The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය: දෙවැනි දිනයේ දී සිදුවූයේ කුමක් ද?

T

The Leader Desk

September 19, 2023 • 3:00 PM

ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය: දෙවැනි දිනයේ දී සිදුවූයේ කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට ලද පැමිණිල්ලක් මත පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියාවේ දී
  • එම තරුණිය සඳහන් කළේ තමන් සමග ධනුෂ්ක ගුණතිලක ලිංගිකව එක්වීමේදී ඔහු තුළ "යම් වෙනසක් සිදුවී ඔහු සතෙකු බවට පත්වූ" බවයි.
  • ඇය සාක්ෂි දෙමින් අවස්ථා කිහිපයක දී හඬා වැටුණු බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
  • ලිංගික අතවරයට ලක්වූ තරුණියගේ මිතුරන් දෙදෙනෙකු සිද්ධියෙන් පසු දිනවල දී ඇය ඔවුන් වෙත සිදුකළ ප්‍රකාශ පිළිබඳව අද අධිකරණය හමුවේ තොරතුරු වාර්තා කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

අත්අඩංගුවට ගනු ලැබ, අනතුරුව ඇප මත නිදහස් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අද (සැප් 19) දෙවන දිනටත් සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය හමුවේ විභාගයට ගැනුණි.

එම තරුණිය සඳහන් කළේ තමන් සමග ධනුෂ්ක ගුණතිලක ලිංගිකව එක්වීමේදී ඔහු තුළ "යම් වෙනසක් සිදුවී ඔහු සතෙකු බවට පත්වූ" බවයි. ඇය සාක්ෂි දෙමින් අවස්ථා කිහිපයක දී හඬා වැටුණු බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ලිංගික අතවරයට ලක්වූ තරුණියගේ මිතුරන් දෙදෙනෙකු සිද්ධියෙන් පසු දිනවල දී ඇය ඔවුන් වෙත සිදුකළ ප්‍රකාශ පිළිබඳව අද අධිකරණය හමුවේ තොරතුරු වාර්තා කර තිබුණි.

සිද්ධියට මුහුණ දුන් තරුණිය හෝ ඇගේ මිතුරියන්ගේ අනන්‍යතාව අධිකරණය හමුවේ හෙළි නොකරන ලදී.

ඊයේ (සැප් 18) ඇරඹි මෙම නඩු විභාගය අඛණ්ඩව දින හතරක කාලයක් තිස්සේ පැවැත්වීමට නියමිතව තිබේ.

 

ඕස්ට්‍රේලියාවේ දී සිදුවූයේ කුමක්ද?

ඉකුත් වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අතරවාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදවුම හරහා හඳුනාගත් 29 හැවිරිදි තරුණියක ලිංගික අපයෝජනයට ලක් කළ බවට එරට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

එම පැමිණිල්ල අපයෝජනයට ලක් වූ තරුණිය විසින්ම සිදුකර තිබූ අතර, සිඩ්නි පොලිසිය විසින් ඉකුත් වසරේ නොවැම්බර් මස හයවන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලය තුළ දී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

සිඩ්නිහි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක දින 11කට ආසන්න කාලයක් රඳවා සිටි ධනුෂ්ක ගුණතිලක ඉකුත් නොවැම්බර් මස 17 වෙනිදා දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.

ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව නැගෙනහිර සිඩ්නි නුවර පිහිටි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේ දී එරට රජයේ නීතිඥයින් විසින් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලකර තිබූ ලිංගික අපයෝජන චෝදනා හතරෙන් චෝදනා තුනක් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදී.

එසේ වුව ද, කාන්තාවගේ කැමැත්තකින් තොරව අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක නිරතවීම සම්බන්ධයෙන් චෝදනාවක් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබේ.

එම චෝදනාවට ඔහු නිවැරදිකරු බව ධනුෂ්ක ගුණතිලක ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය සැප්තැම්බර් 18 වෙනිදා ආරම්භ කෙරුණි.

 

නඩු විභාගයේ දෙවැනි දිනය

අපයෝජනය වූ බව කියන කාන්තාව ධනුෂ්ක ගුණතිලක මුණගැසුණු විට ඔහුගෙන් “ඇත්තටම ආදරණිය බවක් පෙනුන” බවත්, “ලිංගිකව හැසිරීමට පටන් ගත් විට ඔහු වෙනසක් සිදුවී ඔහු රළු වූවා”යි පැවසූ බවත්, අපයෝජනය වූ බව කියන කාන්තාවගේ මිතුරියක පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ව තිබී ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයා "මාව පහතට තල්ලු කර මා මතට පැමිණියා. මම ඇත්තටම බය වුණා, ඒ නිසා මම ඔහු සමග ලිංගිකව හැසිරුණා"යි මිතුරිය [අපයෝජනය වූ බව කියන කාන්තාව] ඇයට පැවසූ ආකාරය ඇය එහි දී සඳහන් කර තිබුණා ය.

