The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දසුන් දහසකුත් එකක් බලාපොරොත්තු මැද

T

The Leader Desk

September 17, 2023 • 4:44 AM

දසුන් දහසකුත් එකක් බලාපොරොත්තු මැද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන තරගාවලිය අත පොවන දුරින් තිබියදී, තවත් කලාපීය කුසලානයක් මිට මොළවාගැනීමට රෝහිත් ෂර්මා මෙන්ම දසුන් ශානකත් බලාපොරොත්තු පොදි බඳිමින් සිටිති.
  • ශ්‍රී ලංකාව අවසන් වතාවට ආසියානු කුසලානයක් දිනාගත්තේ 2022 දී වුවත්, එය විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිනාගත් එකකි.
  • එක්දින අන්තර්ජාතික තරග වලදී ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානයක් දිනාගත්තේ වසර 2014 දී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙනි.
  • එක දිගට එක්දින අන්තර්ජාතික තරග 13 ක් ජයගෙන ලොව දෙවැනි දීර්ඝතම ජයග්‍රහණ වැල නිර්මාණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ගමන අවසන් කළේ ඉන්දියාවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැත්වෙන තරගය අවසානයේ, දෙදෙනාගෙන් අයකුගේ බලාපොරොත්තුව ඉටුවීමත් අනෙකාගේ බලාපොරොත්තුව බිඳ වැටීමත් වැළැක්විය නොහැක.

ශ්‍රී ලංකාව අවසන් වතාවට ආසියානු කුසලානයක් දිනාගත්තේ 2022 දී වුවත්, එය විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිනාගත් එකකි. එක්දින අන්තර්ජාතික තරග වලදී ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානයක් දිනාගත්තේ වසර 2014 දී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙනි.

එක දිගට එක්දින අන්තර්ජාතික තරග 13 ක් ජයගෙන ලොව දෙවැනි දීර්ඝතම ජයග්‍රහණ වැල නිර්මාණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ගමන අවසන් කළේ ඉන්දියාවයි. ඒ පසුගිය 12 වැනිදා පැවැති තරගයේදී ඉන්දියානුවන් ලබාගත් ලකුණු 41 ක ජයත් සමගිනි.

ගෙවී ගිය වසර හතරක කාලයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින අන්තර්ජාතික තරග 7 ක් පැවැත්වී ඇතත්, ඒවායින් හයක්ම දිනාගෙන ඇත්තේ ඉන්දියාවයි. ඉන්දියානුවන් හමුවේ ශ්‍රී ලංකාවේ අවසන් එක්දින ජයග්‍රහණය වාර්තා වන්නේ ද වසර දෙකකට ඉහතදී, කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීම වූවත්, එම තරගය පැවැත්වූයේ ක්‍රීඩාංගණයේ සියලුම දොරටු වසා දමා, ‘ලොක්ඩවුන්’ කළ ක්‍රීඩාංගණයකදී බැවින් තරග නිලධාරීන් සහ ක්‍රීඩාංගණ සේවකයන් විනා, කිසිම ක්‍රීඩා ලෝලියකුට එම තරගය සියැසින් දැක බලාගත නොහැකි විය.

 

අද තරගයේ සාමාන්‍ය ක්‍රිකට් ලෝලීන් සඳහා වන සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් වී තිබේ. ඉතිරිව ඇත්තේ, එකක් රුපියල් 40,000 ක් වන, ඉහළ පෙලැන්තියේ ප්‍රවේශපත් 100 කටත් අඩු ප්‍රමාණයකි. එකක් රුපියල් 6,400 ක් බැගින් වන ‘බී’ කොටසේ පහළ මාලයේ ප්‍රවේශපත් සියල්ලත්, එකක් රුපියල් 8000 ක් බැගින් වන ‘බී’ කොටසේ, ඉහළ මාලයේ, විශේෂ අමුත්තන් සඳහාත් වන ප්‍රවේශපත් සියල්ලත් විකිණී අවසන් වී තිබේ.

 

ශ්‍රී ලාංකිකයන් 30,000 කට ආසන්න පිරිසක්, අපේක්‍ෂාවේ ගිනි පුළිඟු පිටියට වීසිකරන මෙවන් වාතාවරණයක් හමුවේ ඉන්දියානුවන්ගේ කාර්ය භාරය එතරම් පහසු එකක් නම් නොවේ.

මේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන 11 වැනි ආසියානු කුසලාන අවසන් මහ තරගයයි.

