The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගය ලෝක කුසලාන ඉතිහාසය අලුත් කළ හැටි

T

The Leader Desk

October 8, 2023 • 4:07 AM

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගය ලෝක කුසලාන ඉතිහාසය අලුත් කළ හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (ඔක් 7 වැනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් ලකුණු 102 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.
  • ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පැමිණි දකුණු අප්‍රිකාවේ පළමු කඩුල්ල ලෙස ටෙම්බා බවුමාගේ කඩුල්ල දවා ගැනීමට දිල්ෂාන් මධුශංක සමත් විය.
  • ඒ වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව සටහන් වුයේ පන්දු වාර 01යි පන්දු 4 කදී ලකුණු 10ක් ලෙසයි.
  • බවුමාගේ දැවී යෑමෙන් පසු කුවින්ටන් ඩීකොක් සමග පිටියට එක්වූ වැන් ඩේ ඩුසන් දකුණු අප්‍රිකාවේ ඉනිම නැවත ගොඩ නැගීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ පැවති මෙම තරගයේදී වාර්තා රැසක් අලුත් වීම ද විශේෂත්වයකි.

තරගය පැවැත්වුණේ, දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදීය.

භූමරංගයක් වූ තීරණය

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දසුන් නායක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පැමිණි දකුණු අප්‍රිකාවේ පළමු කඩුල්ල ලෙස ටෙම්බා බවුමාගේ කඩුල්ල දවා ගැනීමට දිල්ෂාන් මධුශංක සමත් විය.

ඒ වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව සටහන් වුයේ පන්දු වාර 01යි පන්දු 4 කදී ලකුණු 10ක් ලෙසයි.

බවුමාගේ දැවී යෑමෙන් පසු කුවින්ටන් ඩීකොක් සමග පිටියට එක්වූ වැන් ඩේ ඩුසන් දකුණු අප්‍රිකාවේ ඉනිම නැවත ගොඩ නැගීමට සමත් විය.

සිය පළමු පන්දු වාර 10 තුලදී එක් කඩුල්ලක් දැවී ලකුණු 48ක් පමණක් රැස් කර තිබු දකුණු අප්‍රිකා ඉනිමට ජවයක් ගෙන ඒමට කුවින්ටන් සහ වැන් ඩේ ඩුසන් සමත් විය.

දුර්වල පන්දු රැකීමෙන් ගිලිහිණු අවස්ථාව

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් උඩ පන්දු 5ක් සහ එක් දුවද්දි දවා ගැනීමේ අවස්ථාවක් ගිලිහි ගිය අතර ඉන් ප්‍රයෝජනය ගත් දකුණු අප්‍රිකානු පිතිකරුවෝ විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට සමත් වූහ.

තරගය පුරා ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඉතා දුෂ්කර පන්දු රැකීමක නිරත වූ අතර එහිදී ඔවුන් අතින් උඩ පන්දු 5 ක් සහ එක් දුවද්දී දවාගැනීමට තිබූ අවස්ථාවක් මඟහැරී ගිය අයුරු දක්නට ලැබිණ.

එම උඩ පන්දු 5 න් 3 ක් සහ දුවද්දී දවාගැනීමට තිබූ අවස්ථාව ශතක ලබාගත් ඩි’කොක්ගේ සහ වැන්ඩර් ඩසන්ගේ වීමද, ඔවුන් එම අවස්ථා ලබාදුන්නේ ශතක ලබාගැනීමට පෙරාතුව වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.


