The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‘පැරිස් ඔලිම්පික්’ පිහිනුම් තරග සෙන් නදියේ පවත්වන්න හැකිවේවිද ?

T

The Leader Desk

December 2, 2023 • 11:54 AM

‘පැරිස් ඔලිම්පික්’ පිහිනුම් තරග සෙන් නදියේ පවත්වන්න හැකිවේවිද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෙන් නදිය (Seine River) ප්‍රංශ රටේ ජීවිතය, සංස්කෘතිය හා අනන්‍යතාවේ ප්‍රධාන ඉසව්වක් ලෙස සදාකල් පවතිනවා.
  • 2002 වසරේ ගිම්හානයේදී අලුත් සෙන් සම්ප්‍රදායක් ආරම්භ වුනා.
  • දැන් සෑම ග්‍රීෂ්ම සෘතුවකම පාම් ගස්, වෙරළ පුටු, අයිස් ක්‍රීම් තට්ටු හා තවත් බොහෝ දේවල් සමග ටොන් ගණනින් වැලි ද පැරිසියේ සෙන් පදික ඉවුරට ගෙන එනු ලබන්නේ එය ‘පැරිස් ප්ලේජස්’ (Paris Plages) නමින් හැඳින්වෙන වෙරළ තීරයක් බවට පරිවර්තනය කරමින්.
  • ලබන වසරේ ප්‍රංශයේ පැවැත්වෙන ‘2024 පැරිස්’ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දුර පිහිනුම් සහ තුන්ප්‍රයාම තරග මෙන්ම සමාරම්භක උත්සවය ද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මේ සෙන් නදියේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සෙන් නදිය කටේ පිහිටි ලුරාව්ර (Le Havre) වරාය ප්‍රංශයේ විශාලතම ජාත්‍යන්තර නැව් ‌තොටුපළ වන අතර සෙන් ගංගාව ගලා බසින්නේ ප්‍රංශයේ පරිපාලන කලාප විසිහතෙන් ධනවත් ම හා වඩාත්ම ජනාකීරණ කලාපය වන එල්එල්ඊ-ඩි-ෆ්‍රෑන්ස් (lle-de-France) හෝ පැරිස් කලාපය (Paris Region) ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය හරහා.

ඔස්ට්‍රියාව, බෙල්ජියම, පින්ලන්තය, පෘතුගාලය, නෝවේ හෝ ස්වීඩනය යන රටවලට වඩා වැඩි නිවැසියන් ප්‍රමාණයක් මේ දිස්ත්‍රික්කයේ පදිංචි වී සිටිනවා. ආර්ථිකමය වශයෙන් ‘එල්එල්ඊ-ඩි-ෆ්‍රෑන්ස්’ ලෝකයේ සිවුවැනියට විශාල වන අතර එය යුරෝපයේ ධනවත් ම හා විශාලතම කලාපීය ආර්ථිකය ද වෙනවා.

5edef741b9e55 img 1929

2002 වසරේ ගිම්හානයේදී අලුත් සෙන් සම්ප්‍රදායක් ආරම්භ වුනා. දැන් සෑම ග්‍රීෂ්ම සෘතුවකම පාම් ගස්, වෙරළ පුටු, අයිස් ක්‍රීම් තට්ටු හා තවත් බොහෝ දේවල් සමග ටොන් ගණනින් වැලි ද පැරිසියේ සෙන් පදික ඉවුරට ගෙන එනු ලබන්නේ එය ‘පැරිස් ප්ලේජස්’ (Paris Plages) නමින් හැඳින්වෙන වෙරළ තීරයක් බවට පරිවර්තනය කරමින්. මෙමගින් නිර්මාණය වී තිබෙන්නේ නාගරික අව්ව තපින්නන් සඳහා වන මක්කමක්.

ලබන වසරේ ප්‍රංශයේ පැවැත්වෙන ‘2024 පැරිස්’ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දුර පිහිනුම් සහ තුන්ප්‍රයාම තරග මෙන්ම සමාරම්භක උත්සවය ද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මේ සෙන් නදියේ.

ජල තත්ත්වයේ ගැටලුවක් නිසා ග්‍රීෂ්ම සෘතුවේදී සෙන් ගංගා දියේ බැස නෑම යෝග්‍ය වන්නේ සාමාන්‍යයෙන් දින තුනකින් දෙකකදී පමණයි. නමුත් ලබන වසරේ ඔලිම්පික් උළෙල ළංවෙමින් තිබෙන බැවින් සෙන් ගංගාවේ ජලයේ ගුණාත්මක බව තවදුරටත් වැඩිදියුණු කිරීමට පැරිසිය බලාපොරොත්තු වෙනවා.

ඔලිම්පික් ඉසව් සෙන් ජලයේ පැවැත්වීම හා 2025 වසරේ ගිම්හානය වන විට සෙන් නදියේ නිර්දේශිත ස්ථානවල පැරිස්වාසීන්ට දියේ ගිලී නාන්න පුළුවන් තරමට එය ශුද්ධ කිරීමයි ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ. 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඒ ඉලක්කය කරා යාමට විශාල තල්ලුවක්.
paris olympics eiffel tower 2024
කලාතුරකින් ලැබුනු අධික වර්ෂාවන් හා ජලාපවහන ප්‍රශ්නයක් නිසා සෙන් ජලය සෞඛ්‍ය මට්ටමට නොපැමිණීම හේතුවෙන් පසුගිය ග්‍රීෂ්ම සෘතුවේ ක්‍රීඩා තරග කිහිපයක් අහෝසි කෙරුණා.

