The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දුප්පත්කම නිසා මහපාරේ පුහුණු වී මහපාරේම මිය ගිය මැරතන් ලෝක වාර්තාලාභී කෙන්යානුවා

T

The Leader Desk

February 12, 2024 • 9:50 AM

දුප්පත්කම නිසා මහපාරේ පුහුණු වී මහපාරේම මිය ගිය මැරතන් ලෝක වාර්තාලාභී කෙන්යානුවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැරතන් ලෝක වාර්තාව උසුලන කෙල්වින් කිප්ටම් (Kelvin Kiptum) ඔහුගේ පුහුණුකරු ද සමග මිය යාමේ ශෝචනීය පුවතෙන් මුළු මහත් මලල ක්‍රීඩා ලෝකය ම දැඩි කම්පාවට පත්ව සිටිනවා.
  • තවත් දෙදෙනෙකු සමග රිය පදවමින් සිටි කිප්ටම් ට මෝටර් රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පෙරලී යාමෙන් මේ අනතුර සිදුව ඇතැයි වාර්තා වෙනවා.
  • කිප්ටම් තත්පර 34කින් මකා දැමුවේ දෙවතාවක් ඔලිම්පික් ශූරයා වූ එලියඩ් කිප්චොගේ (Eliud Kipchoge) බර්ලිං හි දී 2022 වසරේ පිහිටුවා තිබූ ලෝක වාර්තාව. ලෝක මලල ක්‍රීඩා සම්මේලනය කිප්ටම්ගේ නව ලෝක වාර්තාව අනුමත කළේ පසුගිය සතියේ.
  •   2022 දෙසැම්බරයේ වැලන්සියා හි ජයග්‍රහණය අත්කර ගැනීමෙන් පසුව 2023 අප්‍රේල් මාසයේදී ලන්ඩන් මැරතන් තරගය කිප්ටම් පැය 2යි මිනිත්තු 1යි තත්පර 25කින් ජය ගත්තේ පැරණි වාර්තාව මකා දමමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


24 හැවිරිදි කිප්ටම් ඔහුගේ පුහුණුකරු වන ජවේස් හෑකිසාමිනා (Gervais Hakizimana) සමග ඉරිදා (ඊයේ) රාත්‍රියේ මිය ගොස් ඇත්තේ කෙන්යාවේ සිදුවූ මාර්ග අනතුරකින්. තවත් දෙදෙනෙකු සමග රිය පදවමින් සිටි කිප්ටම් ට මෝටර් රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පෙරලී යාමෙන් මේ අනතුර සිදුව ඇතැයි වාර්තා වෙනවා.

අනතුරෙන් කිප්ටම් සහ හෑකිසාමිනා එතැනම ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර තෙවැනි පුද්ගලයා රෝහල් ගතකර තිබෙනවා.

 

81149495 0 image a 1 1707723149935

කෙන්යාවේ කෙල්වින් කිප්ටම් පැය 2යි තත්පර 35ක කාලයක් සටහන් කරමින් නව මැරතන් ලෝක වාර්තාව බිහි කළේ පසුගිය වසරේ ඔක්තෝබර් 8 වැනිදා චිකාගෝ නුවර දී. මේ වික්‍රමයත් සමග ඔහු පැය 2යි මිනිත්තුවකට අඩුවෙන් මැරතන් තරගයක් අවසන් කළ ලොව පළමු මිනිසා බවට පත්වුනා. කිප්ටම් තත්පර 34කින් මකා දැමුවේ දෙවතාවක් ඔලිම්පික් ශූරයා වූ එලියඩ් කිප්චොගේ (Eliud Kipchoge) බර්ලිං හි දී 2022 වසරේ පිහිටුවා තිබූ ලෝක වාර්තාව. ලෝක මලල ක්‍රීඩා සම්මේලනය කිප්ටම්ගේ නව ලෝක වාර්තාව අනුමත කළේ පසුගිය සතියේ.

 

2022 දෙසැම්බරයේ වැලන්සියා හි ජයග්‍රහණය අත්කර ගැනීමෙන් පසුව 2023 අප්‍රේල් මාසයේදී ලන්ඩන් මැරතන් තරගය කිප්ටම් පැය 2යි මිනිත්තු 1යි තත්පර 25කින් ජය ගත්තේ පැරණි වාර්තාව මකා දමමින්. ඊට මාස කිහිපයකට පසුව මැරතන් ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දැමුනු දිවීම කිප්ටම් වාර්තා කළේ ඔහු සහභාගි වූ තෙවැනි මැරතන් තරගයේදී පමණක් ම වීම විශේෂත්වයක්.

කෙන්යානු මලල ක්‍රීඩා බළධාරීන් ඔවුන්ගේ තාවකාලික පැරිස් ඔලිම්පික් සංචිතයට කිප්ටම් හා කිප්චොගේ ඇතුළත් කර තිබුනා. අප්‍රේල් 14 වැනිදා පැවැත්වෙන රොටර්ඩෑම් මැරතන් තරගයට ද කිප්ටම් තරග වැදීමට නියමිතව සිටියා.


ඉතිහාසයේ වේගවත්ම මැරතන් ධාවකයන් දෙදෙනා එකට තරග වදින ඉසව්ව පැරිස් ඔලිම්පික් වීමටයි කටයුතු යෙදී තිබුනේ.