•    ඕවර 22.1 දී - ලකුණු 65 ක් ලබා සිටි වැන්ඩර් ඩසන්, ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ මිඩ් විකට් කළාප‍යේ පන්දු රකිමින් සිටි සදීර සමරවික්‍රමට ලබාදුන් උඩ පන්දුව

•    ඕවර 22.5 දී - ලකුණු 54 ක් ලබා සිටි ක්වින්ටින් ඩි’කොක්, ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ලෝන් ඕන් කළාප‍යේ පන්දු රකිමින් සිටි චරිත් අසලංකට ලබාදුන් උඩ පන්දුව

•    ඕවර 25.5 දී - ලකුණු 71 ක් ලබා සිටි වැන්ඩර් ඩසන්, දුනිත් වෙල්ලා‍ලගේගේ පන්දුවක් හමුවේ බැක්වඩ් පොයින්ට් කළාප‍යේ පන්දු රකිමින් සිටි පැතුම් නිස්සංකට ලබාදුන් උඩ පන්දුව

•    ඕවර 28.1 දී - ලකුණු 85 ක් ලබා පිතිකරු අන්තයේ සිටි ක්වින්ටින් ඩි’කොක් දුවද්දී දවාගැනීමට සදීර සමරවික්‍රමට තිබූ අවස්ථාව

•    ඕවර 38.6 දී - ලකුණු 4 ක් ලබා සිටි හෙන්රච් ක්ලාසන්, කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ඔහු අතටම ලබාදුන් උඩ පන්දුව

•    ඕවර 40.2 දී - ලකුණු 18 ක් ලබා සිටි හෙන්රච් ක්ලාසන්, කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ඔහු අතටම ලබාදුන් උඩ පන්දුව



කුවින්ටන් ඩි කොක් පන්දු 83 කදී ලකුණු 100ක් රැස් කළ අතර ඔහු සිය ශතකය රැස් කොට ඊළඟ පන්දුවෙන් දැවී ගියේ මතිෂ පතිරණගේ පන්දුවක් හමුවෙයි.

කුවින්ටන් සහ වෑන් ඩේ ඩුසන් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 204ක් රැස් කිරීමට සමත්වූහ.

කුවින්ටන් ඩි කොක්ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි ඒඩ්න් මාක්ක්‍රම් සහ වැන් ඩේ ඩුසන් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක් එක් කිරීමට සමත් විය.

වැන් ඩේ ඩුසන් පන්දු 110 කදී ලකුණු 108ක් රැස් කරගෙන සිටියදී දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් විය.

Screenshot 2023 10 08 at 09.16.44
ලෝක වාර්තාවක් වූ පිතිහරඹය

වැන් ඩේ ඩුසන් ගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් ගෙන දුන් ඒඩ්න් මාක්ක්‍රම් සහ හෙන්රි ක්ලාසන් වේගවත් පිති හරඹයක නිරත වුහ.

මාක්ක්‍රම් සහ හෙන්රි ක්ලාසන් දකුණු අප්‍රිකානු ඉනිමේ සිව්වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක් එක් කිරීමට සමත් විය.

පන්දු 20 කදී වේගවත් ලකුණු 32ක් රැස් කළ ක්ලාසන් ගේ කඩුල්ල දවා ගැනීමට කසුන් රාජිත සමත් විය.

ඒඩ්න් මාක්ක්‍රම් පන්දු 49 කදී ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර එය ලෝක කුසලාන තරගාවලියකදී පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

මාක්ක්‍රම් පන්දු 56 කදී ලකුණු 106ක් රැස් කරනු ලැබූ අතර දිල්ශාන් මධුශංකගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු පුවරුව දැක්වුයේ පන්දු වාර 47.1 කදී ලකුණු 383 කට කඩුලු 5ක් ලෙසයි.

දකුණු අප්‍රිකානු පිතිකරුවන් සිය ඉනිමේ අවසන් පන්දු වාර 10 ය තුළදී ලකුණු 137ක් රැස් කරන ලදී.

එම පිතිප්‍රහාරය සමග ලෝක කුසලාන තරගාවලියකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත් විය.

දකුණු අප්‍රිකාව සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 428ක් රැස් කිරීමට සමත් විය.

Screenshot 2023 10 08 at 09.19.03
කුසල් මෙන්ඩිස්ගේ ආක්‍රමණශීලි ප්‍රහාරය

ලකුණු 429ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගියේ මාර්කෝ ජැන්සන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ ගැටීමෙනි.

