාලයක් වෙහෙස මහන්සි වී පුහුණුවීම්වල යෙදුණු බව ඔහුගේ පුහුණුකරු වන අනුර බණ්ඩාර බීබීසි සිංහල වෙත පැවසුවේ ය.

"යොමාල් වර්ල්ඩ් රෑනක් එකේ 6 වෙනියට හිටියේ. ජැමෙයිකාවේ ක්‍රීඩකයා හිටියේ රෑන්ක් එකේ පළවෙනි තැන. හැබැයි මම ට්‍රේනින් කරන් එන මෙතඩ් එකත් එක්ක බැලුවාම මට තේරුණා පළවෙනි තුන් දෙනා අතරේ මෙඩ්ල් එකක් තියෙනවා කියලා."

"ඒ එකක්ම අපි බලාපොරොත්තු වුණා දකුණු අප්‍රිකාව නියෝජනය කරන ක්‍රීඩකයාත් තරගෙට එයි කියලා. මම පුදුම විදිහට ඔය ක්‍රීඩකයින්ගේ කාල ගණනයන් විශ්ලේෂණය කළා. "

"මේක නිකම් ලැබුණ මෙඩ්ල් එකක් නෙමෙයි. ගිය අවුරුද්දේ ඉදලා මහන්සි වුණා. අකලංක ඒ වෙනුවෙන් ගොඩක් කැපවීමක් කළා." ඔහු පැවසුවේ ය.



තරගාවලියට ප්‍රවේශ වීමට මුල සිටම බාධා

පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යය වෙත යෑමට සැලසුම් සකස් කර තිබුණේ ස්විට්සර්ලන්තය හරහාය.

මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන පැවසුවේ අවසන් මොහොතේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ස්විට්සර්ලන්තය විසින් වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවය.

ඒ අනුව මලල ක්‍රීඩා සංගමය මැදිහත් වීමෙන් ඇමෙරිකාව හරහා ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යය වෙත යෑමට අවශ්‍ය වීසා ඉල්ලුම් කරනු ලැබූ අතර එහිදී අයෝමාල් අකලංකගේ පුහුණුකරු වන අනුර බණ්ඩාරට සහ තවත් නිලධාරිනියකට ඇමෙරිකාව විසින් වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි.

එවන් පසුබිමක ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගි වූ අතර තරගාවලියේ සමාරම්භක උත්සවයට හෝ ඔවුන්ට සහභාගී වීමට නොහැකි වුයේ ඔවුන් ඒ වන විටත් එරටට ළඟා වී නොසිටීම හේතුවෙන් බව ලේකම්වරයා පැවසුවේ ය.


ජාතික ඔලිම්පික් කමිටුවට චෝදනාවක්

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය වීසා ලබා ගැනීම ඇතුළු අවශ්‍ය පහසුකම් සැපයීමේ වගකීම සතු වුයේ ජාතික ඔලිම්පික් කමිටුව වෙත බව මලල ක්‍රීඩා සංගමය සඳහන් කළේය.

කෙසේ වුවත් මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇතිවූ තත්ත්වය පිළිබඳ දැනුවත් කරමින් පවසා ඇත්තේ මෙම තරගාවලියට සහභාගිවීමට ඇති අවස්ථාව ඉතාම අල්ප බවය.

ඇතිවූ තත්ත්වය හේතුවෙන් මලල ක්‍රීඩා සංගමය මැදිහත් වී ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වීසා ලබා ගැනීමට ඉල්ලුම් කළ බවත් ඊට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද සහය හිමිවූ බවත් සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන පැවසුවේ ය.


ශ්‍රී ලංකාවේ සහයට පැමිණි ඕස්ට්‍රේලියාවේ පුහුණුකරු

Anula Costa

දහසක් බාධා මැද තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව භාරව පුහුණුකරුවන් නොමැති වීම ගැටලුවක් වූ බව මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා පැවසීය.

කෙසේ වුවත් තරගාවලියට ඕස්ට්‍රේලියානු කණ්ඩායම භාරව පැමිණි ලාංකික පුහුණුකරුවෙක් සහ ඉන්දියාවේ පුහුණුකරුවන් විසින් ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහය දැක්වූ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

"ඇමෙරිකාවෙන් අනුර බණ්ඩාර පුහුණුකරුට වගේම කාන්තා කණ්ඩායම භාර නිලධාරිනියට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවුණා, බීච් වොලිබෝල් කණ්ඩායම භාරව සිටි පුහුණුකරු යටතේ මේ සංචාරයට එක්වෙන්න."

"නමුත් ඒ තරගාවලිය අතර වාරයේදී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ පුහුණුවීම්වලට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුහුණුකරුවෙක් හිටියේ නැහැ."

"නමුත් හොඳ වෙලාවට ඕස්ට්‍රේලියාවේ ටීම් එකත් එක්ක ආවේ ලංකාවේ කෝච් කෙනෙක්. අනුලා කොස්තා කියලා. අපි එයාට කතා කරලා කිව්වම එයා ටීම් එක බලලා තිබුණා. "

"ඒ වගේම ඉන්දියන් ටීම් එකේ මැනේජර් සහ කෝච්ටත් අපි දැනුම් දුන්නා. එයාලත් අපේ ළමයින් ගැන හොයා බලලා තිබුණා." මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා පැවසුවේය.

( BBC සිංහල සේවය )

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...