 

004a497c28a138689da117d994da8d969b7c8a9d 1707722643 2915c95d 1920x1280
“කිප්චොගේව මුණගැසෙන්න ලැබීම හරිම ප්‍රබෝධමත් අවස්ථාවක් වේවි. ඔහු ගොඩක් දෙනෙක් තුළ පෙළඹවීමක් ඇතිකර තියෙනවා. එයාට එරෙහිව දුවන්න මම සූදානම්” යනුවෙන් කිප්ටම් ඔහුගේ ලෝක වාර්තාගත දිවීමට මොහොතකට පෙර කියා තිබුනා.


“මම පැරිස් ඔලිම්පික් උළෙල ගැන සිහින මවනවා. තේරීම් නිළධාරීන් මාව තේරුවොත් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙමින් එහෙ ගිහිං පදක්කමක් දිනා ගන්න උත්සාහ කරනවා” කිප්ටම් පවසා තිබුනා.

පැය 2යි මිනිත්තු 2කට අඩුවෙන් මැරතන් කාලයන් මාස 12ක් ඇතුළත තෙවතාවක් වාර්තා කිරීමට සමත් වූ ලෝකයේ පළමු පුද්ගලයා වන්නේ ද කෙල්වින් කිප්ටම්.

 

kiptum record

“කවදා හරි දවසක ලෝක මැරතන් වාර්තාව හිමිකර ගැනීම මගේ සිහිනයක් වී තිබුනා. මම ලබන වසරේ චිකාගෝවල හෝ 2025දී හෝ එය අත්කර ගන්න සැලසුම් කරගෙන හිටියා. වාසනාවට, ඊට පෙර 2023 චිකාගෝ හි දී මට එය ලැබුනා. එය මගේ සිහිනය සැබෑ වීමක්” යනුවෙන් කිප්ටම් 2023 ඔක්තෝබර් ජයග්‍රහණයෙන් පසුව සඳහන් කර තිබුනා. තම ක්‍රීඩා දිවියේ උපරිම මට්ටමේ සිටියදී මිය ගිය දෙවැනි ප්‍රසිද්ධ කෙන්යානු මැරතන් ක්‍රීඩකයා වන්නේ කිප්ටම්.

2008 බෙයිජිං හි දී ඔලිම්පික් මැරතන් වාර්තාව පිහිටුවූ සැමුඅල් වන්ජීරෝ (Samuel Wanjiru) ඔහුගේ නිවසේ බැල්කනියකින් බිමට වැටීමෙන් පසුව මිය ගියා. ඔලිම්පික් මැරතන් තරගයක් ජය ගත් පළමු කෙන්යානු ජාතිකයා වූයේ ඔහු. වයස අවුරුදු 23ක් වන විට ඔහු ඔලිම්පික්, චිකාගෝ 2009 හා 2010 සහ ලන්ඩන් 2009 යන ප්‍රධාන මැරතන් තරග හතර ම ජයග්‍රහණය කර සිටියා.

 

17076924107242

කෙල්වින් කිප්ටම් නැගිට සිටියේ දුප්පත්කම නමැති අගාධයේ පතුලේ සිට. ඔහු 2018 වසරේ ඔහුගේ පළමු දේශීය තරගයට පෙළගැසෙන විට පැළඳ සිටියේ වෙනත් කෙනෙකුගෙන් ඉල්ලා ගත් සපත්තු ජෝඩුවක්. ඒ, සෙරෙප්පුවත් නැතිව සතුන් බලාගැනීමේ කාර්යයේ නිරතව සිටි කිප්ටම් ට ක්‍රීඩා පාවහන් මිලදී ගැනීම සඳහා වත්කමක් නොතිබුනු නිසා.

කිප්ටම් ඔහුගේ ක්‍රීඩා දිවිය මහමාර්ගයෙන් ආරම්භ කළේ වෙනත් මලල ක්‍රීඩකයන් දුර දිවීම සඳහා පිවිසීමට පෙර ක්‍රීඩාංගණයේ ධාවන පථයක දුවමින් පුහුණු වන පැරණි සම්ප්‍රදාය බිඳ දමමින්. නමුත් කිප්ටම් එය කළේ කැමැත්තකින් නෙවෙයි.

“ධාවන පථයක පුහුණු වීම් සඳහා යන ගමන් වියදම් දරන්න මට සල්ලි තිබුනේ‌ නැහැ” ඔහු සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුනා. “ඒ නිසා මම මහපාරේ දුවන අයත් එක්ක පුහුණු වෙන්න පටන් ගත්තා. මම මැරතන් දිවීමට යොමු වුනේ ඒ විදියටයි.”

 

kiptum m
කිප්ටම් හා ඔහුගේ පුහුණුකරු මිය ගිය රිය අනතුර සිදුවුනේ දුර දිවීමේ ක්‍රීඩකයන් ඔවුන්ගේ පුහුණුවීමේ ස්ථානයක් ලෙසින් යොදා ගන්නා බටහිර කෙන්යාවේ අධික උසින් යුත් මාර්ගයක.

මහපාරේ පුහුණු වෙමින් මැරතන් ක්‍රීඩා ජීවිතය ආරම්භ කළ කෙල්වින් කිප්ටම් මැරතන් ක්‍රීඩාවේ මුදුන ට ම පිවිස මහපාරේදී ම මිය ගියා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දුප්පත්කම නිසා මහපාරේ පුහුණු වී මහපාරේම මිය ගිය මැරතන් ලෝක වාර්තාලාභී කෙන්යානුවා | The Leader