ඉතාලියේ යැනික් සිනෙර් (Jannik Sinner) තුන් මසක අවම තරග තහනමක් පිළිගෙන තිබෙනවා.
ක්ලෝස්බෝ (Clostebol) නමැති ශරීර උත්තේජනය භාවිතා කිරීමේ චෝදනාවෙන් කොටසක් බාර ගැනීමෙන් පසුව මේ ටෙනිස් සුපිරි තරුවට ඔහුගේ මේ වසරේ ටෙනිස් ක්‍රීඩා වාරයේ යම් නතරවීමක් සිදුවූවද මේ තහනම අවසාන වීමත් සමග මැයි 7 වැනිදා රෝමයේ ආරම්භ වන ඉතාලි විවෘත ටෙනිස් තරගාවලියේදී තම රටේ ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට ලැබෙනවා. සිනෙර්ගේ තෙමසක තහනම ක්‍රියාත්මක වනුයේ පෙබරවාරි 9 සිට මැයි 4 දක්වා වන අතර ඒ අනුව ඔහුට මැයි 25 වැනිදා ඇරඹෙන මේ ක්‍රීඩා වාරයේ දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වන ප්‍රංශ විවෘත තරගාවලියට ද ක්‍රීඩා කිරීමේ නිදහස තිබෙනවා.
පසුගිය මාර්තු මාසයේ සිදුකෙරුණු මේ තහනම් ශරීර උත්තේජන පරීක්ෂණවලදී දෙවතාවක්ම එම උත්තේජනය භාවිතා කළ බවට තහවුරු වීමට මුල්වූ තම කණ්ඩායමේ වැරදිවලට අර්ධ වගකීමක් පිළිගැනීමට සිනෙර් එකඟ වුණා.
‘ක්ලෝස්බෝ’ තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් තමා කිසිම තරගකාරී වාසියක් ලබා නොගත් බව හා එම උත්තේජනය ලබා ගැනීම සඳහා තමාට කිසිම චේතනාවක් නොතිබූ බව ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය (WADA) විසින් පිළිගෙන තිබෙන බව සිනෙර් ඊයේ (සෙනසුරාදා) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලිය ජයග්‍රහණය කළ ඔහු මේ තහනම් ද්‍රව්‍යය තමාගේ ශරීරයට ඇතුළු වූයේ තමාගේ භෞතිචිකිත්සකවරයා තමාට සම්බාහනයක් හා ක්‍රීඩා චිකිත්සාවක් ලබා දීමට පෙර තමාගේ ශරීරයේ තිබූ කැපුම් තුවාලයට ප්‍රතිකාර කිරීම පිණිස එම ද්‍රව්‍යය අඩංගු ස්ප්‍රේ භාවිතා කිරීම හරහා බව නිතර කියා තිබුණා.

“මේ නඩුව දැන් අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ මගේ වටේ කැරකෙමින් තිබෙනවා. මේ ක්‍රියාවලිය තව දීර්ඝ කාලයක් ඉදිරියට ඇදී යාමට ඉඩ තිබෙනවා. ඒ අනුව මෙහි තීරණයක් දැන ගැනීමට මේ වසර අවසානය වනතෙක් ඉන්න සිදුවෙනවා. ඒ නිසා මාස තුනක තහනමක් මත මේ ක්‍රියාවලිය අවසන් කිරීමේ WADAගේ යෝජනවා මම පිළිගත්තා” යනුවෙන් සිනෙර් පැවසුවා. “මගේ කණ්ඩායම ගැන මම වගකිවයුතු බව සහ මම ආදරය කරන ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා WADAගේ දැඩි නීති වැදගත් වන බව මම සැමවිට පිළිගෙන තිබෙනවා” ඔහු තවදුරටත් කියා සිටියා.
හිතාමතා වංචාවක් සිදුකිරීමේ චේතනාවක් සිනෙර් ට නොතිබුණු බවත් එහෙත් ඔහුගේ පරිවාර පිරිසේ ක්‍රියාවන්ට ඔහු වගකිවයුතු බැවින් ඔහු තෙමසක තරග තහනමක් විඳිනු ඇති බවත් WADA සඳහන් කළා. අප්‍රේල් මාසයේ ඇසීමට නියමිතව තිබූ ක්‍රීඩා බේරුම්කාර උසාවියට ඉදිරිපත් කළ ඇපෑල ඉල්ලා අස්කර ගන්නා බව WADA තහවුරු කළා.
ජාත්‍යන්තර ටෙනිස් අවංකත්වයේ ඒජන්සිය විසින් පසුගිය අගෝස්තුවේ සිනෙර් නිදොස් කිරීමට එරෙහිව ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය ක්‍රීඩා බේරුම්කාර උසාවියට ඇපෑලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් සිනෙර් ට දෙවසරක තරග තහනමක් ලැබීමේ අවදානමක් තිබුණා. සෙනසුරාදා නිකුත් වූ නිවේදනයෙන් නිමාව දකින්නේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා බොහොමයක් දිනා ගනිමින් පිරිමි ටෙනිස් තරග බිමේ මුදුනට පිවිසීමත් සමග සිනෙර් යන යන තැන ඔහු පසුපස හඹා ආ මතභේදයක්.
