The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට මෙන්ම නවසීලන්තයට තීරණාත්මක තරගය අද

T

The Leader Desk

November 9, 2023 • 5:09 AM

ශ්‍රී ලංකාවට මෙන්ම නවසීලන්තයට තීරණාත්මක තරගය අද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (09) පැවැත්වේ.
  • දෙපිලම මේ වනවිට තරග 8කට සහභාගී වී ඇති අතර දෙපිලටම මෙම තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත්වේ.
  • මේ අතර ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට 2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් අද තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍යයි.
  • ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව හත්වැනි සහ අටවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන සෙසු කණ්ඩායම් බවට පත්වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, නවසීලන්තයට එරෙහිවයි.

තරගාවලියේ 41 වැනි තරගය වන මෙය බැංගලෝර්හිදී මෙරට වෙලාවෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.

දෙපිලම මේ වනවිට තරග 8කට සහභාගී වී ඇති අතර දෙපිලටම මෙම තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත්වේ.

තරගාවලියේ ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසු වන නවසීලන්තයට අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීම සඳහා මෙම තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතු වේ.

මේ අතර ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට 2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් අද තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍යයි.

 

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් සහභාගි වූ තරග 8 න් 6 ක්ම පරාජයට පත්ව මූලික වටයෙන්ම ඉවතට විසිවූ ශ්‍රී ලංකාව, ලබන වසරේ (2024) පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ සඳහා අද (9 වැනිදා) නවසීලන්තය පරාජය කිරීමේ අරමුණින් තරග බිමට පි‍විසෙනු ඇත.

 

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්ව තිබුණද, එළබෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ස්ථානයක් හිමිකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් බව කණ්ඩායමේ සහාය පුහුණුකරු මෙන්ම පිතිහරඹය පුහුණුකරු ලෙසද කටයුතු කරන නවීඩ් නවාස් මාධ්‍ය හමුවේ පැවසිය. 

“දැන් අපිට මේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්න බැහැ. ඒත් ජයග්‍රහණයකින් තරගාවලිය අවසන් කරන්න පුළුවන් නම් ඒක හුඟක් හොඳයි. ඒ නිසා මේ තරගයේදි අපි නවසීලන්තයට හොඳ තරගයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ තරගය ජයගත්තොත් අපිට ලබන වසරේ ශූරයන්ගේ තරගාවලියට සුදුසුකම් ලබාගන්නත් හොඳ අවස්ථාවක් තියෙනවා. ක්‍රීඩකයන් සියලු දෙනාම ‍තරගය සඳහා හොඳ සූදානමකින් ඉන්නවා” යැයිද නවස් පැවසීය. 

 

පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සත්කාරක පාකිස්තානය හැරුණුකොට තවත් රටවල් 7 ක් සහභාගි කරවා ගැනීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇත. මේ වන විටත් ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, නවසීලන්තය සහ ඇෆ්ඝනිස්ථානය ඊට සුදුසුකම් ලබා සිටියි. ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව හත්වැනි සහ අටවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන සෙසු කණ්ඩායම් බවට පත්වනු ඇත.

 

තරග 8 කට සහභාගි වී ඉන් තරග 2 ක් ජයගෙන, තරග 6 ක් පරාජය වී ඇති ශ්‍රී ලංකා මේ වන විට ලකුණු 4 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ රැදී සිටියි. ලකුණු 4 බැගින් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි සහ 8 වැනි ස්ථානවල පසුවන එංගලන්තයට සහ බංග්ලාදෙශයටද තවත් තරගය බැගින් ඉතිරිව තිබේ. කෙසේ වුවත් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය ජයගැනීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ස්ථානයක් අහිමිවීමට වැඩි ඉඩක් පවතී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පුහුණු සැසිය ඊයේ පස්වරුවේ එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඊට ක්‍රීඩකයන් සියලු දෙනාම එක්ව සිටියත් ඇන්ජලෝ මැතිව්ස් සහ චාමික කරුණාරත්න හැරුණු කොට කිසිදු ක්‍රීඩකයකු පිතිහරඹයේ හෝ පන්දු යැවීමේ නිරත නොවීය. පුහුණු සැසියට වැස්සෙන් බාධා නොවුණද, පසුගිය දින කිහිපයේදීම ක්‍රිඩාංගණය අවට ප්‍රදේශයට වර්ෂාව ඇද හැළී ඇතැයි වාර්තා වේ. එබැවින් අද තරගයට වැස්සෙන් බාධා එල්ල ‍වීමේ ඉඩක් ඇතැයි කාලගුණ වාර්තා පවසයි.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින ජාත්‍යන්තර තරග 101 ක් පවත්වා ඇති අතර ඉන් තරග 51 ක් ජයගැනිමට නවසීලන්තයද, 41 ක් ජයගැනීමට ශ්‍රී ලංකාවද සමත්ව තිබේ. තරග 8 ක් විසඳුමකින් තොරව නිමාවට පත්ව ඇති අතර එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වී තිබේ. එක්දින ලෝක කුසලාන තරග 11 කදී මෙම කණ්ඩායම් දෙක මුහුණට මුහුණ හමුවී ඇති අතර ඉන් තරග 6 ක ජය ශ්‍රී ලංකවද, 5 ක ජය නවසීලන්තයද සතු වී ඇත.

ශ්‍රී ලංකා සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් ජනිත්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, දිල්ෂාන් මධුෂංක සහ දුෂ්මන්ත චමීර

නවසීලන්ත සංචිතය
කේන් විලියම්සන් (නායක), ඩෙවොන් කොන්වේ, රචින් රවින්ද්‍ර, ඩල්රි මිචෙල්, ටොම් ලේතම්, ග්ලේන් පිලිප්ස්, මාක් චැප්මන්, මිචෙල් සෑන්ට්නර්, ඉෂ් සෝධි, ටිම් සවුති, ට්‍රෙන්ට් බෝල්ට්, ‍‍ලොකී ෆර්ගසන්, කයිල් ජැමීසන්, විල් යංග් සහ ජේම්ස් නීෂම්,

(උපුටා ගැනීම් - kelimandala.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...