The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජාතිවාදී අපහාස එල්ල කරන ක්‍රීඩා ලෝලීන්ගේ සමාජවලට ඉබේ ක්‍රියාත්මක වන දඬුවම්

T

The Leader Desk

January 22, 2024 • 11:24 AM

ජාතිවාදී අපහාස එල්ල කරන ක්‍රීඩා ලෝලීන්ගේ සමාජවලට ඉබේ ක්‍රියාත්මක වන දඬුවම් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  •   ලෝක පාපන්දුවේ ලොක්කා මේ ප්‍රකාශය කර තිබෙන්නේ Coventry City කණ්ඩායමේ කේසී පාම (Kasey Palmer) හා AC Milan කණ්ඩායමේ මයික් මෙන්යෝ (Mike Maignan) වර්ගවාදී පරිභව කිරීම්වලට ලක්වීමෙන් පසුව.
  • ෂෙෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව බදාදා පැවති චැම්පියන් ශූරතා තරගයේදී කේසී පාම ඉලක්ක කර ගත් ප්‍රතිවාදී ක්‍රීඩා ලෝලීන් ඔහු වඳුරෙකු ලෙස අඟවන අංග චලනයක යෙදෙමින් ඔහුට අපහාස කර තිබෙන අතර තරගය ටික වේලාවකට නතර වී තිබෙනවා.
  • තරගය නිමා වීමෙන් පසුව 27 හැවිරිදි පාම කලකිරුනු ස්වභාවයෙන් සිටින අයුරු දුටු ඔහුගේ කණ්ඩායම් සගයින් හා කළමනාකරු ඔහු වැළඳ ගෙන ඔහුව සනසා තිබෙනවා.
  • පාම තරගයෙන් පසුව තමා විඳි හිරිහැරය ගැන සමාජ මාධ්‍යයෙන් මෙසේ ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජාතිවාදී අයුරින් බැණ වදිමින් ක්‍රීඩකයන්ට නින්දා කරන ක්‍රීඩා ලෝලීන් අයත් පාපන්දු ක්‍රීඩා සමාජවලට එරෙහිව ඉබේ ක්‍රියාත්මක වන තරග අහිමිකරණය ඇතුළු දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන ලෙසට ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ඉල්ලා සිටිනවා.

 

ලෝක පාපන්දුවේ ලොක්කා මේ ප්‍රකාශය කර තිබෙන්නේ Coventry City කණ්ඩායමේ කේසී පාම (Kasey Palmer) හා AC Milan කණ්ඩායමේ මයික් මෙන්යෝ (Mike Maignan) වර්ගවාදී පරිභව කිරීම්වලට ලක්වීමෙන් පසුව.

ෂෙෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව බදාදා පැවති චැම්පියන් ශූරතා තරගයේදී කේසී පාම ඉලක්ක කර ගත් ප්‍රතිවාදී ක්‍රීඩා ලෝලීන් ඔහු වඳුරෙකු ලෙස අඟවන අංග චලනයක යෙදෙමින් ඔහුට අපහාස කර තිබෙන අතර තරගය ටික වේලාවකට නතර වී තිබෙනවා. තරගය නිමා වීමෙන් පසුව 27 හැවිරිදි පාම කලකිරුනු ස්වභාවයෙන් සිටින අයුරු දුටු ඔහුගේ කණ්ඩායම් සගයින් හා කළමනාකරු ඔහු වැළඳ ගෙන ඔහුව සනසා තිබෙනවා.

පාම තරගයෙන් පසුව තමා විඳි හිරිහැරය ගැන සමාජ මාධ්‍යයෙන් මෙසේ ප්‍රකාශ කළා. “මෙහි ‌මේ වගේ සටහනක් තබන්න සිදුවීම ගැන පවා  දැනෙන්නේ ලොකු කලකිරීමක්. ජාතිවාදය මහත් අවමානයක්...පාපන්දුවේ පමණක් නෙවෙයි මුළු ලෝකයේ ම ඊට තැනක් නැහැ.”