ක්‍රීකට් ක්‍රීඩක ධනුෂ්ක කොන්ඩමය ඉවත් කළ බව සිතුනේ කුමක් නිසාදැ යි තමන් මිතුරිය ගෙන් විමසූ විට, ඇයට ඒ ගැන "හැඟීමක්" ඇතිවූ බවත්, ඔවුන් ලිංගිකව එක්වීම අවසන් වූ පසු එය බිම තිබෙන දුටු බවත් ඇය පැවසූබව මේ මිතුරු කාන්තාව පවසයි.

ඒ අවස්ථාවේ පැමිණිලිකාරිය හඬමින් සිටි බවත්, තමන් පොලිසියට යා යුතුදැ යි විශ්වාස නැති නමුත් ක්‍රිකට් ක්‍රීඩිකයා රට හැරයෑමට නියමිත බැවින් ඉක්මනින් එය කළ යුතු බව දන්නා බවත් ඇය පැවසූ බව එහිදී මිතුරු කාන්තාව සඳහන් කර තිබුණි.

සාක්‍ෂි දීමට කැඳවූ දෙවැනි මිතුරිය පොලිසියට ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියේ ධනුෂ්ක ගුණතිලක කාන්තාව හා ඇගේ නිවසට යන ෆෙරි යාත්‍රාවේ ගමන් කරමින් සිටිය දී “ආක්‍රමණශීලී” වූ බව පැමිණිලිකාරිය ඇයට පැවසූ බව යි.

ලිංගික එක්වීමේ දී ආරක්‍ෂාව සඳහා කොන්ඩමය පළඳින ලෙස ධනුෂ්ක ගුණතිලකට ඒත්තු ගැන්වීමට ඇයට සිදුවූ බවත්, “අපි නිදන කාමරයට ඇතුළු වූ පසු ඔහු සතෙකු හෝ වෙනත් පුද්ගලයෙකු බවට පත් වූවාක් මෙන්" හැසිරුණායැ යි පැමිණිලිකාරිය පැවසූ බවත් දෙවැනි සාක්ෂිකාරිය ඇගේ ප්‍රකාශයේ දී පොලිසියට පවසා තිබේ.

තමාගේ ජීවිතය ගැන බියෙන් පසුවන බවත්, සංසර්ගයේ දී ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තමාගේ ගෙල තෙවරක් සිර කළ බවත් පැමිණිලිකාරිය ඊයේ විනිසුරුවරයාට සිය සාක්ෂියේ දී ප්‍රකාශ කළා ය.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතිඥ මුරුගන් තංගරාජ් මෙහිදී පැමිණිලිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසුවේ ය.

ඇගේ පොලිස් ප්‍රකාශයේ දී "ඩැනී" ලෙස හැඳින්වූ තම සේවාදායකයා කොන්ඩමය ඉවත් කළේ කෙසේදැ යි මෙහිදී නීතිඥවරයා ඇගෙන් ප්‍රශ්න කළේ ය.

ඇය තරයේ කියා සිටියේ "ඒ සඳහා ඔහුට ගතවන්නේ තත්පර කිහිපයක් පමණි" යනුවෙනි.

"කිසිම අවස්ථාවක (ප්‍රකාශයේ) ඔබ ලිංගික හැසිරීම තත්පර කිහිපයකට නතර වූ බව නොකියයි, ඔබ එයට එකඟ ද?" නීතිඥ තංගරාජ් එහිදී ඇයගෙන් විමසා සිටියේය.

"මම ඒකට එකඟ යි," ඇය පිළිතුරු දුන්නා ය.

අනතුරුව, "ඔබේ පළමු ප්‍රකාශයේ විස්තර කර ඇති ආකාරයට ඩැනීට කොන්ඩමය ඉවත් කිරීමට අවස්ථාවක් නොතිබුණි. ඔබ එයට එකඟද?" නිතිඥවරයා ඇයගෙන් විමසා සිටියේ ය.

"නැහැ, මම ඒකට එකඟ නැහැ," යනුවෙන් එහිදී ඇය පැවසුවා ය.

