ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් මේ තීරණය ගෙන තිබෙන්නේ මේ මාසයේ ඔස්ට්‍රේලියාවේදී අත්වූ 3-1ක පසුබෑම ඇතුළුව පසුගිය කාලයේ ඉන්දියා කණ්ඩායම පිට පිට ලැබූ ටෙස්ට් පරාජයන්ගෙන් පසුව.
විනය, එකමුතුව හා ධනාත්මක කණ්ඩායම් පරිසරයක් ප්‍රවර්ධනය කිරීම පිණිස සවිස්තර නිර්ණායක ඇතුළත් නව ප්‍රතිපත්ති මාලාවක් ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් BCCI පෙරේදා නිකුත් කළා.

නව නිර්ණායකයන්ට අනුව, දින 45ක් හෝ ඊට වැඩි විදේශීය සංචාර අතරතුර ක්‍රීඩකයන් සමග ඔවුන්ගේ පවුලේ අයට රැඳී සිටීමට අවසර ලැබෙන්නේ උපරිම වශයෙන් සති දෙකක කාලයක් පමණ යි.
ජාතික කණ්ඩායම සඳහා තෝරාගැනීම්වලට සුදුසුකම් ලබා ගැනීමට නම් ක්‍රීඩකයන් දේශීය ක්‍රිකට් තරගවලට සහභාගි වීම ද මේ නිර්දේශ මගින් අනිවාර්ය කර තිබෙනවා.
මීට අවනත නොවීමෙන් දඩ මුදලකට යටත් වීම හා වාසිදායක ඉන්දියා ප්‍රිමිය ලීගය (අයි.පී.එල්.) ට ක්‍රීඩා කිරීමේ තහනම ඇතුළු විනයානුකූල දඬුවම්වලට ලක්වීමට ක්‍රීඩකයන්ට සිදුවනු ඇතැයි වාර්තා වනවා.
මේ නව නීති පැනවෙන්නේ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තරු පහේ සංස්කෘතියක් ව්‍යාප්ත කිරීමට ඉඩ දුන් බවට ක්‍රිකට් මණ්ඩලය ප්‍රබල විවේචනයට ලක්වීම හමුවේ.
“ප්‍රශංසා කරන්නන් ලෙස ක්‍රියා කිරීම නතර කර ක්‍රිකට් මණ්ඩලය මෙය වහාම නතර කළ යුතුයි” හිටපු ඉන්දීය ශ්‍රේෂ්ඨ පිතිකරු සුනිල් ගවස්කාර් මේ මාසයේ ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව ප්‍රකාශ කර තිබුනා.

නායක රෝහිත් ෂර්මා සහ පිතිකරණ තරුවක් වන විරාට් කෝලි ඇතුළු ඉහළම පෙලේ ක්‍රීඩකයන් වසර ගණනාවක් ම ඉන්දීය අන්තර් සමාජ දේශීය ක්‍රිකට් තරග බිමේ ක්‍රීඩා කර නැහැ. මෑතකදී පැවති ජාත්‍යන්තර ද්විපාර්ශ්වික තරගමාලාවන්හි ජයග්‍රහණ ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් මේ දෙදෙනා ම දෝෂාරෝපණයට ලක්ව සිටිනවා.
සිය දෙවැනි දරුවාගේ උපත හේතුවෙන් ඔස්ට්‍රේලියාවේදී ඉන්දියා කණ්ඩායම වාර්තා කළ එකම ජයග්‍රහණය මඟහැරුනු රෝහිත් ෂර්මා, අනෙක් තරග තුනේදී ලබා ගත්තේ ලකුණු 31ක් පමණ යි.
විරාට් කෝලි එක් ශතකයක් ලබා ගත්ත ද අනෙක් ඉනිම හතේදී ඔහුට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 90ක් පමණ යි.
තරග හා පුහුණුවීම් සඳහා වෙන වෙනම යාම සහ ඒම ද BCCI නව නීතිවලින් ක්‍රීඩකයන්ට තහනම් කර තිබෙනවා.

“විනය හා කණ්ඩායමේ ඒකාබද්ධ භාවය පවත්වා ගෙන යාම පිණිස ක්‍රීඩකයන් වෙන්ව ගමන් කිරීම වළක්වනවා” යනුවෙන් ඉන්දියා ක්‍රිකට් බලධාරීන් සඳහන් කරන්නේ කණ්ඩායමේ සියලුම සාමාජිකයන් නියමිත පුහුණු සැසිවල සම්පූර්ණ කාලය තුළ රැඳී සිටිය යුතු බව ද අවධාරණය කරමින්.
මේ නීතිය මගින් ක්‍රීඩකයන්ගේ කැපවීම තහවුරු කරන අතර කණ්ඩායම තුළ ශක්තිමත් කාර්ය සදාචාර ප්‍රතිපත්ති පෝෂණය වනු ඇතැයි ඉන්දියා ක්‍රිකට් මණ්ඩලය ප්‍රකාශ කරනවා.
ඉන්දියා කණ්ඩායමේ මීළඟ විදෙස් සංචාරය යෙදී තිබෙන්නේ ජූනි මාසයේ. එම එංගලන්ත සංචාරයේදී ඔවුන් තරග පහක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



