The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හිල්ස්බර ව්‍යසනය ගැන කෑගසමින් ගිය පාපන්දු ක්‍රීඩා ලෝලීන් අත්අඩංගුවට

T

The Leader Desk

January 19, 2024 • 11:18 AM

හිල්ස්බර ව්‍යසනය ගැන කෑගසමින් ගිය පාපන්දු ක්‍රීඩා ලෝලීන් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිල්ස්බර - Hillsborough - ව්‍යසනය පිළිබඳව නින්දිත ආකාරයට ගීත පාඨ කියමින් ලිවපූල් කණ්ඩායමට එරෙහි තරගය නැරඹීම පිණිස
  • ඇන්ෆීල්ඩ් ක්‍රීඩාංගණය පිටත හටගත් මේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට යටත්ව මේ පුද්ගලයන් තිදෙනා නිදහස් කර ඇති අතර ඔවුන්ගේ චෝදනා ඉදිරියේදී ගොනු කෙරෙනු ඇතැයි වාර්තා වෙනවා.
  • චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන එම ක්‍රීඩා ලෝලියා ඔහුගේ නීතිඥයන් මාර්ගයෙන් සාක්කිකරුවන් ඉදිරිපත් වන ලෙසට ඉල්ලා තිබෙන්නේ ඔහුගේ නිදොස් බව තහවුරු කිරීම පිණිස.
  • මේ සිද්ධීන් වාර්තා වෙන්නේ හිල්ස්බර ඛේදවාචකය පිළිබඳව කිසිම පාඨ කෑගැසීමක් නොකරන ලෙසට මේ ක්‍රීඩා සමාජ දෙකේ ම බළධාරීන් විසින් ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් තරගයට පෙර ඉල්ලීමක් කර තිබියදී.
අකුරු ප්‍රමාණය (Font Size):

එංගලන්තයේ ඇන්ෆීල්ඩ් පාපන්දු ක්‍රීඩාංගණයට යමින් සිටි මැන්චෙස්ට යුනයිටඩ් කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් තිදෙනෙකු පොලිසිය පසුගියදා අත්අඩංගුවට ගත්තා.

මර්සීසයිඩ් පොලිසිය විසින් මේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ මහත් විපතක් ගැන ගීත පාඨ කීම සම්බන්ධයෙන් වන මහජන ආඥා පනත යටතේ.

ඇන්ෆීල්ඩ් ක්‍රීඩාංගණය පිටත හටගත් මේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට යටත්ව මේ පුද්ගලයන් තිදෙනා නිදහස් කර ඇති අතර ඔවුන්ගේ චෝදනා ඉදිරියේදී ගොනු කෙරෙනු ඇතැයි වාර්තා වෙනවා.

P2023 03 05 Liverpool Man Utd 9

තවත් සිදුවීමකදී, මැන්චෙස්ට යුනයිටඩ් ක්‍රීඩා ලෝලියෙක් ඇන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයෙන් දොට්ට දමා තිබෙන්නේ ඛේදවාචකයට සම්බන්ධ වචනයක් කීම නිසාවෙන්. චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන එම ක්‍රීඩා ලෝලියා ඔහුගේ නීතිඥයන් මාර්ගයෙන් සාක්කිකරුවන් ඉදිරිපත් වන ලෙසට ඉල්ලා තිබෙන්නේ ඔහුගේ නිදොස් බව තහවුරු කිරීම පිණිස.

මේ සිද්ධීන් වාර්තා වෙන්නේ හිල්ස්බර ඛේදවාචකය පිළිබඳව කිසිම පාඨ කෑගැසීමක් නොකරන ලෙසට මේ ක්‍රීඩා සමාජ දෙකේ ම බළධාරීන් විසින් ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් තරගයට පෙර ඉල්ලීමක් කර තිබියදී.

80090229 0 image a 1 1705421529856

ඛේදවාචකයන් සම්බන්ධයෙන් ගීත පාඨ කීම සඳහා වැට බැඳීම පිණිස බළධාරීන් විසින් මෙහෙයුමක් දියත් කර තිබෙන අතර එමගින් හිල්ස්බර ඇතුළු ව්‍යසනයන් පිළිබඳව ගායනා කරන ක්‍රීඩා ලෝලීන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට ක්‍රීඩාංගණවලට ඇතුළු වීමේ තහනම් නියෝග පැනවීමේ හැකියාව ද තිබෙනවා.

හිල්ස්බර ව්‍යසනය යනු එංගලන්තයේ දකුණු යෝක්ෂ ප්‍රාන්තයේ ෂෙෆීල්ඩ් නගරයේ පිහිටි හිල්ස්බර ක්‍රීඩාංගණයේ පැවති පාපන්දු තරගයකදී හටගත් මාරාන්තික මිනිස් තෙරපීම. 1989 වසරේ අප්‍රේල් මස 15 වැනිදා මේ ඛේදවාදචකය සිදුවුනේ ලිවපූල් හා නොටිංහැම් ෆොරස්ට් කණ්ඩායම් අතර පැවති එෆ්.ඒ.කුසලාන පාපන්දු අවසන් පූර්ව තරගය අතරතුර. ලිවපූල් ආධාරකරුවන්ට වෙන්වූ ලෙපිංග්ස් පටු මඟේ පිහිටි නරඹන්නන්ට සිටගෙන පමණක් තරග නැරඹීමට සිදුවන,  කොටු කරන ලද ස්ථාන දෙකේ මේ මිනිස් තෙරපීම ඇතිවුනා.

