සිය ඉනිමේ ශක්තිමත් අවසානයට ස්තූතිවන්ත වන්නට 258/6ක තරගකාරී මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ශ්‍රී ලංකාව අනතුරුව නවසිලන්තය ට අභියෝග කිරීමට තරම් ප්‍රබල තත්ත්වයකට පිවිස සිටියා.
කෙසේ වෙතත්, නොකඩවා ඇද හැලුනු වර්ෂාව නවසිලන්ත ඉනිමේ ආරම්භය ප්‍රමාද කරන්නට වූ අතර අවසානයේ තරගය අහෝසි කළ නිලධාරීන් දෙපිල ට ම ලකුණක් බැගින් ලබා දුන්නා.
මේ ප්‍රතිඵලය හේතුවෙන් ශ්‍රී ලංකාව ට දැන් තරග හතරකින් ලැබී තිබෙන්නේ ලකුණු දෙකක් පමණයි. ඒ ලකුණු ලැබුනේ වර්ෂාවෙන් සේදී ගිය තරග දෙකකින්. මේ තත්ත්වය මත, තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය සොයමින් සිටින ශ්‍රී ලංකාවට ඊයේ ලැබුනු ප්‍රතිඵලය කලකිරවන එකක් වූයේ චමරි අතපත්තුගේ කණ්ඩායම තරගය පුරාම එහි පාලනය තමන් සතුකර ගෙන තරගාවලියේ පළමු ජයග්‍රහණය අත්කර ගැනීමේ සැබෑ අවස්ථාවක් හිමි කරගෙන සිටි බැවින්.
“අපි පවතින තත්ත්වයන් තක්සේරු කර හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් කළා. අවාසනාවකට, අපට තරගය අවසන් කරන්න හැකිවුනේ නැහැ. ඊළඟ තරගය තීරණාත්මකයි. අපි තරග තුනක් ජය ගැනීමට අවශ්‍යයි. ඒ තරග කිසිම වර්ෂාවක් නැතුව ක්‍රීඩා කරන්න ලැබේවි කියා මම ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් අතපත්තු තරගයෙන් පසුව කියා සිටියා.
මේ අතර, මේ දක්වා එක් ජයග්‍රහණයක් පමණක් වාර්තා කර සිටින නවසිලන්තය තරග හතරකින් ලකුණු තුනක් ලබා ගෙන ඉදිරියට ගොස් තිබෙනවා.
තරගය සේදී යාමත් සමග, ශ්‍රී ලංකාව තරග හතරකින් ලකුණු 2ක් ලබා ගෙන හත්වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටින අතර ලකුණු 3ක් ලබා ගෙන සිටින නවසිලන්තය දැන් පස්වැනි ස්ථානයේ පසුවනවා.
තරගාවලියේ අවසන් පූර්ව වටයට යාමේ ‘රේස් දිවීමක’ යෙදී සිටින නවසිලන්තය ට ද ඔවුන් දැනටමත් ලබා සිටින පරාජයන් දෙකකින් පසුව ඊයේ ලැබුනු ප්‍රතිඵලය සැලකිය යුතු පහරක් බවට පත්ව තිබෙනවා.
“දේශගුණය අපව වැළැක්වීම ගැන දැනෙන්නේ දුකක්. අපි ඉලක්කය හඹා යන්න හිටියේ ලොකු උනන්දුවකින්. දත්ත හා අංකවලට යන්න පුළුවන් වන්නේ යම් දුරකට පමණයි. සමහර වෙලාවලට වැදගත් වන්නේ පෞද්ගලික ධෛර්යයයි” නවසිලන්ත නායිකා සොෆී ඩිවයින් ප්‍රකාශ කළා.
2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ වර්ෂාවට සේදී ගිය දෙවැනි තරගයයි මේ. පසුගිය සතියේ ඔස්ට්‍රේලියාව ට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ තරගය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුනා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග:
ඔක්තෝබර් 17 - දකුණු අප්‍රිකාව සමග (කොළඹ)
ඔක්තෝබර් 20 - බංග්ලාදේශය සමග (මුම්බායි)
ඔක්තෝබර් 24 - පාකිස්තානය සමග (කොළඹ)
සබැඳි පුවතක් :
නවසිලන්තයට එරෙහි නිලක්ෂිකා සහ චමරිගේ අර්ධ ශතක මත ශ්‍රී ලංකාව කඩුලු 6 ට ලකුණු 258 යි
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