“මම කළු ජාතිකයෙක්. ඒ ගැන මම ආඩම්බරයි. මම මගේ දරුවන් තුන් දෙනාව හදන්නෙත් ඒ වගේ ම වෙන්නයි.”

“මම ඇත්තම කියන්නම්. අපි කොච්චර අමාරුවෙන් උත්සාහ කළත් මේ තත්ත්වය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ.”

“ක්‍රීඩා ලෝලීන් කිහිප දෙනෙක් වඳුරෙකුගේ සද්ද දාන එකෙන් සමස්ත ක්‍රීඩා ලෝලී වේදිකාව ම නිර්වචනය කෙරෙන්නේ නැහැ. ඒකෙන් මට ලැබී තිබෙන ආදරය හා සහයෝගය මම අගය කරනවා.”

ඉතාලි පාපන්දුව තවත් ජාතිවාදී කුණාටුවකට හසුවුනේ Udinese කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්ගේ නින්දාවන් හමුවේ AC Milan කණ්ඩායමේ ගෝල් රකින ක්‍රීඩක මයික් මෙන්යෝ පිටියෙන් ඉවත්ව යාමෙන්. ඔහුගේ කණ්ඩායමේ සගයන් ද ඔහු සමග එක්ව තරග බිමෙන් පිටත්ව ගිය අතර තරගය නැවත ආරම්භ වුනේ මිනිත්තු 10කින් පසුව.

ඉතාලියේ Udine නගරයේ Bluenergy ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවති ඉතාලි Serie A තරගයේ තම කණ්ඩායම පෙරමුණ ගෙන ස්වල්ප වේලාවකින් පසුව තමාට ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්ගේ අපහාස කිරීමක් ඇසුනු බව තරග විනිසුරුට අඟවමින් 28 හැවිරිදි ප්‍රංශ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයා තරගයේ 33 වැනි මිනිත්තුවේදී පිටියෙන් ඉවත්ව ගියේ ජාතිවාදී අපහාසයන් නිසා තරගයක් අත්හිටුවන ලෙසට ඉල්ලා සිටි පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්.

“ඔයාටත් ඒක ඇහුනද?” යනුවෙන් මෙන්යෝ තරග විනිසුරුගෙන් ඇසූ බවට  DAZN කැමරාවන් වාර්තා කළා.

මිනිත්තු දහයක කාලයක් පිටියෙන් ඉවත්ව සිටීමෙන් පසුව මයික් මෙන්යෝ ඔහුගේ කණ්ඩායම සමග නැවත පිටියට පිවිසියේ කෝපයෙන්. 

තමා පිළිබඳවත් වටපිටාව පිළිබඳවත් මනා අවබෝධයෙන් යුතුව ඔහු තරගය අත්හිටුවන ලෙසට තරග විනිසුරුට සංඥා කරද්දී Udinese ක්‍රීඩකයන් මේ ගෝල්රකින්නාව වැළඳ ගෙන ඔහුව සිපගත්තා.

 

skynews udinese mike maignan 6428004මයික් මෙන්යෝ

තරග බිමට ඔහුගේ නැවත පැමිණීම සංකේතවත් වුනේ විකාර රූපී වාතාවරණයක නැගුනු විසිල් හඬින්.

තරග විනිසුරුවන් විසින් ලබා දුන් සහතිකයකින් පසුව මෙන්යෝ නැවතත් ගෝල් කණු අතරට පිවිසියද ක්‍රීඩාංගණයේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් කෙරුනු නිවේදනයකින් පසුව ජාතිවාදී කෑගැසීම් තවදුරටත් පැවතීම හේතුවෙන් මෙන්යෝ කණ්ඩායම් අනෙක් ක්‍රීඩකයන් ද සමග යළි පිටිය හැර ගියා.