තරගය ආරම්භ වීමට ටික වේලාවකට පෙර, ඇතුළුවීමේ කැරකෙන කඩුල්ලට පිටින් පොරකමින් සිටි අධික සෙනඟ කන්දරාව අඩු කිරීමේ උත්සාහයක් ලෙසින් මේ තරගය වෙනුවෙන් පත්කර සිටි පොලිස් අණදෙන නිලධාරී David Duckenfield පිටවීමේ ‘සී’ ගේට්ටුව අරින ලෙසට නියෝග කළ අතර එයින් සිදුවුනේ මිනිස් ගඟක් එකවරම කොටු කරන ලද ස්ථානවලට ඇතුළු වීම. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මේ ස්ථාන ඕනෑවට වඩා අධික ලෙස ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරී ගියේ තදබල මිනිස් තෙරපීමක් හටගනිමින්. සිද්ධියෙන් 97 දෙනෙකු මිය ගොස් තවත් 766 දෙනෙකුට තුවාල සිදුවූ අතර මෙය එංගලන්ත ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා වුනු වැඩිම මරණ සංඛ්‍යාව යි. 

හිල්ස්බර ව්‍යසනය සිදුවූ දිනයේ පුද්ගලයින් 94 දෙනෙකු මිය ගිය අතර ඊට දින කිහිපයකට පසුව තව පුද්ගලයෙක් රෝහලේදී මිය ගියා. තවත් පුද්ගලයෙක් මිය ගියේ ඊට සිවු වසරකට පසුව.

hilimage
ඛේදවාචකයෙන් වසර 32කට පසුව Andrew Devine නමැති පුද්ගලයා මරුමුවට පත්වූයේත් සිද්ධිය වූ දිනයේ මොළයට ඇතිවූ බරපතළ හානිය නිසා බවට 2021 වසරේ ජූලි මාසයේදී හදිසි මරණ පරීක්ෂකවරයා විසින් තීරණය කිරීමත් සමග හිල්ස්බර ව්‍යසනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 97ක් බවට පත්වුනා. 

 123043891 img 3718

මේ තරගය එදින පැවැත්වීම අහෝසි කෙරුනු අතර ඊට දින 22කට පසුව 1989 මැයි 7 වැනිදා මැන්චෙස්ටර් නගරයේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පාපන්දු ක්‍රීඩාංගණයේදී නැවත තරගය පැවැත්වු අවස්ථාවේදී ලිවපූල් කණ්ඩායම තරගය ජය ගෙන ඉදිරියට ම ගොස් එම ක්‍රීඩා වාරයේ එෆ්.ඒ.කුසලානය ද ජයග්‍රහණය කළා.

සිද්ධියෙන් පසුව සති ගණනාවක් යනතුරු දකුණු යෝක්ෂ පොලිසිය මාධ්‍ය වෙත අසත්‍ය තොරතුරු ලබා දුන්නේ මේ ව්‍යසනය පාපන්දු පාදඩකම සහ ලිවපූල් ආධාරකරුවන්ගේ බීමත්කම නිසා ඇතිවූ බවට අදහස් දක්වමින්. හිල්ස්බර ක්‍රීඩාංගණයේ ඛේදවාචකයට ප්‍රධාන හේතුව සෙනඟ පාලනය කිරීමට දකුණු යෝක්ෂ පොලිසිය අසමත්වීම බවට සිද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා පත්කළ Lord Justice Taylorගේ 1990 ‘ටේල වාර්තාවේ’ සඳහන්ව තිබීමෙන් පසුවත් ලිවපූල් ක්‍රීඩා ලෝලීන්ට වරද පැටවීම නොනවත්වා සිදුකෙරුනා. ටේල වාර්තාවෙන් පසුව රජයේ නීති අධ්‍යක්ෂවරයා තීරණය කළේ සිද්ධිය සම්බන්ධව කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට කෙළින් ම නඩු පැවරීම සඳහා සාක්කි නොමැති බව.

160426 hines hilsborough tease xcibyu

එංගලන්ත පාපන්දුවේ ඉහළ ම තරගාවලියන් දෙකේ තරග සිටගෙන පමණක් නැරඹිය හැකි කොටු කෙරුනු ස්ථාන ඉවත් කර ඒ වෙනුවට ආසනවලින් සම්පූර්ණ වූ ක්‍රීඩාංගණ පමණක් යෙදවීම ඇතුළු ආරක්ෂක දියුණුකිරීම් ගණනාවක් එංගලන්තයේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගණවල සිදුකිරීමට මේ ඛේදවාචකය මුල් වුනා.
සටහන :
වැලිකතරේ ගිනියම් වූ පාපන්දුවෙන් මිදෙන්න දඟලන විදෙස් සුපිරි ක්‍රීඩකයෝ(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...