ඉන් පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකානු පන්දු යවන්නට එරෙහිව ආක්‍රමණශීලි පිතිහරඹයක නිරත විය.

මෙන්ඩිස් පන්දු 25 කදී වේගවත් ලකුණු 50ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් 6ක් සහ හතරේ පහරවල් 3ක් ඇතුළත් විය.

කෙසේ වුවද ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 67ක් වන විට කුසල් ජනිත් පෙරේරා ලකුණු 7 කට දවා ගැනීමට මාර්කෝ ජැන්සන් සමත් විය.

මේ අතර ශ්‍රී ලංකා ඉනිමේ තෙවන කඩුල්ල සඳහා ලකුණු 42ක් එක් කරමින් සිටියදී කුසල් මෙන්ඩිස් ලකුණු 76 කට දවා ගැනීමට කාගිසෝ රබාඩා සමත් විය.

මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහරවල් 8ක් සහ හතරේ පහරල් 4ක් ඇතුළත් විය.

මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසු සදීර සමරවික්‍රම ලකුණු 23ක් රැස් කරගෙන සිටියදී දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දැක්වුනේ පන්දු වාර 13.2 කට ලකුණු 111ක් ලෙසයි.

සදිරගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 39ක් එක් කරන ලදී.

එසේ වුවද ධනංජය ද සිල්වා ලකුණු 11ක් රැස් කරගෙන සිටියදී දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම දිස්වුයේ පන්දුවාර 20 යි එක් පන්දුවකදී ලකුණු 150කට කඩුලු 05ක් ලෙසයි.

Screenshot 2023 10 08 at 09.20.43
චරිත් අසලංකගේ සටන්කාමි ඉනිම

ධනංජය ද සිල්වාගේ දැවී යාමෙන් පසු චරිත් අසලංක, නායක දසුන ශානක සමග එක්ව ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් ගෙන ඒම සඳහා දැඩි වෙහෙසක් දැරීය.

අසලංක පන්දු 65 කදී ලකුණු 79ක් රැස් කරගෙන සිටියදී ලුන්ගී එන්ගිඩිගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

අසලංක සහ ශානක ශ්‍රී ලංකා ඉනිමේ හයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක සම්බන්ධතාවයක් එක් කරන ලදී.

Screenshot 2023 10 08 at 09.22.09
කලකට පසු ලකුණු අතරට පැමිණි නායකයා

පසුගිය එක්දින තරග 17 කට පසුව ලකුණු අතරට පැමිණීමට නායක දසුන් ශානක ඊයේ සමත් විය.

දසුන් ශානක සහ කසුන් රාජිත 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක් එක් කරන ලදී.

ඔහු පන්දු 62 කදී හයේ පහරවල් තුනක් සහ හතරේ පහරවල් 6ක් සමග ලකුණු 68ක් රැස් කර ගෙන සිටියදී කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වුයේ පන්දු වාර 39 යි පන්දු 4 කදී කඩුලු 08ක් දැවී ලකුණු 289ක් ලෙසයි.

වේග පන්දු ක්‍රීඩක කසුන් රාජිත පන්දු 31කදි හයේ පහරක් සහ හතරේ පහරවල් 4ක් සමග ලකුණු 33ක් රැස් කරන ලදී.

ශ්‍රී ලංකාව පන්දු වාර 44.5 කදී ලකුණු 326 කට දැවී ගියේය.

Screenshot 2023 10 08 at 09.23.32
ඊයේ තරගයේ බිහිවුණු නව වාර්තා මොනවාද ?

