The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔස්ට්‍රේලියා ලෝක කුසලාන ජයග්‍රහණයේ ඉන්දීය හස්තය

T

The Leader Desk

November 27, 2023 • 11:48 AM

ඔස්ට්‍රේලියා ලෝක කුසලාන ජයග්‍රහණයේ ඉන්දීය හස්තය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය පෙරුම් පිරුවේ ටෙනිස් ක්‍රීඩිකාවක් වීමට. නමුත් දෛවය ඇයව ගෙන ගියේ වෙනත් ගමනක.
  • ක්‍රීඩිකාවක් ලෙසින් සමුගත්තද ඇය ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉවත් වුනේ නැහැ.
  • කටාර් ටෙනිස් පදනමේ තෙවසරක රැකියාවෙන් ක්‍රීඩා කළමනාකරණය පිළිබඳව වටිනා පළපුරුද්දක් ලබා ගත් ඇය පසුව ඔස්ට්‍රේලියාව ට ගිය අතර එහිදී ඇඩිලේඩ් ක්‍රිකට් කණ්ඩායම සමග වැඩ කිරීමේ අවස්ථාව අනපේක්ෂිත අයුරින් උදාවීම ඇයගේ ඉරණම බවට පත්වුනා.
  • විශේෂයෙන් ඉන්දියාව වැනි රටක, මිනිස්සු 1,25,000ක් ඉදිරියේ එය ඉතාමත් විස්මිත අත්දැකීමක්.
අකුරු ප්‍රමාණය (Font Size):


යොවුන් වියේදී ටෙනිස් ක්‍රීඩිකාවක වූ ඇය පුහුණුව ලැබුවේ හිටපු ඉන්දීය ටෙනිස් ක්‍රීඩක හා පුහුණුකරු ක්‍රිෂ්නා භූපති විසින් පවත්වා ගෙන යන භූපති ටෙනිස් ගම්මානයේ. නමුත් එක පිට එක පැමිණි ආබාධයන් නිසා ඇගේ ටෙනිස් සිහිනය බොඳව ගියා.

ක්‍රීඩිකාවක් ලෙසින් සමුගත්තද ඇය ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉවත් වුනේ නැහැ. කටාර් දේශයේ කානිගී මෙලන් (Carnegie Mellon) සරසවියෙන් BBA උපාධිය ලැබූ ඇය ක්‍රීඩාවට තිබුනු ඉමහත් ආශාව නිසා ක්‍රීඩා කළමනාකරණය වෙත යොමු වුනා.

ut

කටාර් ටෙනිස් පදනමේ තෙවසරක රැකියාවෙන් ක්‍රීඩා කළමනාකරණය පිළිබඳව වටිනා පළපුරුද්දක් ලබා ගත් ඇය පසුව ඔස්ට්‍රේලියාව ට ගිය අතර එහිදී ඇඩිලේඩ් ක්‍රිකට් කණ්ඩායම සමග වැඩ කිරීමේ අවස්ථාව අනපේක්ෂිත අයුරින් උදාවීම ඇයගේ ඉරණම බවට පත්වුනා. එම කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස සාර්ථක වීම හේතුවෙන් ඇය ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස පත්කරනු ලැබුවා. 

පසුගිය වසරේදී තාවකාලිකව සිය ක්‍රිකට් කළමනාකරණ කාර්යයෙන් ඉවත් වූ ඇය කටාර් දේශයේ පැවති 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පාපන්දු ක්‍රීඩාංගණයක් කළමනාකරණය කිරීම පිණිස කෙටි කාලයකට නැවත කටාර් ගියා. 

එහිදී සිවු මසක පාපන්දූ රාජකාරිය නිමවා ඇය යළි ඔස්ට්‍රේලියාව ට පැමිණෙන විට ඇයගේ සිත් බඳනාසුලු සේවා වාර්තාව හා පළපුරුද්ද සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බළධාරීන්ගේ අවධානය යොමු වී තිබුනා.

cric s 2
ඉන්දියාවේදී පසුගියදා නිමාව දුටු 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායම කළමනාකරණය කිරීමේ භාරදූර වගකීම ඇයට පැවරුනේ මේ ආකාරයෙන්. 