“අපි‌ට මේ විදියට පාපන්දු ක්‍රීඩා කරන්න බැහැ” මෙන්යෝ තරගයෙන් පසුව පැවසුවා. “ගෝලය ඉදිරිපිටින් මම මගේ පළමු පහර ලබා ගනිද්දී වඳුරන්ගේ මැතිරිල්ල ඇහුනත් මම මුකුත් කිවුවේ නැහැ. දෙවැනි ගෝල් පහරේදීත් ඔවුන් ඒ දෙය ම කළ නිසා මම මගේ ක්‍රීඩකයන් අසුන්ගෙන සිටි බංකුවටත් සිවුවැනි තරග විනිසුරුටත් ඒ බව දැන්නුවා.”

“මේවාට දැඩි දඬුවම් තිබිය යුතුයි. කතාවෙන් විතරක් වැඩක් නැහැ” ඔහු කියා සිටියා.

ප්‍රංශ පාපන්දු නායක කිලියන් එම්බප්පෙ සමාජ මාධ්‍යට පිවිසෙමින් X වේදිකාව හරහා තම ජාත්‍යන්තර කණ්ඩායම් සගයා මෙසේ ඇමතුවා: “ඔබ ඈතක සිටියත් කිසිම මොහොතක ඔබ තනිවෙලා නැහැ මයික් මෙන්යෝ. අපි සියළු දෙනා ම ඔබ සමගයි.”

 

විශිෂ්ටයන් අභිබවා සීඝ්‍රගාමී ගමනක් යන Kylian Mbappeකිලියන් එම්බප්පෙ

“තාම තියෙන්නේ පරණ ප්‍රශ්න ම යි. තවමත් විසඳුමක් නැහැ. දැන් නම් ඇති කියන්නේ හොඳ ට ම ඇති නිසායි. ජාතිවාදය එපා එපා ම යි.”

මිනිත්තු හතකට පසුව නැවත තරගය ආරම්භ වී දෙවැනි භාගය තවත් එවැනි සිදුවීමක් නැතිව ගතවීමෙන් පසුව අවසානයේ මිලාන් පිල ගෝල් 3-2ක තියුණු ජයක් වාර්තා කළා.

ගෝලයේ සිට ඉදිරියට පන්දුව යැවීමේ පහර එල්ල කිරීමට පන්දුව අතට ගත් දෙවතාවේදී ම සෙනඟ දෙසින් තමාට වඳුරු ශබ්ද හා නින්දිත වචන මතුරන හඬ ඇසුනු බව කළු ජාතික මයික් මෙන්යෝ තරගයෙන් පසුව Sky Sports ට කියා සිටියා.

“ඔවුන් නූගත් මිනිස්සු...තමාගේ ක්‍රීඩා භූමියෙන් පිට ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරන විට එහි සිටින ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්ගෙන් ‘හූ’ හඬ හෝ විසිල් හඬ ඇසෙන්නට ලැබීම සාමාන්‍ය දෙයක්. නමුත් අද සිදුවුනු දේ ට පාපන්දුවේ ඉඩක් නැහැ” යැයි ඔහු ප්‍රකාශ කළා.

තරගයෙන් පසුව මිලාන් ආධාරකරුවෝ මයික් ට සහාය පළ කරමින් X වේදිකාවේ මෙසේ කියා සිටියා: “ජාතිවාදයට කිසිම ඉඩක් අපේ ක්‍රීඩාවේ පැහැදිළිව ම නැහැ. මේ සිදුවීම ගැන අප තුළ ඇතිව තිබෙන්නේ දැඩි පිළිකුලක්. අපි ඔබ සමගයි මයික්!”