* කණ්ඩායම් දෙකක් විසින් තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව (දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව - ලකුණු 754ක් )

* එක්දින ලෝක කුසලාන තරගයක දී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව. (දකුණු අප්‍රිකාව ලකුණු 428/5)

* එක්දින තරගවලදී ශ්‍රී ලංකාවට එරෙහිව කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව. (දකුණු අප්‍රිකාව ලකුණු 428 / 5)

* නවදිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව. (දකුණු අප්‍රිකාව ලකුණු 428 / 5)

* ලෝක කුසලාන තරගයක පළමු වතාවට එක් ඉනිමකදී පිතිකරුවන් තිදෙනෙකු ශතක රැස් කළ පළමු අවස්ථාව (කුවින්ටන් ඩි කොක්, වැන්ඩේ ඩුසන් සහ ඒඩ්න් මාක්ක්‍රම්)

* ලෝක කුසලාන තරගයක වේගවත්ම ශතකය ( ඒඩන් මාක්‍රම් පන්දු 49කදී)

(BBC සිංහල සේවය)

දකුණු අප්‍රිකාව

ක්වින්ටින් ඩි’කොක් - ඇ.ධනංජය ප.පතිරණ    100
ටෙම්බා බවුමා  - ක.මු. කළා ප.මධුෂංක     8
රාසි වැන්ඩර් ඩසන් - ඇ.සධීර ප.වෙල්ලාලගේ    108
ඒඩ්න් මාක්‍රම් - ඇ.රාජිත ප.මධුෂංක     106
හෙන්රිච් ක්ලාසන් - ඇ.ශානක ප.රාජිත     32
ඩේවිඩ් මිලර් - නොදැවී     39
මාර්කෝ ජැන්සන් - නොදැවී     12
අතිරේක     23
එනතුව ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී     428

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
ජෙරල්ඩ් කොයෙට්සර්, කේෂව් මහරාජ්, ලුංගි න්ගිඩි සහ කගිසෝ රබාඩා

කඩුලු වැටීම :
1-10(බවුමා), 2-214(ඩි‍’කොක්), 3-264(ඩසන්), 4-342(ක්ලාසන්), 5-383(මාක්‍රම්)

පන්දු යැවීම :
කසුන් රාජිත 10-1-90-1, දිල්ෂාන් මධුෂංක 10-0-86-2, දසුන් ශානක 6-0-36-0, ධනංජය ද සිල්වා 4-0-39-0, මතීෂ පතිරණ 10-0-95-1, දුනිත් වෙල්ලාලගේ 10-0-81-1

ශ්‍රී ලංකාව

පැතුම් නිස්සංක - ප.ජැන්සන්     0
කුසල් පෙරේරා - ප.ජැන්සන්    7
කුසල් මෙන්ඩිස් - ඇ.ක්ලාසන් ප.රබාඩා    76
සදීර සමරවික්‍රම - ඇ.ජැන්සන් ප.කොයෙට්සර්     23
චරිත් අසලංක - ඇ.හෙන්ඩ්‍රික්ස් ප.න්ගිඩි    79
ධනංජය ද සිල්වා - ඇ.පෙලුක්වායෝ ප.මහරාජ්    11
දසුන් ශානක - ප.මහරාජ්     68
දුනිත් වෙල්ලාගේ  - ඇ.ක්ලාසන් ප.කොයෙට්සර්    0
කසුන් රාජිත - ඇ.මාක්‍රම් ප.කොයෙට්සර්     33
මතීෂ පතිරණ - ප.රබාඩා     5
දිල්ෂාන් මධුෂංක - නොදැවී    4
අතිරේක     20
එකතුව ඕවර 44.5 කදී සියලු දෙනා දැවී     326

කඩුලු වැටීම :
1-01(නිස්සංක), 2-67(පෙරේරා), 2-109(මෙන්ඩිස්), 4-111(සමරවික්‍රම), 5-150(සිල්වා), 6-232(අසලංක), 7-233(වෙල්ලාලගේ), 8-291(ශානක), 9-322(රාජිත), 10-326(පතිරණ)

පන්දු යැවීම :
ලුංගි න්ගිඩි 8-1-49-1, මා‍කෝ ජැන්සන් 10-0-92-2, කගිසෝ රබාඩා 7.5-0-50-2, කේෂව් මහරාජ්  10-0-62-2, ජෙරල්ඩ් කොයෙට්සර් 9-0-68-0

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...