අවසානයේදී ඇගේ කළමනාකාරිත්වය යටතේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම, ජය නියත කරගෙන තරගාවලියේ අපරාජිත ගමනක කෙළවර වූ අහමදාබාද් නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයට පැමිණ සිටි ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම මුළු මහත් ඉන්දියාව ම හඬවමින් පරදවා ලෝක ශූරයින් බවට පත්වූ අතර ඔස්ට්‍රේලියා ජයග්‍රහණයේ ඉන්දීය හස්තය වුනේ ඇය.

“ක්‍රිකට් ලෝක කුසලානය අත් දෙකෙන් අල්ලා ගෙන ඉන්න හැමදාම ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් ඉන්දියාව වැනි රටක, මිනිස්සු 1,25,000ක් ඉදිරියේ එය ඉතාමත් විස්මිත අත්දැකීමක්. ඉතාමත් සාර්ථක ක්‍රිකට් කණ්ඩායමක කොටසක් වෙමින් පසුබිමේ සිට ඔවුන් සමග කටයුතු කරන්න ලැබීම මා ලද වාසනාවක්” යනුවෙන් ජයග්‍රහණයෙන් පසුව ඇය ප්‍රකාශ කළා.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර සිටි ඇය කවුද?

urmi 89

උර්මිලා රොසාරියෝ (Urmila Rosario)....ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුව ක්‍රීඩා ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ 34 හැවිරිදි ආදර්ශමත් කාන්තාව.

ක්‍රීඩා බිමේ සාර්ථකත්වයක් ලබා ගැනීමට අපොහොසත් වූ තරුණ තරුණියන්ට මේ සාර්ථක ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකාරිනිය දෙන පණිවුඩය ඉතා වැදගත් වන්නේ එවැනි උපදේශයක් දීමට ඇය හැමඅතින් ම සුදුසු නිසා.

“ක්‍රීඩාවේ එක් නිශ්චිත කාර්යයක කාරණා කටයුතු ඔබට උවමනා පරිදි සිදු නොවී පසුබෑම් ඇතිවන විට, ක්‍රීඩා පරිසරයේම රැඳී සිටීම පිණිස එහි අනෙකුත් දේවල් ගවේෂණය කිරීමට උත්සාහ කරන්න.” 

urmi 0234823

“සමහර අවස්ථාවලදී අපි එක දෙයක් ගැන කොච්චර අවධානය යොමුකර සිටිනවාද කියතොත් ඉන් පිටත ලබා ගත හැකිව තිබෙන්නේ මොනවාද කියා බලන්නෙවත් නැහැ. ඔබ ක්‍රීඩකයෙකු වශයෙන් සාර්ථකත්වයක් ලබා ගන්නේ නැත්නම්, ක්‍රීඩා ක්ෂේත්‍රය ඇතුළේ ලබා ගැනීමට තවත් නොයෙකුත් අවස්ථා තිබෙන බව අමතක කරන්න එපා කියලා තමයි මට තරුණ පරපුරට දෙන්න තියෙන පණිවුඩය. ක්‍රීඩා උත්තේජනය ලබන්න අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ම විය යුතු නැහැ!” 

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානයක් වන මන්ගලෝරු නගරය අසල කිනිගෝලි (Kinnigoli) ප්‍රදේශයෙන් පැවත එන උර්මිලා ඩෝහා අගනුවර උපත ලැබුවේ කටාර් රාජ්‍යයට පැමිණි අයිවි (Ivy) හා වැලන්ටයින් රොසාරියෝ (Valentine Rosario) යුවලගේ දරුවෙකු ලෙසින්. කටාර් හි වසර 40ක් ජීවත් වීමෙන් පසුව මේ යුවල දැන් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ සක්ලේෂ්පුර් (Sakleshpur) නමැති කඳුකර ප්‍රදේශයේ කෝපි වත්තක් මිලදී ගෙන එහි කෝපි වගා කරනවා.