“1970 දශකයෙන් පසුව මෙවැනි වර්ෂාපතනයක් අපි දුටුවේ නැහැ” බලශක්තිය සහ දේශගුණික විපර්යාස, ජලය හා මහජන ප්‍රදේශ පිළිබඳව පැරිස් නගරාධිපතිගේ උපදේශක පෝලීන් ලෙවූ (Pauline Lavaud) ප්‍රකාශ කරනවා.

සෙන් ගංගාවේ අපවිත්‍රවීමේ අවදානම සැලකිය යුතු තරමින් අඩු කිරීම සඳහා අපවිත්‍ර ජලය ඝන මීටර් 46,000ක් රඳවා තබා ගත හැකි ආරක්ෂක ජල ටැංකියක් පැරිස් නගරය ඉදිකරමින් සිටිනවා.

දුර පිහිනුම් හා තුන්ප්‍රයාම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෙන් නදියේ පිහිනීම ආරක්ෂිත බවට තහවුරු කිරීම පිණිස ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලයේ සෑම දිනයකම ජලය පරීක්ෂා කරනු ඇතැයි සඳහන්.

මීටර් 30ක් ගැඹුර ඔලිම්පික් පිහිනුම් තටාක දොළහක ප්‍රමාණයේ යෝධ ටැංකියේ වැසි ජලය රැස් කිරීමෙන් පසුව එය දුම්රිය ස්ථානයට යටින් තිබෙන උමඟක් ඔස්සේ යන්ත්‍රයකට ගලා යන පරිදි හිස් කිරීමටයි සැලසුම.

Paris Plages 12
ජලය සෙන් නදියට මුදා හැරෙන්නේ එය සම්මත සෞඛ්‍ය ප්‍රමිතියට පත්වීමෙන් පසුව.

“සෙන් ගංගාව නෑමට සුදුසු තැනක් බවට පත්කිරීමේ අපේ ව්‍යාපෘතියට ඔලිම්පික් උළෙල මගින් අවුරුදු දහයක වාසියක් අපට ලබා දී තියෙනවා” යනුවෙන් ලෙවූ පවසනවා.

මේ අතර, 1980 දශකයේදී මාළු වර්ග දෙකක් පමණක් සොයා ගැනීමට ලැබුණු සෙන් ගංගාවේ දැන් පොකිරිස්සන් ද ඇතුළුව මත්ස්‍ය වර්ග තිහකට වැඩි ප්‍රමාණයක් සිටින බව පැරිස් අගනගරයේ පිරිසිදුකම හා ජලය පිළිබඳ අධ්‍යක්ෂ බෙන්ජමින් රෙයිග්නෝ (Benjamin Raigneau) අනාවරණය කරනවා.

“අපි සියළුම අවදානම් තත්ත්වයන් අඩු කිරීමට උත්සාහ කරනවා. එක දවසක් පිහිනීම කළ නොහැකි නම් ඒ ඉසව් කල්දමන්න පුළුවනි. සති දෙකක් නවතින්නෙ නැතිව වැස්සොත් තත්ත්වය අමාරු වෙයි” ලෙවූ කියනවා.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල සමීප වන විට සෙන් ගංගාව පාලනය කිරීමේ කටයුතු වැඩි කෙරෙනු ඇති අතර එහි අපද්‍රව්‍ය පද්ධතිය සමග සම්බන්ධ වී සිටීමට සියළුම බෝට්ටු නීතියෙන් බැඳී සිටිනවා.

ufiinqivfn8ig30anqpe
විනිවිදභාවය ද මෙහිදී වැදගත් වනු ඇති අතර සෙන් ගංගා ජලයේ තත්ත්වය පිළිබඳ විස්තර ඔ්නෑම කෙනෙකුට ලබා ගත හැකි බවට පැරිස් නිළධාරීන් තවමත් සහතික වී නැහැ. කෙසේ‌ වෙතත් එම විස්තර පළ නොකරණ බවක් ද ඔවුන් ප්‍රකාශ කර නැහැ.

“අපි මේ ගැන ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනත් එක්ක සාකච්ඡා කළ යුතුව තිබෙනවා” යැයි පෝලීන් ලෙවූ සඳහන් කරනවා.

වසර සියයක කාලයක් මහජනතාවට සෙන් ගංගාවේ පිහිනීමට අවසර දී නොතිබුණු අතර දිනෙක තමා සාක්ෂිකරුවන් ඉදිරියේ සෙන් ගංගාවේ පිහිනන බවට හිටපු පැරිස් නගරාධිපති ජෑක් ෂීරැක් (Jacques Chirac) 1988 වසරේදී පොරොන්දු වුනා.

ඒ සිහිනය සැබෑ කිරීමේ ආසන්නයට වර්තමාන නගරාධිපතිනිය වන ඈන් හඩල්ගෝ (Anne Hidalgo) පැමිණ සිටියත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිදුවන ඔ්නෑම ඇබැද්දියක් ඒ සිහින ගමන අධෛර්යයට පත්කරවන හේතුවක් වනු ඇති බවටයි සැලකෙන්නේ.

“ඔලිම්පික් තරග පැවැත්වෙන දිනවල සෙන් නදියේ පිහිනීම සුදුසු නොවීමේ අවදානම සැමවිටම තියෙනවා. නමුත් අපි අපේ උරුමය ආරක්ෂා කරනවා” යනුවෙන් ප්‍රකාශ කරන්නේ ලබන වසරේ අප්‍රේල් මාසය වන විට සම්පූර්ණ කිරීමට නියමිත යුරෝ බිලියන 1.4 (ඩොලර් බිලියන 1.53)ක දැවැන්ත ජල ටැංකි ව්‍යාපෘතිය මෙහෙයවන සැමුඅල් කොලින්-කැනිවස් (Samuel Colin-Canivez).

සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...