කාන්තා වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවේ පාලකයන් වන කාන්තා ටෙනිස් සංගමය - Women’s Tennis Association (WTA) - විසින් හඳුන්වා දී ඇති නව මාතෘත්ව පදනම හරහා ක්‍රීඩිකාවන් 320කට වැඩි දෙනෙක් මාස 12ක් දක්වා ගෙවීම් සහිත නිවාඩු කාලයකට සුදුසුකම් ලබනවා.
ක්‍රීඩිකාවන් ශ්‍රේණිගතව සිටින අන්දම සැලකිල්ලට නොගෙන සෑම කෙනෙකුටම එක සමාන මුදලක් ලැබෙනු ඇති අතර එය කොතරම් ද යන්න තවමත් අනාවරණය කර නැහැ. දරු ප්‍රසූතියෙන් පසුව නැවත ක්‍රීඩාවට නොපැමිණීමට ඔවුන් තීරණය කළ ද එම මුදල ආපසු ගෙවීමට සිදුවන්නේ නැහැ.

ගැබ්ගන්වන ප්‍රතිකාර වෙනුවෙන් ද මුදල් ලබා දෙන බව සංගමය කියනවා. මේ මාතෘත්වයේ වැඩසටහන සඳහා වන සම්පූර්ණ මුදල ලබා දෙන්නේ WTA Tour හි ගෝලීය හවුල්කරු වන සෞදි අරාබියේ මහජන ආයෝජන අරමුදල - Public Investment Fund (PIF).
මේ සඳහා සුදුසුකම් ලබා ගැනීම පිණිස ක්‍රීඩිකාවන් කළින් මාස 12 (හෝ කළින් මාස 36 ඇතුළත අවම වශයෙන් ඉසව් 24ක්) දී අවම වශයෙන් WTA ඉසව් අටකට ක්‍රීඩා කළ යුතු වනවා.
2019 ක්‍රීඩා වාරයට පෙර කාන්තා ටෙනිස් සංගමය විසින් නීති වෙනස් කිරීමෙන් පසුව ප්‍රසූත නිවාඩුව නිමවී නැවත තරගාවලියට පැමිණීම වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවන්ට පහසු වී තිබෙනවා.

තමන්ගේ දරුවාගේ උපත සිදුවූ දා පටන් තෙවසරක කාලයක් ඇතුළත තමන්ගේ කළින් තිබූ ශ්‍රේණිය උපයෝගී කරගෙන තරගාවලි 12කට ඇතුළු වීමට අලුත් මව්වරුන්ට අවස්ථාව තිබෙනවා.
ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන්ගේ කාණ්ඩයට ඇතුළත් කිරීමට තරම් ඉහළ විශේෂ ශ්‍රේණිගත කිරීමක සිටිමින් දරු ප්‍රසූතියෙන් පසුව තරගාවලි සඳහා පැමිණෙන ක්‍රීඩිකාවන්ට, ඔවුන්ගේ මුල් තරගාවලියන් අටේ ආරම්භක වටයේදී ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක සමග තරග කිරීමට සිදු නොවීමේ සහතිකවීමක් ද 2019 වසරේ සිට ලැබී තිබුණා.

ඉහළම දක්ෂතා දක්වන අය ලෙසට ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම මගින් ලෝකයේ හොඳම ක්‍රීඩිකාවන් තරගවල මුල් අවධියේදී එකිනෙකා මුණ නොගැසීම තහවුරු කිරීමේ ඉඩ තරගාවලියන්ට ලබා දෙන අතර ඒ අනුව එම ක්‍රීඩිකාවන් ආරම්භක තරග වටවලදී තරග කරන්නේ පහළින් ශ්‍රේණිගතව සිටින ක්‍රීඩිකාවන් සමග.
මීට හය වසරකට ඉහත හඳුන්වා දුන් විශේෂ ශ්‍රේණිගත කිරීමෙන් මේ දක්වා ක්‍රීඩිකාවන් 50 දෙනෙක් ප්‍රයෝජනයක් ලබා ඇතැයි WTA ප්‍රකාශ කරනවා.
නැවත තරග බිමට එන අලුත් මව්වරුන්ට හා ගැබිනි ක්‍රීඩිකාවන්ට ශාරීරික තක්සේරුව, මානසික සෞඛ්‍ය සහාය හා උපදෙස් ලබා ගැනීම පිණිස සෞඛ්‍ය කණ්ඩායමක් හා කාර්ය සාධක මණ්ඩලයක් ද WTA විසින් ලබා දෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