පාසල් යන කාලයේ ටෙනිස් ක්‍රීඩාවට අමතරව තම දියණිය බාස්කට්බෝල්, රුවල් ඔරු පැදීම හා බන්ජි පැනීම (බන්ජි ලණුවක් පය බැඳ උසක සිට කරන පැනුම් ක්‍රීඩාව) වැනි ක්‍රීඩාවන් කෙරෙහි අවධානය යොමු කළත් ඇය ක්‍රිකට් ක්‍රීඩාව සමග මෙතරම් කිට්ටු සම්බන්ධයක් ගොඩනගා ගනු ඇතැයි කිසිවිටෙකත් නොසිතූ බව උර්මිලාගේ පියා වන වැලන්ටයින් පවසන්නේ සිනාසෙමින්.

urmi 2934792
ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු නොවන අතරවාරයේ ඉන්දියානු විදෙස් ගමන් බලපත්‍රයක් පමණක් තිබුනු ඇයව මීට සිවු වසරකට පෙර ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස පත්කර ගැනීම ඉතාමත් අමුතු දෙයක් බවයි වැලන්ටයින්ගේ හැඟීම.

කාන්තා ක්‍රිකට් කණ්ඩායම සාර්ථකව කළමනාකරණය කිරීමත් ඉන්දියාව පිළිබඳව මනා දැනුමක් හා එරට හින්දි, කන්නාඩ හා කොන්කානි භාෂා කතා කිරීමේ හැකියාවත් නිසා උර්මිලා ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වූ ඔස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධූරය සඳහා තෝරා ගන්නට ඇතැයි තමා සිතන බව පියා පවසනවා. 

උර්මිලාගේ කළමනාකාර රැකියාවට අනුව කණ්ඩායමේ ප්‍රවාහන පහසුකම් හා නැවතීමේ පහසුකම් යනාදී සියළු දේ ඇයට බාර වී තිබෙනවා. මේ හේතුවෙන් විශාල පිරිසක් ඇය යටතේ සේවය කරන බව ඇගේ මව වන අයිවි කියනවා. 

මේ කටයුතුවල නිරත වීමේදී බිම් මට්ටමේ සේවකයින්ගෙන් ලැබෙන විස්තර හා ආරංචිවලින් ඇයට ඇගේ රාජකාරිය සාර්ථකව ඉටු කර ගැනීමට මං විවර වී එමගින් කණ්ඩායමට උපකාරයක් වන තොරතුරු ලැබෙනු ඇතැයි යන වැදගත් බලාපොරොත්තුව ද ඇයට කළමනාකාර ධූරයේ පත්වීම ලබා දීමේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බළධාරීන්ගේ උපාය මාර්ගික සිත් තුළ තිබෙන්නට ඇති.

urmi 9237293asd
“මම බලාගන්නේ පිටියෙන් පිටත කටයුතු. මේ නිසා ගොඩක් අය ඉල්ලීම් හා ප්‍රශ්න අරගෙන මාව හමුවෙන්න එනවා. ඔවුන්ට අවශ්‍ය දේ ලැබෙන බවට මම සහතික වෙනවා” යැයි උර්මිලා පෙන්වා දෙනවා.

ඉන්දියාව සමග ජනවාරි 10 වැනිදා දක්වා පැවැත්වෙන තරගමාලාවකට සහභාගි වීම පිණිස එරට සංචාරයක යෙදෙන ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස උර්මිලා රොසාරියෝ දෙසැම්බර් 13 වැනිදා නැවත ඉන්දියාවට පැමිණීමට නියමිතයි. එබැවින්.......

ඉන්දියාව ප්‍රවේශම් වන්න. ඇය ආයෙමත් එනවා!


සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...