මීට සතියකට පෙර Roma කණ්ඩායම සමග පැවති Serie A ඉතාලි කුසලාන තරගයේදී Lazio කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් විසින් රොමෙලූ ලූකාකූ (Romelu Lukaku) ට ජාතිවාදී අපහාස කිරීමේ වරදට Lazio කණ්ඩායමට ඔවුන්ගේ එක් සත්කාරක තරගයක් ක්‍රීඩා ලෝලීන් නැති හිස් ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීමේ දඩුවමක් පැනවුනා.

 

Pictures 1 1
ලූකාකූ මීට පෙරත් මෙවැනි ම අපහාසයන්ගෙන් පීඩා වින්දා. ඒ, පසුගිය අප්‍රේල් මාසයේ ‘ඉන්ට මිලාන්’ (Inter Milan) කණ්ඩායම වෙනුවෙන් ‘යීවෙන්ටස්’ (Juventus) කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ තරගයේදී. මේ සිද්ධියේදී හඳුනාගත් යීවෙන්ටස් ක්‍රීඩා ලෝලීන්  117 දෙනෙකුට ක්‍රීඩාංගණ තහනමක් ලැබුනා.

ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් කියා සිටියේ ජාතිවාදී අයුරින් හැසිරෙන  නින්දාසගත ක්‍රීඩා ලෝලීන් සිටින ක්‍රීඩා සමාජවලට මීට වඩා දැඩි දඬුවම් තිබිය යුතු බවට තමා විශ්වාස කරන බව.

 

ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති

FIFA වෙනුවෙන් පළ කෙරුනු නිවේදනයේ මෙසේ සඳහන් වෙනවා: “ Udine හා Sheffield හි හටගත් සිදුවීම් දැඩි පිළිකුල් සහගත හා කිසිසේත්ම පිළිගත නොහැකි සිද්ධීන්. ජාතිවාදයට හෝ කිසිම ආකාරයක වෙනස්කම් කිරීමකට පාපන්දු ක්‍රීඩාවේත් සමාජයේත් කිසිම ඉඩක් නැහැ. මේ සිදුවීම්වලට මුහුණ දුන් ක්‍රීඩකයන්ට මගේ නොවෙනස් සහයෝගය තියෙනවා.”

“මේ සිද්ධීන්වලට අදාළ බළධාරීන් මේ සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතුව තිබෙනවා. මෙවැනි ක්‍රියාවන් පාපන්දුවේ හෝ සමාජයේ කොටසක් නොවන බවට අනාගත පරම්පරාව දැනුවත් කරන අධ්‍යාපනයක් පාසලෙන් ලබා දෙමින් මේ පියවර ආරම්භ කළ යුතුයි.”

“තරගය නතර කළා, තරගය නැවත නතර කළා, තරගය අතහැර දැමුනා යන තුන් පියවරේ ක්‍රියාදාමය වගේම ජාතිවාදය අවුස්සමින් තරගය අත්හිටුවීමට හේතුවූ ක්‍රීඩා ලෝලීන් සිටින ක්‍රීඩා සමාජ ඉබේ ම දඩයට යටත් වන ක්‍රමවේදයක් ක්‍රියාවෙහි යොදවන්න ඔ්න. ඒ වගේම ජාතිවාදීන්ට ලොව පුරා ක්‍රීඩාංගණ තහනමක් හා අපරාධ චෝදනා ගොනු කළ යුතුයි.”

“FIFA සහ පාපන්දු ලෝකය ජාතිවාදයට හෝ ඔ්නෑම ආකාරයක වෙනස්ව සැළකීමකට ලක්වූ වින්දිතයන්ට සම්පූර්ණ සහයෝගය දෙනවා. එකම හා අන්තිම වතාවටත් කියන්නේ: ජාතිවාදය එපා! කිසිම ආකාරයක වෙනස්කම් කිරීමක් එපා!”

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජාතිවාදී අපහාස එල්ල කරන ක්‍රීඩා ලෝලීන්ගේ සමාජවලට ඉබේ ක්‍රියාත්මක වන දඬුවම් | The Leader