කිසිම අවස්ථාවක ධනුෂ්ක ගුණතිලක කොන්ඩමය බිමට විසිකිරීම හෝ එම ක්‍රියාවට අනුකූල වන අයුරින් ඔහුගේ අත සෙලවීම තමා දුටුවේ හෝ දැනුනේ නැති බව පැමිණිලිකාරිය එහිදී කියා සිටියා ය.

මෙම නඩු විභාගය බ්‍රහස්පතින්දා අවසන්වීමට නියමිත බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

 

නඩු විභාගයේ පළමු දිනය

නැගෙනහිර සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය ඉදිරියේ සැප්තැම්බර් 18 දා ආරම්භ වූ නඩු විභාගයට සාක්ෂි ලබාදීම සඳහා අපයෝජනයට ලක්වූ බවට පැවසෙන තරුණිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්ව සිටි බව සිඩ්නි මෝර්නින් හැරල් වෙබ් අඩවිය වාර්තාකර ඇත.

ධනුෂ්ක ගුණතිලක ද නඩු විභාගය සඳහා පැමිණ සිටිබව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබුණි.

එහිදී එම තරුණියගේ අනන්‍යතාව මාධ්‍ය විසින් හෙළි නොකළ අතර, සාක්ෂි ලබා දෙමින් ඇය පවසා සිටියේ ධනුෂ්ක ගුණතිලක ඇගේ කැමැත්තෙන් තොරව උපත් පාලන කොපුවක් නොමැතිව ලිංගික සංසර්ගයේ යෙදුණු බවත්, ඇයට ඇගේ ජීවිතය සම්බන්ධයෙන් බියක් ද ඇතිවූ බවත් ය.

ඇය ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 29 වෙනිදා ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදවුම ඔස්සේ ධනුෂ්ක ගුණතිලක හඳුනාගත් බව හා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන වග පැවසූ බව ද ඇය සාක්ෂි දෙමින් පැවසුවා ය.

ඇය ඇගේ මිතුරන් සමග සිඩ්නිහි ඔපෙරා බාර් බීම හළේ සිටින විට ධනුෂ්ක ගුණතිලක පැමිණි බව ද, පසුව ඔවුන් දෙදෙනා පීසා අවන්හලකට ගොස් රාත්‍රී ආහාර ගනු ලැබූ බව ද ඇය පැවසුවා ය.

"එතන හරිම ඝෝෂාකාරී නිසා මට ගෙදර යන්න අවශ්‍ය වුණා. ඔහු මට යෝජනා කළා මත්පැන් මිල දී ගෙන මාගේ නවාතැනට යමු කියලා," තරුණිය පවසා සිටියා ය.

එහිදී පොලිසිය විසින් අධිකරණය ඉදිරියේ ඔවුන් දෙදෙනා රැඳී සිටි ස්ථාන දැක්වෙන CCTV දර්ශන පෙන්නුම් කරන ලදී.

මේ අතර ෆෙරි යාත්‍රාවේ දී දෙදෙනා සිප ගන්නා CCTV වීඩියෝවක් ද අධිකරණය හමුවේ පෙන්වන ලද අතර, ධනුෂ්ක ඇය බලෙන් සිප ගත් බව තරුණිය ප්‍රකාශ කර සිටියාය.

iuspoefewනඩු විභාගය සඳහා ධනුෂ්ක ගුණතිලක පැමිණ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කොට තිබු අයුරු

 

'ඔහු මාව බලෙන් සිප වැළඳ ගත්තා'

ඇගේ නිවසට පැමිණි පසු ඔවුන් දෙදෙනා වයින් වීදුරු දෙකක් පානය කරමින් ආලින්දයේ සිටිය දී ද ධනුෂ්ක ගුණතිලක ඇය බලෙන් සිප වැළඳගත් බව තරුණිය මෙහිදී අධිකරණය හමුවේ පවසා සිටියා ය.

"සෑම දෙයක්ම වේගයෙන් සිදුවෙන නිසා එය මට එතරම් සුවපහසු වාතාවරණයක් ලෙස හැඟුනේ නැහැ," ඇය පැවසුවා ය.

ආලින්දයේ රැඳී සිටියදී ධනුෂ්ක ඇය හැඳ සිටි ඇඳුම් ඉවත් කළ බවත්, එය පොදු ස්ථානයක් බැවින් නිදන කාමරයට යමුයැ යි ඇය යෝජනා කළ බවත් එම තරුණිය පැවසුවා ය.

මෙහිදී ධනුෂ්ක ගුණතිලක විසින් ඇගේ කැමැත්තෙන් තොරව මුඛ ලිංගික ක්‍රියාවලියක නිරතවූ බව හා එහිදී ඇය අපහසුතාවයට පත්වූ බව ඇය පවසා තිබේ.

