30 හැවිරිදි මනාහෙල් ඇල්-ඔචීබි (Manahel al-Otaibi), ජනවාරියේදී රහසිගතව පැවැත්වූ නඩු විභාගයකින් වසර 11ක සිරදඬුවමක් නියමව සිටින්නේ ඇය කාන්තා අයිතීන්ට සහයෝගය දක්වමින් සමාජ මාධ්‍යයේ තබන ලද පෝස්ට් ‘ත්‍රස්තවාදී ක්‍රියාවන්’ ලෙස හඳුන්වා දීම නිසා.
ඇය අත්අඩංගුවට ගැනීමෙන් ඇගේ වැඩිමල් සොයුරිය වන ෆවුසියා ඇල්-ඔචීබි (Fawzia al-Otaibi) මහත් කම්පනයටත් බියටත් පත්වුනා.
Manahel al-Otaibi
“මගේ සොයුරිය බන්ධනාගාරයේ සිටියදී, ඉන් පිටත සිටින අනෙක් කාන්තාවන් ටෙනිස් ක්‍රීඩා කරන්න ආපු එක ගැන මට දැනෙන්නේ මහත් පසුතැවිල්ලක හැඟීමක්” යනුවෙන් ඇය කියනවා.
ලොව ඉහළින්ම ශ්‍රේණිගතව සිටින ටෙනිස් ක්‍රීඩිකාවන් හත් දෙනා සහ විම්බල්ඩන් ශූරිය සහභාගි වන WTA අවසාන තරග දැන් සෞදියේ ක්‍රීඩා කෙරෙමින් තිබෙන අතර මෙය තෙවසරක ගිවිසුමක් යටතේ ගල්ෆ් දේශයේ පැවැත්වෙන ප්‍රථම වෘත්තීය කාන්තා ටෙනිස් ඉසව්ව යි.
මේ තරගාවලිය ටෙනිස් ලෝකය වෙන්කර තිබෙනවා. විශේෂයෙන් කාන්තාවන් හා LGBT කණ්ඩායම් සඳහා වන සෞදි අරාබියේ මානව හිමිකම් වාර්තාව ඔවුන් දියුණු කරන තෙක් ඒ රට වර්ජනය කළ යුතු බව සමහරු පවසනවා. සමලිංගික සේවනයෙහි යෙදීම නීතිවිරෝධී හා මරණයෙන් දඬුවම් ලැබිය හැකි ක්‍රියාවක් බවට පත්ව තිබෙන සෞදි අරාබියේ කාන්තාවන් තවමත් ජීවත් වන්නේ පිරිමින්ගේ පාලනය යටතේ බව විවේචකයන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, සෞදිය කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියා කිරීමේදී දියුණුවක් ලබා තිබෙන බව පෙන්වා දෙන අනෙක් අය, ක්‍රීඩාවෙන් සෞදි රාජධානිය තුළ ධනාත්මක බලපෑමක් ඇති විය හැකි බව කියා සිටිනවා.
ඇල්-ඔචීබි මෙනවිය හා අනෙකුත් සෞදි කාන්තාවන්‌ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරීන්, ලෝකයේ ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලා සිටින්නේ කාන්තා අයිතීන්වල වෙනසක් ඉල්ලා සිටීමට හා මනාහෙල් වැනි කාන්තාවන් නිදහස් කරන ලෙස බල කිරීමට ඔවුන්ගේ වේදිකා උපයෝගී කර ගන්නා ලෙසට.
කාන්තාවන් රිය පැදවීමේ තහනමට එරෙහිව මෙහෙයුමක් දියත් කර දින 1,001ක් බන්ධනාගාරගතව සිටි Loujain al-Hathloulගේ බාල සොයුරියයි බ්‍රසල්ස් නුවර මූලස්ථානය කර ගත් සමාජ ක්‍රියාකාරිනී ලිනා ඇල්-හැද්ලූල්ලා (Lina al-Hathloul).
“සෞදි අරාබිය පරයෙක් වනවා දකින්න මට උවමනා නැහැ” යනුවෙන් ලිනා ඇල්-හැද්ලූල්ලා ප්‍රකාශ කරනවා.
