ශ්‍රී ලාංකේය ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් ඇති එකම සංගමය බවට ‘ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය’ පත්ව තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) විනිසුරුවන් ද ඇතුළුව ප්‍රවීන විනිසුරුවන් 53 දෙනෙකුගෙන් යුත් ‘වෘත්තීය ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය’ පසුගියදා නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය සමග එක්වීමත් සමග එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) පිළිගත් ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් ලියාපදිංචිය තහවුරු කර ඇති එකම සංගමය බවට පත්වනවා.
මේ සමග, මෙරට ක්‍රිකට් තරග විනිසුරුවන් එකම ධජයක් යටතේ සහෝදරත්වයක ගමනක් ආරම්භ කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය මෙසේ තවත් පුළුල් තලයකට ගෙන එමින් වෘත්තීය ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකයන්ව සිටි විනිසුරුවන් 53 දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්‌ගේ සංගමයට එක්වූයේ එම සංගමයේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරයකු ද වන රවීන් වික්‍රමරත්න මහතාගේ මැදිහත්වීම මත. ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති තනතුරට 2026 වසර දක්වා පත්ව සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ ආශිර්වාදයෙන්.
පානදුර ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාරයේ සිදුවූ මේ නිල එක්වීමේ කැපී පෙනෙන සිදුවීම වූයේ වෘත්තීය ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ධූරය දැරූ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු රවීන්ද්‍ර විමලසිරි හා ලේකම් වශයෙන් කටයුතු කළ රැන්මෝ මාටිනස් යන මහත්වරුන්ගේ පෙනී සිටීම. මීට අමතරව, ICC විනිසුරුවන් වන රුචිර පල්ලියගුරුගේ සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරු ද එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම විශේෂත්වයක්.
මේ අනුව තවත් ශක්තිමත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය අනාගතයේදී ශ්‍රී ලංකාවේ සියලු ක්‍රිකට් විනිසුරුවන්ගේ සුරක්ෂිතභාවය ඇති කිරීම පිණිස සාමාජිකයන්ගේ අදහස්වලට ගරු කරමින් ඒකමතික ප්‍රවේශයක් ගැනීමට බලාපොරොත්තු වනවා. අලුතින් එක්කර ගත් ප්‍රවීන විනිසුරුවන් හරහා ඉදිරියේදී විනිසුරු සංගමයේ සිටින සියලුම විනිසුරුවන්ගේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම ද දෙපාර්ශ්වයේ මේ අත්වැල් බැඳ ගැනීමේ තවත් අරමුණක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ වැදගත් ම පරිච්ඡේදයක් ලෙස සැලකෙන 1982 පෙබරවාරි 17 වැනිදා පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට විනිසුරුවන් සපයමින් ඉටු කළ විශිෂ්ට කාර්යභාරය, 1944 වර්ෂයේ ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ ඉතිහාස පොතේ රන් අකුරින් සටහන්ව තිබෙනවා.
1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය
1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු ක්ෂේත්‍රයට ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ මැදිහත්වීම ලැබීමෙන් ජාත්‍යන්තරයට ගැලපෙන පරිදි විභාග හා වැඩමුළු පවත්වා එය තව තවත් ශක්තිමත් වුනා.
දැන් මෙරට සිටින සියලුම ක්‍රිකට් විනිසුරුවන් ‘ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය’ නමැති ධජය යටතේ එක්රොක්ව සිටිනවා.
“මින් ඉදිරියට දෙගොල්ලක් කියලා හිතන්න එපා. විනිශ්චයකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා අපි එකම සංගමයක්, එකම සාමාජිකත්වයක් එක්ක මේ ගමන ඉදිරියට යමු” යනුවෙන් රවීන් වික්‍රමරත්න මහතා කියා සිටියේ මේ එක්වීම නිමිත්තෙන් පැවති උත්සවයේදී.

එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ පරිපාලනය මෙරට අති දක්ෂ විනිසුරුවන්ගේ මැදිහත්වීමෙන් ඉදිරියට ගිය අතර වෘත්තීය ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකයින් 53 දෙනාගේ පැමිණීමත් සමග එහි සාමාජිකත්වය 1200කට ආසන්න සංඛ්‍යාවක් දක්වා පුළුල් වී තිබෙනවා.
දිවයින පුරා ව්‍යාප්තව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ අනුබද්ධිත දිස්ත්‍රික් සංගම් 17ක සාමාජික සාමාජිකාවන් තම ක්ෂේත්‍රයේ විනිවිදභාවය හා අපක්ෂපාතීත්වය වෙනුවෙන් අමිළ මෙහෙවරක නිරතව සිටිනවා. එම දිස්ත්‍රික් සංගම්වල සියලු සාමාජික සාමාජිකාවන් කිසිඳු බේදයකින් තොරව විනයවත් පසුබිමක් යටතේ රැකබලා ගැනීමේ වගකීම මව් සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය භාරගෙන තිබෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