ඇය "කොන්ඩමයක් භාවිතා කළ යුතුයැ"යි එහිදී පැවසූ බව සාක්ෂි දෙමින් පැවසුවා ය. "එහිදී ධනුෂ්ක පැවසුවා 'මට කොන්ඩම් භාවිතා කරන්න අවශ්‍ය නැහැ. මම කොන්ඩම්වලට කැමති නැහැ' කියලා," ඇය කියා සිටියි.

කෙසේ වුවත්, ඇය සතුවූ කොන්ඩමයක් ලබාදීමෙන් පසු ඔහු අකමැත්තෙන් එය පැළඳ ලිංගික ක්‍රියාවලියට යොමුවූ බව ඇය සාක්ෂි දෙමින් පවසා සිටියා ය.

 

'මට මගේ ජීවිතය ගැන බියක් ඇතිවුණා'

කොන්ඩමය පැලඳ ධනුෂ්ක ගුණතිලක තමන් හා බලහත්කාරයෙන් මිනිත්තු 15ක පමණ කාලයක් ලිංගිකව එක්වූ බවත්, එහිදී තත්ත්පර 20 සිට 30 දක්වා අවස්ථා තුනකදී හුස්ම සිර කළ බව ද ඇය අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා සිටියා ය.

"මට මතකයි මගේ බෙල්ලේ තිබු ඔහුගේ අත ඉවත් කිරීමට මම උත්සහ කරනවා. මේ අවස්ථාවේ දී මගේ ජීවිතය ගැන මට බියක් ඇතිවුණා," ඇය පැවසුවා ය.

"මම ඔහුට පැවසුවා ටිකක් වේගය අඩු කරන්න කියා. නමුත් ඔහු වේගය අඩු කළේවත් මට ප්‍රතිචාර දැක්වුවෙවත් නැහැ."

ලිංගික සංසර්ග ක්‍රියාවලිය අවසන් වී තත්ත්පර කිහිපයකට පසුව කොන්ඩමය බිම වැටී තිබෙන අයුරු ඇය දුටු බව තරුණිය විසින් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසුවා ය.

 

'පැමිණිලිකාරිය කැමතිව තිබුණේ ආරක්‍ෂිත ලිංගික එක්වීමට පමණයි'

නඩු විභාගයේ ප්‍රධානතම ප්‍රශ්නය වූයේ ධනුෂ්ක ගුණතිලක ලිංගික සංසර්ගයේ දී "පැමිණිලිකාරියගේ අනුදැනුමකින් තොරව කොන්ඩමය ඉවත් කළේ ද යන්න ගැන" බව අධිචෝදක ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් අධිකරණය හමුවේ පැවසුවේ ය.

"පැමිණිලිකරු ආරක්ෂිත ලිංගික ක්‍රියාවලියකට පමණක් එකඟවී තිබෙනවා," අධිචෝදකවරයා කියා සිටියේ ය.

"පළිගනීවියැ යි ඇතිවූ බිය නිසා" කොන්ඩමය සම්බන්ධයෙන් කිසිවක් පැවසීමට ආරක්ෂිත නොවන බවට අදාළ තරුණියට හැඟී තිබූ බව එහිදී නීතිඥවරිය පැවසුවා ය.

 

'පැමිණිල්ල එය ඔප්පු කළ යුතුයි'

මේ අතර, ඔහුගේ සේවාදායකයා වන ධනුෂ්ක ගුණතිලක "හිතාමතාම ඇගේ කැමැත්තට පටහැනිව කොන්ඩමය ඉවත් කළ බව" පැමිණිල්ල විසින් ඔප්පු කළ යුතු බව ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුරුගන් තංගරාජ් අධිකරණය හමුවේ කියා සිටියේ ය.

තම සේවාදායකයා ඔහුගේ දුරකථනය අගුළු හැරීම (අන්ලොක් කර දීම), වරෙන්තුවක් නොමැතිව ඔහුගේ හෝටල් කාමරය සහ බඩු බාහිරාදිය පරික්ෂා කිරීමට ඉඩ දීම ඇතුළුව පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කළ බවත් ඔහු එහිදී පෙන්වා දෙන ලදී.

එමෙන්ම පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ බවත්, එහිදී ඔහු “කොන්ඩම් නොමැතිව ඍජු ලිංගික සංසර්ගයේ යෙදීම තරයේ ප්‍රතික්ෂේප කළ” බවත් නීතිඥ තංගරාජ් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

(BBC සිංහල සේවය)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...