Loujain al-Hathloul
“මගේ ජනතාවට කිසිම දෙයක් අහිමි කරන්න මට අවශ්‍ය නැහැ. මට ඕන කරන්නේ බිම් මට්ටමේ තිබෙන යථාර්ථය වසා ගැනීමට මේ තරග ආධාරයක් නොවනවා දකින්නයි.”
“හැමදෙනාම සෞදියට යනවාට මම සතුටුයි. නමුත් කරුණාකර, ඔබ නිහඬ කරනු ලැබූ ජනතාවගේ හඬ බවට පත්වෙන්න. ප්‍රතිසංස්කරණය වටා තිබෙන ඒකාධිපතියාගේ කතාන්දරය නැවත ලියන්න එපා. ඔබ ඇත්ත වෙනසේ කොටස්කරුවෙකු වන්න!”
Salma al-Shehab
කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් කරන සමාජ ක්‍රියාකාරීන්ට සහාය දැක්වීම නිසා වසර 34ක සිරදඬුවමක් නියම වූ Salma al-Shehab නමැති තවත් කාන්තාවක් පිළිබඳව ද ඇය අවධානය යොමු කරනවා.
මේ තත්ත්වය ක්‍රීඩා සෝදාපාළුව ට සමාන බව ඇල්-ඔචීබි කියා සිටිනවා.
මෙහිදී ‘ක්‍රීඩා සෝදාපාළුව’ ලෙස හැඳින්වෙන්නේ ආචාර සම්පන්න නොවන ක්‍රියාවන් හෝ කෙලෙසුනු කීර්තියක් වසන් කිරීමට තමන් ආදරය කරන ක්‍රීඩා තරගාවලියක් පාවිච්චි කිරීම යි.
“ටෙනිස් ක්‍රීඩිකාවන් හා සෞදි අරාබිය ප්‍රවර්ධනය කරන පුද්ගලයන් මේ තරගාවලියට සහභාගි වීමෙන් අපට අවශ්‍ය වෙනස සිදු කරන්න දායක වෙන්නේ නැති බව මට පේනවා” ඇල්-ඔචීබි සඳහන් කරනවා.
“ඒ වෙනුවට, ඔවුන්ව පාවිච්චි කරන්නේ කාන්තාවන්ගේ අරගලය මැඩ පැවැත්වීමට හා දැන් ක්‍රියාත්මක කෙරෙන උල්ලංඝනය කිරීම් සැඟවීමට යි.”

WTA අවසාන තරග සෞදි අරාබියට පැමිණ තිබෙන්නේ ඩොලර් මිලියන 23ක ත්‍යාග මුදලක් සමග. එහෙත් සෞදි අරාබිය ඔවුන්ගේ මුදල් විසිකරන එක ම ක්‍රීඩා ඉසව්ව මෙය නෙවෙයි.
පසුගිය මස පැවති ‘සෞදි රජාගේ’ ප්‍රදර්ශන ටෙනිස් තරගාවලියට ලොව ඉහල ම පෙලේ ටෙනිස් ක්‍රීඩකයන් හය දෙනෙක් සහභාගි වූ අතර ජයග්‍රාහී යැනික් සිනෙර් ට ඩොලර් මිලියන 9ක් පිරිනැමුනා. මේ වසරේ ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලිය ජය ගැනීමෙන් පවා ඔහුට ලැබුනේ ඩොලර් මිලියන 3.15ක මුදලක් පමණයි.
සෞදි අරාබි ටෙනිස් තානාපතිවරයෙක් ලෙස පත්වීම සම්බන්ධයෙන් රෆාඑල් නෙඩාල් ද විවේචනයට ලක්ව සිටිනවා.

නමුත් සෞදි අරාබිය මුදල් වැය කරන්නේ ටෙනිස් ක්‍රීඩාවට පමණක් නෙවෙයි. ඔවුන් පාපන්දු, ගොල්ෆ්, බොක්සිං හා ෆෝමියුලා 1 තරග සඳහා ආයෝජනය කර තිබෙන්නේ අදහා ගත නොහැකි ප්‍රමාණයේ මුදල් කන්දරාවක්. මෙය, රටේ ආර්ථිකය තෙල්වලින් බැහැරට වෙනස් කිරීම සඳහා ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන්ගේ තිබෙන 2030 දර්ශනයේ කොටසක්.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



