ඔලිම්පික් සරුංගල් සර්ෆ් ක්‍රීඩක (Kite Surfer) බෲනෝ ලෝබෝ (Bruno Lobo)ගේ මේ එඩිතරකම වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.
Sao Luis නගරයේ වෙරළෙන් ඈත මුහුදේ රළ පදිමින් සිය කැමරාව පරීක්ෂා කරමින් සිටි ලෝබෝ ජලයේ විපතට පත්ව සිටින කාන්තාවක් දැක තිබෙනවා.
“මීටර් කිහිපයක් රළ මත පැදයමින් සිටියදී උදව් ඉල්ලා කෑගසන හඬක් ඇසී බලන විට දියේ ගිලෙමින් සිටි තරුණියක් දුටුවා” යනුවෙන් ඔහු ඉන්ස්ටග්‍රෑම් හි පෝස්ටුවක් තබා තිබෙන්නේ සිද්ධියේ වීඩියෝවක් ද සමග. “මම ක්ෂණිකව සර්ෆ් සරුංගලේත් සමග ඇය වෙත ගිහින් ඇයව සන්සුන් කිරීමට උත්සාහ කර ඇයට මගේ පිට උඩට නගින ලෙස කියා සිටියේ ඇය ඉතාමත් විඩාපත්ව ශක්තියක් නැතිව සිටි නිසා.”
කාන්තාව ආරක්ෂිතව රැගෙන ඒම පිණිස තමා තමගේ ක්‍රීඩා උපකරණ උපයෝගී කර ගත් බවත් ඉන්පසුව ජීවිතාරක්ෂකයන් වෙරළේදී ඇයට උපකාර කළ බවත් 31 හැවිරිදි ලෝබෝ සඳහන් කර තිබෙනවා.
“පුද්ගලයෙක් මුහුදේ එතරම් ඈත සිටිනු දැකීමෙන් මම පුදුමයට පත්වුනා. එයා ගිලෙමින් සිටින බව දැනුනම ඇයට පිහිට වෙන්න මම ඉක්මනින් ඇය සිටින දිසාවට ගියා” යනුවෙන් ඔහු CNN Sport ට කියා සිටියා.
“මට හරිම සතුටුයි. සතුටුදායක අවසානයකින් පසුව ඇය හොඳින් සිටියා. තව වෙලාවක් එයා වතුරේ හිටියා නම් ඇය ඒ විදියට හොඳින් ඉන්න එකක් නැති බව මට නිසැකයි” ලෝබෝ වැඩිදුරටත් පැවසුවා.
ඇය යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවට තහවුරු කර ගැනීම පිණිස තමා එම කාන්තාව සමග සන්නිවේදනයේ යෙදෙමින් සිටි බව ද පසුගිය වසරේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කළ මේ ක්‍රීඩකයා සඳහන් කළා.

මුහුද, ගංගාවන් හා නොදන්නා ඕනෑම තැනක තිබෙන භයානක තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීම පිණිස ද ලෝබෝ ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පෝස්ටුව යොදා ගත්තේ සමහර ස්ථානවල දියවැල ඉතාමත් ප්‍රබල බව මතක් කර දෙමින්.
දිවි ගලවා ගත් කාන්තාව ඇයගේ ස්තූතිය ලෝබෝ වෙත පළ කළේ, “මගේ කෘතඥතාව විස්තර කරන්න වචනවලට බැහැ” යනුවෙන් ප්‍රකාශ කරමින්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



