ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දුන්නේ සහජ දක්ෂතා තිබෙන දිවයිනේ සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබා දීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩසටහන යටතේ.
නව ක්‍රීඩාංගණය හා ක්‍රීඩා සංකීර්ණ ගොඩනැගිල්ල ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ අයිතියට පත් කිරීම සිදුවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සලයේ ද සභාපති වන ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

නවීන පහසුකම්වලින් සමන්විත ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 60කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.
ශම්මි සිල්වා ක්‍රිකට් සභාපතිවරයා මේ අවස්ථාවට සහභාගි වූයේ ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික නලීන් අපෝන්සු සහ එහි ලේකම් උදය ඉමල්ෂ යන මහත්වරුන්ගේ ආරාධනයෙන්.

ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල්වල දැනට තිබෙන ක්‍රීඩාංගණ අඩුපාඩුවට මේ ජනසතු සේවා ක්‍රීඩාංගණය හොඳ විකල්පයක් වී තිබෙන අතර පාසල් ක්‍රිකට් තරගවලට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන මූලික වයස් ඛාණ්ඩ තරග ද නුදුරේදීම මේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමේ හැකියාව තිබෙනවා.
මීට අමතරව, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කර ගැනීම සඳහා වන පුහුණුවීම් ද සිදුකර ගැනීමේ මහඟු අවස්ථාව මෙම ක්‍රීඩාංගණය හරහා හිමිවනවා. මේ අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණ ගොඩනැගිල්ලට අමතරව ලකුණු පුවරුව ද ළඟදීම ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම, ජනසතු සේවා ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට භාවිතා කිරීමට හැකිවනු පිණිස අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරයක් මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කර තිබෙනවා. එම සැලැස්මේ ප්‍රගතිය පිළිබඳව ද සොයා බැලූ ශම්මි සිල්වා මහතා එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට ලබා දුන්නා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, නලීන් අපෝන්සු, ජාතික සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරු ඇතුළු ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සාමාජිකයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වුනා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