කෙසේ වෙතත්, යැනික් සිනෙර් මාස තුනක දඬුවමකින් පමණක් ඇඟ බේරා ගැනීම පිළිබඳව ටෙනිස් ප්‍රජාව තුළ විවේචන මතුවීමට ගතවූයේ ඉතාම ස්වල්ප වේලාවක්.
| ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩක නික් කිරිඔස්
ටෙනිස් ක්‍රීඩාවට මෙය දුක්මුසු දවසක් බව ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩක නික් කිරිඔස් (Nick Kyrgios) ප්‍රකාශ කළා. ඔහු X සමාජ මාධ්‍ය වේදිකාවට පිවිසෙමින් මෙසේ කියා සිටියා: “පැහැදිලිවම සිනෙර්ගේ කණ්ඩායම මාස තුනක තහනමක් ලබා ගෙන ඉදිරියට යන්න පුළුවන් හැම දෙයක්ම කර තිබෙනවා. කිසිම ශූරතාවක් හෝ ත්‍යාග මුදලක් අහිමි වෙලා නැහැ. වැරදිකරු ද නිවැරදිකරු ද? ටෙනිස් ක්‍රීඩාවට දුක්මුසු දවසක්. ටෙනිස් ක්‍රීඩාව තුළ සාධාරණය නැහැ.”
බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩක ලිආම් බ්‍රෝඩි (Liam Broady) ද ඔහුගේ විස්මය පළකරමින් මෙසේ සටහන් කළා: “තහනම් ශරීර උත්තේජන භාවිතය නිසා වන තරග තහනමක් පිළිබඳව ගිවිසුමකට එළඹීමේ හැකියාවක් තිබෙන බවක් මම දැන සිටියේ නැහැ. හොඳයි...හොඳයි...ප්‍රංශ විවෘත තරගාවලියට වෙලාවට එන්න පුළුවන් නේද?”
මේ අතර හිටපු එංගලන්ත අංක 1 ටෙනිස් ක්‍රීඩක ටිම් හෙන්මන් (Tim Henman) ද, මේ තහනම සිනෙර් ට ඉදිරි තරගවලට සහභාගි වීමේ අවස්ථාව සලසන පහසු එකක් බව පෙන්වා දෙමින් එමගින් ටෙනිස් ක්‍රීඩා ලෝලීන්ට අමිහිරි රසයක් ඉතිරි වනු ඇති බවට අනතුරු අඟවනවා.
| ටිම් හෙන්මන්
“සිනෙර් කිසිම අවස්ථාවක වංචාවක් කිරීමට උත්සාහ කරමින් සිටි බවක් මම කොහෙත්ම හිතන්නේ නැති බව පළමුව කියන්න ඕන. මම ඒක පිළිගන්නේ නැහැ” යනුවෙන් සිවු වතාවක් විම්බ්ල්ඩන් අවසන් පූර්ව වටයට පැමිණි හෙන්මන් පවසනවා. “කෙසේ වෙතත්, අද උදේ මේ නිවේදනය කියවද්දී මට දැනුනේ මේ තහනම යෝග්‍ය වැඩි බවක්. ක්‍රීඩාවේ තිබෙන මත්ද්‍රව්‍ය සමග කටයුතු කරන විට ඒ ක්‍රියාදාමය කළු හා සුදු ලෙස පැහැදිලිව දිස්විය යුතුයි. එක්කෝ ඔබට තරග කිරීම තහනම්... එහෙම නැත්නම් ඔබට තහනමක් නැහැ.”
“ගිවිසුමකට එළඹීම හෝ එකඟත්වයකට පිවිසීම වැනි වචන කියවන්න පටන් ගද්දී, එතන ගනුදෙනු කිරීමක් සිදුවූ බවක් හැඟෙනවා. ඒක පොදුවේ ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ ගති ලක්ෂණය සමග හොඳින් පිහිටන්නේ නැහැ කියලයි මම හිතන්නේ.”
නීතිවිරෝධී ශරීර උත්තේජන භාවිතය හේතුවෙන් මෑතකදී තරග තහනමක් පිළිගත් ඉතාම ඉහළින් ශ්‍රේණිගතව සිටින්නන්ගෙන් දෙවැනියා යැනික් සිනෙර්. මීට පෙර කාන්තා ලෝක අංක 2 ක්‍රීඩිකා පෝලන්තයේ ඊගා ශ්වියාංටෙක් (Iga Swiatek) නොවැම්බර් මාසයේදී trimetazidine (TMZ) නමැති තහනම් ශරීර උත්තේජනය භාවිතා කළ බවට පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසුව මාසයක තරග තහනමක් පිළිගත්තා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