ඒවායින් හයක්ම ජයගෙන තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ශක්තිය පන්දු යවන්නන් අත රැඳී තිබේ. ඔව්හු මේ වන විටත් එක දිගට එක්දින තරග 14 කදී ප්‍රතිවාදී කණ්ඩායම්වල සියලුම ක්‍රීඩකයන් දවාගනිමින්, ලෝක වාර්තාවක් නිර්මාණය කරමින් සිටිති. ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර, වනිඳු හසරංග ඇතුළු කණ්ඩායමේ ප්‍රබලම පන්දු යවන්නන් සිව්දෙනකු තුවාල ලබා සිටියදීත්, දසුන් ශානක ඇතුළු පිරිවර තමන්ගේ කාර්යය අඩු නැතිවම කළහ.

මහීෂ් තීක්‍ෂණ තුවාල ලබා කණ්ඩායමෙන් ඉවත් වීම බරපතළ පාඩුවකි. ඒ වෙනුවට සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවා ඇතත්, තීක්‍ෂණගේ ස්ථානය පා දඟ පන්දු යවන දුෂාන් හේමන්තට හිමිවනු ඇතැයි ද අපේක්‍ෂා කෙරේ. පිතිකරුවන් දෙදෙනකු වන ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක දෙදෙනාම පිට දඟ පන්දු යවන්නන් වීම පා දඟ පන්දු යවන්නා වෙනුවෙන් ඉදිරිපත් වී ඇති තර්කයයි.

දිගු කලකට පසුව එක්දින පිටියට පිවසි කුසල් පෙරේරාගේ පිතිහරඹය ක්‍රීඩා ලෝලීන්ට ඉඟිකර සිටින්නේ වමත් පිතිකරුවා දිගු ඉනිමකට සූදානමින සිටින බවකි. දුනිත් වෙල්ලාලගේත් ඇතුළුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 8 දෙනකු සිටින නමුත් ඒ සියලු දෙනාම එකම තරගයකදී සාර්ථක නොවේ. එහෙත් ඔවුන් අතුරින් පිතිකරුවන් හතර දෙනකු සාර්ථක වීමත්, අනෙක් අයගෙන් සහයෝගය ලැබීමත් තරගයක් ජයගැනීමට හොඳටම ප්‍රමාණවත්ය.

“අපි මේ තරගාවලියට ආවේ අපේ ප්‍රධාන ක්‍රීඩකයන් කීප දෙනෙක්ම නැතිව. ඒත් අපි අවසන් මහ තරගය වෙනකම් ආවා” යයි දසුන් ශානක 16 වෙනිදා පැවති පුවත් පත් සාකච්ඡාවේදී කීවේය.

දසුන් කී කතාව ඇත්තකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන නායකයන් අතර වාසනාවන්තම නායකයා කවුරුන්ද යන්න තේරීමක් කළහොත්, දසුන් එහි ඉදිරියෙන්ම සිටිනු ඇත. ඔහුගේ කණ්ඩායම එක්දින තරග 13 ක් එක දිගට ජයගත් නමුත් එම තරග 13 දීම දසුන් දවාගෙන ඇත්තේ කඩුලු 9 කි. ඒවායේදී ඉනිම 9 ක් සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා නායකයා ලබාගෙන ඇත්තේ ලකුණු 64 කි. ඉදින් මේ වන විට තමන් මුහුණ දී සිටින අතිශය දැඩි විවේචන සමුදායට අද දවසේ පිත්තෙන් හෝ පන්දුවෙන් පිළිතුරු දීමට දසුන්ට හැකිවුවහොත්, එය ශ්‍රී ලංකා කණ්ඩායමේ යහපත සඳහා ම වනු ඇත.

තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් දෙදෙනා වන මතීෂ පතිරණ (11) සහ දුනිත් වෙල්ලාලගේ (10) දෙදෙනාම දසුන්ගේ කණ්ඩායමේ සිටිති.

පෙරේදා  (15 වැනිදා) පැවැති තරගයේදීත් බංග්ලාදේශය හමුවේ පරාජය වීම ඉන්දියානුවන්ට කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන්ට නම් සුබ ආරංචියකි.

“ඒක (පරාජය) හින්දා අපේ ගමන බාල වෙලා නෑ. අපි දිගින් දිගටම හොඳින් ක්‍රීඩා කළා.... ඇරත් මේ වගේ තණතීරු වලදී ඒ වගේ දේවල් වෙනවා” යයි ෂුබ්මන් ගිල් කීවේය.

“ආසියාන කුසලානය දිනාගන්න පුළුවන් නම්, ලෝක කුසලාන දිනාගන්නත් ඒක අපිට හොඳ උත්තේජනයක් වෙනවා” යයි ද ෂුබ්මන් ගිල් කීවේය.

ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අක්ෂර් පතෙල් ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු ද වන පිට දඟ පන්දු යවන වොෂින්ටන් සුන්දර් ඉන්දීය සංචිතයට එකතු කර තිබේ.

(kelimandala.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...