පුහුණු කරවනු ලැබූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අදත් තරග බිමට පිවිසෙනවා.
අමෙරිකාවේදී, NFL අමෙරිකානු පාපන්දු හා NBA බාස්කට්බෝල් ලීගය යන ක්‍රීඩා දෙක ම ඔවුන්ගේ ක්‍රීඩා වාරයේ තරග අඛණ්ඩව දෙසැම්බර් 25 වැනිදාත් පවත්වනවා. අද වැනි අසිරිමත් නත්තල් දිනයකත් තරග සැලසුම් කිරීම යුරෝපීය ක්‍රීඩා ලෝලීන්ට අසාමාන්‍ය දෙයක් වූව ද අමෙරිකාවේ මෙය සැලකෙන්නේ සාමාන්‍ය දෙයක් ලෙස.
පසුගිය වසර 46 තුළ NFL තරග 19ක් නත්තල් දිනයේ පවත්වා තිබෙන අතර මෙයින් තරග 17ක් ම එලෙස පැවැත්වෙන්නේ 1989 වසරේ සිට. තවත් තරග දෙකක් මේ වසරේ නත්තල් දිනයේ පැවැත්වෙනවා.
Pittsburgh Steelers හා Houston Texans කණ්ඩායම් අතර සහ Oakland Raiders හා Philadelphia Eagles කණ්ඩායම් අතර මේ තරග දෙක පළමුව NBC හා දෙවනුව ESPN වශයෙන් ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන්නේ මේ කණ්ඩායම්වලට ජාතික මට්ටමෙන් පෙනී සිටීමේ කලාතුරකින් උදාවන අවස්ථාවක් ලබා දෙමින්. අමෙරිකාවේ සාමාන්‍යයෙන් සජීවී රූපවාහිනී තරග විකාශය කලාපීය ප්‍රචාරයට පමණක් සීමා වී තිබෙනවා. ජාතික මට්ටමෙන් රූපවාහිනියේ විකාශය වන තරග නරඹන ජනතාවගේ සංඛ්‍යාව මිලියන 20ක්.
එංගලන්ත ක්‍රීඩා ලෝලීන් හොඳින් දන්නා පරිදි, උත්සව සමය තුළ ක්‍රීඩාංගණයකට පැමිණීම මහජන ප්‍රවාහනයේ බියජනක සිහිනයක්. කාර්වලින් ගමන් කිරීමේදී ද ප්‍රශ්න උද්ගත විය හැක්කේ ප්‍රිමිය ලීග් පාපන්දු සත්කාරක කණ්ඩායම් ස්ථානගතව සිටින අභ්‍යන්තර නගර වටා රථ ගාල් කිරීමට ස්ථානයක් සොයා ගැනීමට තිබෙන අපහසුතාව නිසා.
ඇත්ත වශයෙන්ම, ආසනල් හා ලිවපූල් කණ්ඩායම් අතර මේ වසරේ නත්තල් දිනයට පෙර දින (ඊයේ) රාත්‍රියේ ක්‍රීඩා කිරීමට යෝජනා කර තිබූ තරගය වෙනස් කිරීමට ප්‍රිමිය ලීගයට බල කෙරුනේ ලිවපූල් ක්‍රීඩා ලෝලීන් නත්තල් දිනයේ ලන්ඩනයේ හිරවීමට ඉඩ තිබෙන නිසා.
කෙසේ වෙතත්, අමෙරිකාවේ වැඩි පිරිසක් නගරයෙන් බැහැර NFL ක්‍රීඩාංගණවලට වාහනවලින් ගමන් කරන අතර ඒවායේ රථ ගාල් කිරීම සඳහා විශාල ප්‍රමාණයෙන් ඉඩකඩ තිබෙනවා. මේ හේතුවෙන් නත්තල් දින තරගවල හිස් ආසන නැහැ.
NBA ඔවුන්ගේ බාස්කට්බෝල් තරග නත්තල් දින පැවැත්වීමේ 70 වැනි සංවත්සරය මේ වසරේ සලකුණු කරනවා. මේ සම්ප්‍රදාය 1947දී ප්‍රථම වතාවට ආරම්භ වූයේ තරග තුනකින්.
නත්තල් දිනයේ NBA තරග ක්‍රීඩා කිරීම දැන් ගෝලීය ඉසව්වක්. රටවල් 200කට වැඩි ප්‍රමාණයක භාෂා 40කින් මේ තරග රූපවාහිනියෙන් විකාශය වනවා.
යුද සමයේ නත්තල් දින පාපන්දු තරගය

එංගලන්ත ක්‍රීඩකයන් සහභාගි වූ ජනප්‍රියතම නත්තල් දින පාපන්දු තරගය ලෙස ඉතිහාසගතව තිබෙන්නේ 1914 පළමු ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හා ජර්මානු යුද භටයන් අතර බෙල්ජියමේ මිනිසුන් රහිත භූමියේ පැවති තරගය.
කෙසේ වෙතත්, සමහර විට එතරම් ප්‍රසිද්ධ නොවන කාරණාවක් වනුයේ ආදි වික්ටෝරියානු යුගයේ සිට 1950 ගණන් වනතෙක් නත්තල් දින පාපන්දු තරග එංගලන්තයේ පාපන්දු ලීග් තරග වැඩසටහනේ ප්‍රධාන අංගයක්ව තිබීම.
1959 වසරේදී නරඹන්නන් 21,000ක් ඉදිරියේ බ්ලැක්පූල් කණ්ඩායම ගෝල් 4-2කින් බ්ලැක්බර්න් කණ්ඩායම පරාජය කිරීමෙන් පසුව එංගලන්තයේ නත්තල් දින පාපන්දුව වේගයෙන් තුරන්ව ගියා.
ස්කොට්ලන්තයේ නත්තල් දින පාපන්දු ක්‍රීඩා කෙරුනේ තරගයක් සෙනසුරාදා දිනයකට නියම වුවහොත් පමණයි. අවසන් වතාවට එසේ තරගයක් පවත්වා තිබෙන්නේ 1976 වසරේ.
සම්පූර්ණ නත්තල් දින පාපන්දු තරග වැඩසටහනක් ස්කොට්ලන්තයේ අවසන් වතාවට ක්‍රියාත්මක කෙරුනේ 1971දී.
ඔස්ට්‍රේලියාවේ නත්තල් දින ක්‍රීඩාව

නත්තල් දිනයේ ක්‍රීඩා තරග පැවැත්වීමට සැදී පැහැදී සිටින රටකි ඔස්ට්‍රේලියාව. දෙසැම්බරයේ එහි තිබෙන ග්‍රීෂ්ම සෘතුවේ දේශගුණය ක්‍රීඩාවට ඉතාමත් යෝග්‍ය වීම ඊට හේතුවයි.
ඇත්ත වශයෙන්ම 1960 ගණන්වල පසු කාලය වනතෙක් ම ෂෙෆීල්ඩ් පළිහ ක්‍රිකට් තරග ක්‍රීඩා කෙරුනේ නත්තල් දිනයේ. 1951 වසරේ ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවති තෙවැනි ටෙස්ට් තරගයට දෙසැම්බර් 25 වැනි දිනයේ ක්‍රීඩාව ද ඇතුළත්ව තිබුනා.
කෙසේ වෙතත්, විස්සයි20 බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරග නත්තල් දිනයේ පැවැත්වීමට පසුගිය වසර දෙක තිස්සේ දැරූ උත්සාහයන් ව්‍යර්ථ වුනා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



